ජීවිතේට වුවමනාවට වඩා ඕනෑම නැති දේවල් කීපයක්

අහල තියෙනවද “ටූ මච් එනිතින් ඊස් ගුඩ් ෆො නතින්” කියල සුද්දා කියල තියෙනවා? ඒක බොරුවක් නෙවෙයි. හැම දේම මඳ පමණට තියෙනවා වගේ නෙවෙයි, ඕනම දෙයක් සීමාව ඉක්මවලා තිබුණහම ඇත්තටම වෙන්නේ නරකක්. ඒ කියන්නේ සමහර ඇඟට ගුණයි කියලා කියන ඖෂධීය ගුණ තියෙනවා කියන ඔය කොළ වර්ග අනං මනං වුණත් වැඩිපුර ගත්තොත් වෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලා දේශීය වෛද්‍යවරුම කියනවා. ඇඟට හොඳයි, ගුණයි කියන සමහර කෑම වර්ග තියෙනවා ඕනවට වැඩියෙන් කන්න ගියොත් වෙන සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන. දැන් ඔය අපේ ජීවිත ගත්තත් ඒ විදියමනේ, හා නැද්ද? අපි ලව් කරන්න ගත්තත් ඕනෑවට වඩා ලව් එකේ පිස්සුවෙන් වගේ ඇලී ගැලී ඉන්න ගියොත් වෙන්නේ අපේ ජීවිතේ අනික් වැඩ, රැකි රක්ෂා වැඩ, පුද්ගලික ජීවිතේ මිස් වෙන එක. එතකොට රැකිරක්ෂා වැඩත් ඒ විදියටම වුවමනාවටත් වඩා සීමාව පැනගෙන කරන්න ගියොත් වෙන්නේ අපිට පවුල් ප්‍රශ්න, පුද්ගලික ජීවිතේ ප්‍රශ්න විතරක් නෙවෙයි, සෞඛ්‍ය ප්‍රශ්න පවා ඇති වෙන එක. ආන්න ඒ නිසා තමයි අපි හැම දෙයක්ම මඳ පමණට කරන්න ඉගෙන ගන්න ඕන.

 

දැන් ඔය සමහර දේවල් තියෙනවා අපි ඒ තරම් හිතන්නෙ නැතුව වුවමනාවට වඩා පාවිච්චි කරන්න යනවා. හැබැයි ඒවලින් සෞඛ්‍ය ගැටළු පවා ඇතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. අන්න ඒ නිසා අපි බලමු සාමාන්‍යයෙන් ජීවිතයට අවශ්‍යයි කියන, හැබැයි එහෙම කියලා වුවමනාවට වඩා ගන්න ගියොත් ප්‍රශ්න ඇති කරන දේවල් කීපයක් මොනවද කියලා!

 

1. විටමින් සී

විටමින් සී කියන්නේ අපිට සෑහෙන්න පළතුරු වර්ග වල සහ එළවළු වර්ග වල මුණගැහෙන විටමින් වර්ගයක්නේ. ඇත්තටම ප්‍රතිශක්තීකරණ පද්ධතියට එහෙම විටමින් සී ගන්න එක ඉතාම හොඳයි. ඒ නිසාම මේ දවස් වල කොවිඩ්19 වසංගතය එක්කත්, ගොඩක් දෙනෙක් විටමින් සී ගන්නවනේ. කොයි තරම්ද කියනවා නං, ඇත්තටම සමහර තැන් වල විටමින් සී හොයාගන්නත් නැති තරම්. ඉතින් විටමින් සී ශරීරයට හොඳයි. හැබැයි විටමින් සී වුවමනාවට වඩා ගත්තොත් මොකද වෙන්නේ? එක්ස්පර්ට්ලා කියන්නේ ප්‍රමාණයට වැඩියෙන් -ඒ කියන්නේ දවසකට විටමින් සී මිලිග්‍රෑම් 2,000 කට- වඩා ගත්තොත් එහෙම බඩේලිය යෑම, වමනය යෑම වගේ රෝග ලක්ෂණ වල ඉඳලා වඩාත් අනතුරු දායක පද්ධති හානි එහෙමත් වෙන්න පුළුවන් කියලා.

 

2. වතුර

වතුර බොන එක ශරීර සෞඛ්‍යය හොඳින් පවත්වා ගෙන යන්න අත්‍යාවශ්‍යම දෙයක් කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දිනකට සාමාන්‍යයෙන් පිරිමියෙක්ට වතුර ලීටර් 3.7 ක් විතරත්, කාන්තාවකට වතුර ලීටර් 2.7 ක් විතරත් අවශ්‍ය වෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. දැන් ඔය වතුර ප්‍රමාණය දේව වාක්‍ය වගේ ගන්නත් අමාරුයි. මොකද, අපේ දේශගුණය, අපි කන බොන දේවල් එක්කත් මේ ප්‍රමාණේ වෙනස් වෙනවා, ඉතින් සමහර වෙලාවට දවසකට බොන්න ඕන වතුර ප්‍රමාණය ඔයිට වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි අපි වැඩි හොඳට කියලා ඔය දවසකට බොන්න හොඳයි කියන වතුර ප්‍රමාණයට තව වතුර ලීටර් ගණනාවක් එකතු කළොත් එහෙම මොකද වෙන්නේ? විද්‍යාඥයෝ කියනවා එහෙම වතුර බොන්න ගියොත් එහෙම අධික රුධිර පීඩනය වගේම අඩු හෘද ස්පන්දන වේගයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම, ඇඟේ සෝඩියම් මගින් සෛල ඇතුළත සහ පිටත පවත්වා ගන්න බැලන්ස් එක නැතිවෙන්නත් පුළුවන් ලු ඕනෑවට වඩා වතුර බීමෙන්. ඒ කියන්නේ දියර සෛල ඇතුළට ගිහින් අතිශයින්ම අවදානම් -සමහර විට මරණයෙන් කෙළවර වෙන- සෞඛ්‍ය ආපදා ඇතිවෙන්න පුළුවන් ලු.

 

3. නින්ද

නින්ද අපේ ශරීරයට ඉතාම අවශ්‍ය දෙයක් කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඇත්තටම මේ වෙනකොට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සමහරු කිසිසේත්ම දවසකට ප්‍රමාණවත් තරමේ නින්දක් ලබා නොගන්න එක. ඒකෙන් දිවා කාලයේ වෙහෙස දැනීම වගේ දේවල් විතරක් නෙවෙයි, වඩාත් දැඩි සෞඛ්‍ය ගැටළු එහෙමත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් සාමාන්‍යයෙන් පැය 7-9ත් අතර නින්දක් ලබාගන්න කියලා තමයි කියන්නේ. සමහරු ඉන්නවා ඊටත් වඩා නිදාගන්න. ඒකත් ගැටළුවක් නෑ. හැබැයි නින්ද හොඳයි කියලා අසාමාන්‍ය විදියට දවසෙන් බාගයකටත් වැඩියෙන් නිදාගන්න ගියහම මොකද වෙන්නේ? ආන්න එතකොට ආයෙමත් සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පටන් ගන්නවා. දියවැඩියාව, ස්ථුලතාවය, හිසරදය, හෘද රෝග වගේ ඒවා විතරක් නෙවෙයි, මරණයට පත් වීමේ ඉහළ හැකියාවත් අසාමාන්‍ය විදියට දිනපතා දීර්ඝ වශයෙන් නිදාගැනීමත් එක්ක ඇතිවෙන දේවල් කියලා තමයි අහන්න ලැබෙන්නේ

 

4. ව්‍යායාම

අපි කොයි තරම් කියනවද සෞඛ්‍ය සම්පන්න ජීවිතේකට ව්‍යායාම වල තියෙන වැදගත් කම ගැන. ඇත්තටම ශාරීරික සුවතාවයට වගේම මානසික සුවතාවයටත් ව්‍යායාම අත්‍යාවශ්‍යයි. දැන් එහෙමයි කියලා අපි දවසට පැය පහ හය ගාණේ සතියේ දවස් හතම ජිම් එකේ පදිංචි වෙලා හිටියොත් අපේ ශාරීරික සහ මානසික සුවතාවය බූස්ට් වෙලා අපි කෙලින්ම බැට්මෑන්ලා වගේ වෙයිද? නැහැ කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. ඕනෑවට වඩා අධිකතර ප්‍රමාණයකින් ව්‍යායාම කරන්න යෑම ශරීර අනතුරු වලට, අනතුරුදායක මට්ටමේ ශාරීරික වෙහෙසට, ආතතියට සහ වෙනත් මානසික සංකූලතා වලට පවා හේතු වෙන්න පුළුවනිලු. ඇත්තටම ජිම් එකේ අයියා වුණත් කියන්නේ ඇඟ හදන්න නම් එක්සයිස් කිරීම වගේම හොඳට රෙස්ට් කිරීමත් අවශ්‍යයි කියලනේ. 

 

5. ප්‍රතිජීවක

දැන් ඔය ප්‍රතිජීවක කියන්නේ වෛද්‍ය විද්‍යාවේ බොහොම අද්විතීය සොයාගැනීමක්, ඒකේ දෙකක් නෑ. ප්‍රතිජීවක හොයාගත්තට පස්සේ සෑහෙන්න ලෙඩරෝග වළක්වා ගන්නත් පුළුවන් වුණා. ඉතින් එහෙම බලනකොට ප්‍රතිජීවක කියන්නේ ඉතාම හොඳ දෙයක්. එහෙමද හිතන්නේ? ඔව්, ඒක වැරදි නෑ. හැබැයි දැන් විද්‍යාඥයෝ කියනවා, ඕනෑවට වඩා ප්‍රතිජීවක ඕනැම නෑ කියලා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ප්‍රතිජීවක ප්‍රතිරෝධය විදියට හඳුන්වන්න පුළුවන් තත්ත්වය. ඒ කියන්නේ දිගින් දිගටම හැම සුළු කාරණාවටම ප්‍රතිජීවක ගත්තට පස්සේ, ඒ ප්‍රතිජීවක වලට අහන්නෙ නැති බැක්ටීරියා ඇතිවෙනවා. ඒ කියන්නේ සරලව සුව කරන්න පුළුවන් ලෙඩ රෝග ඊට පස්සේ සුව කරන එක අතිශය අමාරු වීම තමයි. ඒ වගේම, සමහර වෙලාවට අපේ ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග ප්‍රතිජීවක අනවශ්‍ය විදියට ගැනීම නිසා අපිට හානිකර වෙන්නත් පුළුවන් කියලා අහන්න ලැබෙනවා.

 

6. වැඩ

වැඩ කරන එක හොඳ දෙයක් නෙවෙයිද? ඉස්සර ඉඳන් කියන්නේ මහන්සි වෙලා වැඩ කරන එක හොඳ දෙයක් කියලා තමයි. හැබැයි පමණ ඉක්මවා වැඩ කරනවා කියන්නේ කිසිසේත්ම හොඳ දෙයක් නෙවෙයි. ඕනෑවට වඩා වැඩ කරන්න මහන්සි වෙන එක ශාරීරික ගැටළු වගේම මානසික ගැටළු වලටත් මුලක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ විතරක් නෙවෙයි, ඕනෑවට වඩා වැඩ කරන එකෙන් වර්ක් ලයිෆ් පර්සනල් ලයිෆ් බැලන්ස් එක අප්සෙට් ගිහින්, පවුල් සම්බන්ධතා අවුල් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඩෙස්ක් ජොබ් කරන අය දවස තිස්සෙම පුටුවක වාඩි වෙලා එක තැන ඉඳගෙන වැඩ කිරීමෙන් දියවැඩියාව, හෘද රෝග වගේ සෞඛ්‍ය අවදානම් එන්න පුළුවන් කියලා කියනවා.

 

7. ඩයට් සෝඩා වර්ග

දැන් ඔය විවිධ සෝඩා පාන වර්ග වල තියෙන සීනි මට්ටම ගහන නීතියක් ආවනේ. ආන්න එතකොට තමයි කට්ටියට පේන්න පටන් ගත්තේ සෝඩා ජාති බොනකොට අපේ ඇඟට කොයි තරම් සීනි එකතුවෙනවද කියලා. ඒකෙන් ගොඩක් අය සෝඩා ජාති බොන එක අඩු කරන්න ගත්තා. ආන්න ඒ නිසා සෝඩා කොම්පැණි හඳුන්වා දුන්නා ඩයට් සෝඩා වර්ග. ඒවල සීනි මට්ටම් බොහොම අඩුවෙන් තමයි පෙන්නන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු හිතුවා මේ ඩයට් සෝඩා වර්ග ශරීරයට හොඳයි කියලා. හැබැයි වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ ඇත්තටම ඩයට් සෝඩා ඕනවට වැඩිය බිව්වොත් එහෙම ඒත් සෞඛ්‍ය ප්‍රශ්න එනවා කියලා තමයි. ඒ කියන්නේ ලිවර් එකේ, ජීර්ණ පද්ධතියේ සංකූලතා වල ඉඳලා තව සෑහෙන්න සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා.

 

දැන් පැහැදිළියිනේ. එහෙමයි කියලා මේ එකක්වත් අඩුවෙන් අරගෙන හරියන්නෙත් නෑ. ඇත්තටම මෙතනදී අපි ඉගෙන ගන්න වුවමනා කරන්නේ අර බුදුහාමුදුරුවොත් කියපු විදියට මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීම තමයි. එහෙම කළොත් ජීවිතේ ආතල් එකක් තියෙයි, ප්‍රශ්න ගැටළු අඩු වෙයි.