80, 90 දශක වලදී නවීන ටෙක්නොලොජි නැතුව අපි වැඩ කරගත්තේ මෙහෙමයි!

ඔය දෙදාහෙන් පස්සෙ උපන්න නංගියෙක්ට මල්ලියෙක්ට (පුතෙක්ද දුවෙක්ද මන්දා) හිතාගන්න පුළුවන්ද ස්මාට්ෆෝන් නැති ලෝකයක් ගැන? එතකොට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් නැති ලෝකයක් ගැන? ඇත්තටම එහෙම හිතන එක ටිකක් අමාරුයි තමයි. මොකද ඒ තරමටම ස්මාට්ෆෝන් එක අපේ ඇඟේ කෑල්ලක් වෙලා. ෆේස්බුක් හරි අනෙක් සමාජ ජාල හරි අපේ දෛනික වැඩ වල කොටසක් වෙලා. හැබැයි අනූව දශකයේ නැතිනම් අසූව දශකයේ ජීවත් වුණු අයට අද තියෙන වැඩ පහසුකරවන තාක්ෂණයන් තිබුණෙ නැහැනේ. උන්දැලා එහෙම තාක්ෂණයන් නැතුව කාපු කටු අනන්තයි. හැබැයි හොඳම දේ මේකයි. ඒ කාලේ හිටපු උන්දැලා වුණු අපිට ඒ කාලේ ඒවා කටු කියලා දැනුනෙ නෑ, ඒවා එදා අපේ එදිනෙදා ජීවිතේ විතරයි!

 

1. රිමෝට් කන්ට්‍රෝල්

දැන් තියෙන ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී ඒ කාලේ තිබුණෙ නැහැනේ. ඒ කාලේ තිබුණේ CRT නැතිනම් කැතෝඩ නළ රූපවාහිනී කියලා හඳුන්වපු අර තඩි පස්සක් තිබුණු ටීවී යන්ත්‍ර තමයි. හැබැයි අනූව දශකයේ මැද වෙනකොට ආපු එහෙම ටීවී වලත් රිමෝට් කන්ට්‍රෝල් තිබුණා. හැබැයි ඊටත් කලින්, ඒ කියන්නේ ලංකාවට ටීවී ආපු අසූව දශකයේ තිබුණු ටීවී වල රිමෝට් කන්ට්‍රෝල් කියලා දෙයක් තිබුණෙ නෑ. අපිට චැනල් එකක් මාරු කරන්න ඕන නම් අපි ටීවී එක ගාවට ගිහින් ඒකේ පැත්තක තියෙන රවුම් නොබ් එක කරකවන්න ඕන. හැබැයි ඉතින් වාසනාවට ඒ කාලේ තිබුණේ එක චැනල් එකයි, නැතිනම් උපරිම දෙකයි. ඒ නිසා විනාඩි පහෙන් පහට ටීවී එක ගාවට ගිහින් ඕක කරකවන්න සිද්ධ වුනේ නෑ!

 

2. ටෙලිග්‍රෑම්

අද අපිට ඔෆිස් එන්න වෙන්නෙ නැති නම් අපි මොකද කරන්නේ? ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි සුටුස් ගාලා ඊමේල් එකක් ටයිප් කරනවා HR එකට. එහෙම නැතිනම් වෙනත් ඕනම පණිවිඩයක් වුනත් දෙන්න ඊමේල්, මැසෙන්ජර් සේවා අනං මනං තත්පරේකට දුරින් තියෙන්නේ. හැබැයි ඉස්සර ස්මාට්ෆෝන් කියලා දෙයක් හීනෙන් වත් දැකලා තිබුණේ නැති කාලේ ඔව්වා තිබ්බෙ නෑ. ඒ කාලේ හදිසි පණිවිඩයක් යවන්න ඉතින් අපි දුවන්න ඕන තැපැල් කන්තෝරුවට. ඉන් පස්සේ ගහන්න ඕන ටැලිගැරැං එකක්. ඒක තමයි ඒ කාලේ ඉක්මන්ම ක්‍රමේ. දවසෙන් ලංකාවේ ඕනම තැනකට යනවා!

 

3. ෆොටෝග්‍රැෆි

ඒ කාලෙත් අපි ඔය ෆොටෝග්‍රැෆි සීන් එකට හෙනම ආසයි පුතාලා දුවලා. දැන් ට්‍රිප් එකක් ගියහම ෆොටෝ එකක් ගන්න ඕන නම් මොකද කරන්නේ? ස්මාට්ෆෝන් එක ගත්තා, ෆොටෝ එක ඇල්ලුවා, කෙලින්ම ෆේස්බුක් ෂෙයාර් කළා. එතකොට අපේ කාලේ? ඒ කාලේ අපි ට්‍රිප් එකක් යන්න කලින් ස්ටුඩියෝ එකට ගිහින් බැටරි කෑලි දෙකකුයි ෆිල්ම් රීල් එකකුයි ගත්තා (ගන්නේ කොඩැක්ද ෆූජිද කියන එක තීරණය කරන්නත් සෑහෙන වෙලාවක් ගියා), ට්‍රිප් එක ගියා, පරිස්සමට ෆොටෝ 24 නැතිනම් 36 පරිස්සම් කරලා ඕනම ෆොටෝස් විතරක් ගැහුවා, ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ ආයෙමත් රීල් එක ඔතාගෙන ස්ටුඩියෝ එකට ගියා, සුද්ධ කරන්න දුන්නා, දවස් කීපෙකට පස්සේ ආයෙ ස්ටුඩියෝ එකට ගිහින් ෆොටෝ ටික අරගෙන ආවා. හෙනම සරලයි නෙහ්?

 

4. සිංදු ලිරික්ස්

දැන් කාලේ වගේම ඉස්සරත් අපි හෙනම සංගීතෙන් ජීවත් වුණු මියුසික් ලවර්ස්ලනේ බ්‍රෝ. ඒ කාලේ ඔය ගිටාර් පිස්සු එහෙමත් අපිට තිබුණා. ගිටාර් එක ගහ ගහා කියන්න ඉංග්‍රීසි සිංදු එහෙමත් අපිට ඕන වුනා. හැබැයි ඔය ඉංග්‍රීසි සිංදු වල පදවැල් පටස් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනේ. ඉන්ටර්නෙට් තියා කම්පියුටර් තිබුණෙත් නෑ. ඉතින් අපි සිංදුව කැසට් එකට දාලා කෑල්ලෙන් කෑල්ල පෝස් කර කර, රිවයින්ඩ් කර කර අහනවා. අහන ගමන් අපේ සිංදු පොතේ ලියාගන්නවා. හැබැයි ඉතින් ඔහොම කණට ඇහෙන විදියට සිංදු පදවැල් ලියලා ගොඩක් වෙලාවට අපි කියලා තියෙන්නේ ඉංග්‍රීසියෙ තියා ප්‍රංස බාසාවෙවත් නැති කුණුහරුප තමයි!

හැබැයි සිංහල සිංදු වලට ඒ තරම් දුකක් විඳින්න වුනේ නෑ. මොකද ඒ කාලේ තිබුණා ජනප්‍රිය සිංහල සිංදු වල පදමාලා තියෙන සිංදු පොත්!

 

5. ගෙදරදී ෆිල්ම් එකක් බැලුවේ මෙහෙමයි!

දැන් නම් ඉතින් අලුතින් ආපු ෆිල්ම් එකක හොඳ කොපියක් ආපු ගමන් ඒක ඩවුන්ලෝඩ් කරලා ලැප්ටොප් එකේ තියෙනවනේ. ඕන වෙලාවට ලැප් එකෙන් හරි ටීවී එකෙන් හරි බලන්න තමයි තියෙන්නේ. ඕන නම් අද බාගයක් බලලා, හෙට එතන ඉඳලා ඉතුරු ටික බලන එක ඊසි වැඩක්. හැබැයි ඉතින් අපි ඩෙක් පීස් වලින් ෆිල්ම් බලපු කාලේ එහෙම ලේසි පාසු සීන් තිබුණෙ නෑ. අර තඩි ඩෙක් පීස් එක දාලා විනාඩියක් විතර ලෝඩ් වෙනකල් බලාගෙන ඉන්නවා. ඉන් පස්සේ ෆිල්ම් එක අගට ගිහින් තිබුණොත් පැය දෙකේ ෆිල්ම් එක මුලට රිවයින්ඩ් කරන්න අඩුම තරමින් පැය බාගයක් යනවා. ෆිල්ම් එකේ ඉතුරු බාගේ හෙට බලන්න වුනොත් නං එතන ඉඳලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් මොකක් හරි මිස් වෙච්ච කෑල්ලක් රිවයින්ඩ් කරන්න, ඕන නැති කෑල්ලක් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරන්න ඩෙක් එක ගාව දණගහගෙන ටේප් එක එහා මෙහා යවන්න ඕන. එතකොට ගෙදර මිනිස්සු ඉන්න වෙලාවක ෆිල්ම් එකේ ඇඩම්ස් ඔන්ලි කෑල්ලක් ගියොත් එහෙම දැන් වගේ එස්කේප් බට්න් එක ඔබලා ෆිල්ම් එක මිනිමයිස් කරන්න ඒ කාලේ බෑ පුතාලා. කෙලින්ම සරම ගලවලා ටීවී එක වහන්න තමයි වෙන්නේ!!!

 

6. කැසට් පීස්!

දැන් කාලේ සිංදු අහන එක කොයි තරම් ලේසිද? ලැප්ටොප් එකෙන් හරි ස්මාට්ෆෝන් එකෙන් හරි අයිපොඩ් එකෙන් හරි ඕන සිංදුව සිලෙක්ට් කළා, හෙඩ්සෙට් එක ගහගත්තා, ඇහුවා. ඒකට ඉස්සර. අපිට තිබුණේ කැසට් පටිනේ. ඉතින් එතකොට ඕක සෙටප් එකට දාලා මුල ඉඳන් අගට යනකල් තියෙන පිළිවෙලට සිංදු අහපු එක තමයි ක​ළේ. බැරි වෙලාවත් සතියකට කලින් අහලා කැසට් එක අග හරියේ තිබුණොත් ඔන්න රිවයින්ඩ් කරන්න ඕන. ටේප් එක හිරවෙලා තිබුණොත් එළියට අරගෙන පෑනක් කැසට් එකට රිංගවලා මැනුවලි ඔතන්න ඕන. ටේප් එක කැඩිලා එහෙම නම් ඔන්න සිංදුවේ එක කෑල්ලකට ගුඩ් බායි කියලා ඒක අලවන්න ඕන. ඇත්තටම ඒ කාලේ සිංදුවක් අහන එකත් හෙනම ගේමක්!

 

7. යාලුවෙක් එක්ක චැට් එකක්!

දැන් කාලේ යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න ඕන වුනහම ෆේස්බුක් මැසෙන්ජර් හරි වට්ස්ඇප් හරි ඕපන් කරගන්න විතරයි තියෙන්නේ. ඕන නම් යාලුවෝ සෙට් එකත් එක්කම ගෘප් චැට් එකක් වුනත් ගේමක් නැතුව කරගෙන යන්න පුළුවන්. හැබැයි අපේ කාලේ එහෙම බෑ. යාලුවොත් එක්ක චැට් එකක් දාන්න ඕන නම් එක ක්‍රමයයි තියෙන්නේ. අම්මට බොරුවක් කියලා එලියට බැස්සා, බීඑම්එක්ස් බයික් එක හරි තාත්තගේ හර්කියුලිස් බයික් එක හරි අරගෙන හොඳම යාලුවගේ ගෙදරට පැද්දා, උගේ කාමරේට ගිහිල්ලා දවල් කෑම වෙලාව වෙනකල් චැට් එකක් දැම්මා!

 

ඕන්න ඔහොමයිලු අසූව, අනූව දශක වල අපි ජීවත් වුනේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *