බඳින්න කලින් දෙන්නා එකට රැයක් ගත කිරීමේ වාසි 7ක්

කසාද ගැන කතා කරද්දි සමහරු කියනව බනිසක් කන්න ආසාවට බේකරියක් දාගන්න එපා කියල. ඒත් කසාදයක් කියන්නෙ සෙක්ස් විතරක්ම නෙමෙයි. මේ අන්න ඒ කියන බැඳීමට යන්න කලින් අනිවා කරන්න ඕන දෙයක් ගැන කතාවක්. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ඈයො ප්‍රසිද්ධියෙ කියන්නෙ නං කසාද බඳින්න කලින් දෙන්නා එක්ව රැයක් ගත කරන එක පාපයක් හැටියටනෙ. ඒත් මේ අපි කරපු සමීක්ෂණයට අනුව ඒක එහෙම නොකෙරුවොත් පසු කාලයක පාපයක් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසායි කසාදයකට යන්න කලින් දෙන්නා එක්ක එක වහලක් යට තනිව රැයක් ගත කිරීමේ වාසි කිහිපයක් අපි සටහන් කරන්නෙ.

*සැළකිය යුතුයි – හාස්‍ය රසය නොහඳුනන පුද්ගලයන්ට මේ ලිපිය කියවීමට එතරම් සුදුසු නොවිය හැක! 

 

1. ගෙරවිලි

Image Source – sleepscore.com

කසාද බැන්දත් නැතත්, රස්සා කරත් නැතත්, ළමයි හැදුවත් නැතත් කොයි කවුරුත් නිදහසේ නිදාගන්න එපැයි. ඒක තමයි වරු ගණං නැහිලා තෙහෙට්ටු වෙන ඇඟපතට අපි දෙන රිලැක්සේෂන් එක. අන්න ඒ රිලැක්සින් බව අත්විඳින්න නම් නොකැඩුණු පූර්ණ ඩීප් ස්ලීප් එකක් ලබා ගැනීම අතිශය වැදගත්. ඉතිං කසාද බැඳපු කෙනෙකුට ඔය ඩීප් ස්ලීප් එක ලබාගන්න තියෙන ලොකුම බාධකය වෙන්නෙ ඇඳේ එහා පැත්තෙ නිදියගෙන ඉන්න කෙනාගෙ ගෙරවිල්ල තමයි. අන්න ඒ නිසා එයා ගොරවනසුළු කෙනෙක්ද කියලා දැනගන්න දෙන්නා රැයක් එක්ව ගත කිරීම ලොකු වාසියක් වේවි.

 

2. දෙඩවිලි

Image Source – sleepscore.com

දැන් ඔය ලවු කරන කාලෙ සමහරු බොරු කියනවනෙ. මගෙ ජීවිතේම ඔයා විතරයි. මට කෙල්ලෙක් කියලා ඉඳලා තියෙන්නෙත් ඔයා විතරයි. මට මහ රෑටත් මතක් වෙන්නෙ ඔයාව විතරයි වගේ කතා. ඔය කියන දේවල් බොරු වෙන්න තියෙන ඉඩ කඩ නම් වැඩියි. අන්න ඒ නිසාම දෙන්නා එකට රැයක් ගත කිරීමේ වාසියක් විදියට ඒක හඳුන්වන්න පුළුවන්. ඇයි ඉතිං ඔය නිදි මරගාතෙ කියවන නම් අතරේ වෙනිං ගෑණුන්ගෙ, පිරිමින්ගෙ නම් තියෙනවද කියන එක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්නෙ.

 

3. හප්පා!

Image Source – snorenation.com

මේකත් අපි කලින් කියපු විදියටම නින්දට බාධා වෙන වැඩක් තමයි. සමහරවිට මුළු රැයම නින්ද යවන්නෙ නැතුව ඇහැරවලා තියන්නත් මේ වගේ දේකට පුළුවන්. ඔබේ සහකරු හෝ සහකාරිය නින්දෙන් අධෝවාත දැඩි ලෙස පිට කරන කෙනෙක් නම් ඔබේ අවට පරිසරයේ ශබ්ද දූෂණය වගේම ගන්ධ දූෂණය නිසා ඔබට ලොවම එපාවී, ලොවම කළකිරී තැවී තැවී ඉන්න සිද්ධ වෙන්න හොඳාකාරවම ඉඩ තියෙනවා. ඉතිං ඔය වගේ අවුල් දැනගෙන තමුන්ට ගැලපෙනම සහකරු හෝ සහකාරිය හොයාගන්න ඉඩක් ලැබෙන රැයක් එක්ව ගත කිරීම ඔබ මගහරින්නේ ඇයි?

 

4. තංගබලී

Image Source – pbs.org

මතකනෙ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටිය. කොල්ලා කෙල්ලත් එක්ක නිදියගන්න පළවෙනි රාත්‍රියෙ කෙල්ලගෙන් පයින් පාරක් කන්න වෙනවා. ඒ විදියෙ අනුවේදනීය කතා ලෝකෙ තවත් තියෙනව. උසාවියක කියලා ඩිවෝස් කරන්නත් අමාරු හේතුවක් තමයි “රෑට නින්දෙන් පයින් ගහනව ස්වාමීනී… හැමදාම මෙහෙම ගුටි කන්න බෑ ස්වාමීනී…” කියන එක. මෙන්න මේ කතා සියල්ල දැනගන්න ලේසි වෙන්න තමයි අපි කියන්නෙ මහ රෑට දෙන්නා එක්ව විසීමේ වාසි තියෙනවය කියලා.

 

5. මේ හිටියා මේ නෑ

Image Source – modernmom.com

විවාහයට පෙරාතුව තීරණයක් ගන්න පුළුවන් තවත් සාධකයක් තමයි මේ. ඒක තමයි කෙටියෙන් මේ හිටියා මේ නෑ කියල කියන්නෙ. උදාහරණයකට කිවුවොත් නින්දෙන් ඇවිදීම. ඔන්න යකෝ මහ රෑ දෙ​ගොඩහරිය වෙනකං කතා කර කර ඉඳලා නින්දට ගිය මනුස්සයා උදේ ඇහැරෙද්දි ගෙදර නැත්තං, ගෙදර දොරවලුත් ඇරලා දාලා නං වයිෆ්ට හිතෙන්නෙ මොනවද කියනවකො. ඒ මදිවට මනුස්සයා පහුවදා උදේ එහා ගෙදර සාලෙ නිදියගෙන කියලා ආරංචි වුනාම හිතට එන කේන්තිය ගැන හිතන්නකො. මෙන්න මේ අවුල් තැවුල් විසඳගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි මේ. ඒ වගේම සමහරු හොරෙන් ගමන් ගිහින් මං නින්දෙන් ඇවිදිනවා ඒයි වගේ කිවුවොත්, විවාහයට කලින් දෙන්නා එක්ක එක වහලක් යට ඉඳලා තියෙන අයට එහෙම බොරු කටින්ම අල්ලගන්නත් පුළුවන්.

 

6. පුදුම වදයක්

Image Source – digitaltrends.com

විවාහයට පෙරාතුව එක වහලක් යට හොරාට හොරාටවත් රැය පහන් කරලා තියෙනවානම් මෙහෙමෙ ඈයොන්ව ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ අය නින්දට ලොකු බාධාවක්. ඒ තමයි මෙයාලට නින්ද යන්නෙ නැති එක. මෙයාලට ඕන අපිව රෑ තිස්සට කතාවට අල්ලගන්න. එහෙමත් නැත්තං එයාලා ෆෝන් එකේ එබිලා ඉන්නකොට අපිට එලිය එනවා. ඒ නැතත් එයාලා නිදියන්නෙ නැතුව පෙරලි පෙරලි ඉද්දි අපේ නින්දට ඒක බාධාවක්නෙ. අන්න ඒ නිසාම නින්දට පෙරාතුව දෙන්න එක වහලක් යට ඉඳලා තිබුනානං මේ අර්බුදයට විසඳුමක් හොයාගන්න තිබුනා.

 

7. කුකුල්ලු

Image Source – wikihow.com

මෙහෙම ඈයොත් අනාගතේ කසාදයක් බැන්දම පුදුම වදයක් වෙනවා නියතයි. ඇයි යකෝ පාන්දර හතරාමාර වෙද්දි පුරුද්දට වගේ ඇහැරෙන අය කියන්නෙ නං ​ලෝක වාතයක්. එයාලා ඊටපස්සෙ යූටියුබ් වීඩියෝ බලද්දි මහ සද්දෙ. දොරවල් ඇරගෙන එලියට යද්දිත් ඒවා හෙමිහිට නෙමෙයිනෙ කරන්නෙ. ඊටත් හපං මේ අය අපිව ඇහැරවලා තේකක් එහෙම හදාගන්න ඇහුවොත්? අන්න ඒ නිසා කුකුලෙක් කිකිළියෙක් නෙමෙයිද කියන එකත් බලාගන්න එක්ව රැය පහන් කරන එක වාසියක් වේවි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *