ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් කියන්නේ ලංකාවේ පාඨකයින් අතරත් අතිශය ජනප්‍රිය කොලොම්බියානු ජාතික කතුවරයෙක්. ඔහුගේ කෘති වල දකින්නට ලැබෙන මායා යථාර්ථවාදී ස්වරූපයෙන් ආභාෂය ලබපු ශ්‍රී ලාංකික කතුවරුනුත් බොහොමයක් ඉන්න බව නොරහසක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගාර්ෂියා මාකේස්ගේ කෘති අතරින් සිංහලට පරිවර්තනය වූ හොඳම කෘති 7ක් ගැනයි…
1. කොලරා කාලේ ආලේ
ෆර්මිනාගේ ආදරය වෙනුවෙන් අවුරුදු පනස් තුනකුත් මාස හතකුත් දින එකොළහක් බලන් හිටපු ෆ්ලොරින්තෝ අරීසාව නම් මේ පොත කියවපු මොනම පාඨයෙක්‍ටවත් අමතක වෙන්නෙ නෑ. ඒ තරම් හදවත ස්පර්ශ කරපු හරිම ආදරණීය නිර්මාණයක් මේක. “Love in the Time of Cholera” නම් වූ මෙහි මුල් කෘතිය සිංහලට පරිවර්තනය කළේ ගාමිණී වියංගොඩ මහතායි. නොකියවපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කියවන්න…
2. සියක් වසක හුදෙකලාව
මාකේස්ගේ ජනප්‍රියම නවකතාව තමයි මේ. මේක පරිවර්තනය කළේ අබේ දිසානායක හා පසන් කොඩිකාර යන පරිවර්තකයින් විසින්. අබේ දිසානායක මහතාගේ හදිසි අභාවය නිසා පසන් කොඩිකාර මහතා එහි ඉතිරිය පසුව පරිවර්තනය කළ බවයි සඳහන් වෙන්නේ. මේ කෘතියට පාදක වෙන්නේ මැකොන්ඩා නම් මනඃකල්පිත නගරයේ ජීවත්වන පරම්පරා කිහිපයක මිනිසුන්ගේ කතාවක්. සියක් වසක් පුරා දිගහැරෙන මේ මායා යථාර්ථවාදී කතාව ඔබව මෙතෙක් නවකතාවකින් ඔබ අත්නොවිඳි අමුතුම ලොවකට ගෙන යනවා නිසැකයි.
3. කර්නල් සහ එරෙන්දිරා
කර්නල් කියන්නේ ජීවිතයෙන් හුදකලා වුණු මිනිසෙක්. එරෙන්දිරා කියන්නේ අභිසරුලියක්. ඉතින් මේ දෙදෙනාගේ කතාව තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. “No one writes to the colonel” නම් මේ නවකතාව නම් කිහිපයකින්ම සිංහලට පරිවර්තනය වී තිබෙනවා. අද අපි කියපු කර්නල් සහ එරෙන්දිරා කෘතිය සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ ජනක ඉනිමංකඩ විසින්.
4. මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක
මාකේස්ගේ “Memories of My Melancholy Whores” නම් කෘතිය තමයි “මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක” යන නමින් සිංහලට පරිවර්තනය වුණේ. පරිවර්තනය සිදු කළේ විදුර ප්‍රභාත් මුණසිංහ. මේ කෘතියට පාදක වෙන්නේ තීරු ලිපි රචකයකු වූ එක්තරා නමක් නැති මහළු මිනිසෙක්ගේ කතාවක්. ඔහු සිය අනූ වන උපන් දිනයේදී ලාබාල කන්‍යාවක සමඟ යහන් ගත වීමේ ආශාවක් ප්‍රකාශයට පත් කරනවා. හරිම ශංගාරාත්මක රසයක් තියෙන, ප්‍රේමය ගැන කියවෙන අපූරු පොතක්.
5. කරුමක්කාර කතාවක්
මේක මාකේස්ගේ අනිත් කෘති වලට සාපේක්ෂව හරිම කුඩා කෘතියක්. ඒ වුණත් මේ හරහා කියවන සමාජ කියවීම නම් හරිම විශිෂ්ටයි. ඒ වගේමයි මේ නිර්මාණය තුළ සෑහෙන්න කුතුහලයක් තියෙනවා මෙහි මුල් කෘතියේ නම වෙන්නෙ “Chronicle of a Death Foretold.” මේ කතාවට පාදක වෙන දේ ගැන කිව්වොත් සන්තියාගෝ නසාර් කියන පුද්ගලයව තවත් පුද්ගලයන් දෙන්නෙක් විසින් මරලා දාන්න සැලසුම් කරනවා. මේ ඝාතනය සිදුවෙන බව නසාර් හැර මුළු ගමම දන්නා දෙයක්. එක හුස්මට කියවන්න පුළුවන් මේ පොතත් ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුම පොතක් හැටියට අපි ඔබට නිර්දේශ කරනවා.
6. විකල් හෝරාව
මාකේස්ගේ “In Evil Hour” නවකතාව තමයි විකල් හෝරාව නමින් පරිවර්තනය වෙන්නේ. නිලූක කඳුරුගමුව තමයි මෙය පරිවර්තනය කරන්නේ. මෙයත් මායා යථාර්ථවාදී ලක්ෂණ සහිතව ලියන ලද මාකේස් විසින් ලියූ පැරණිම කෘතියක්. නමක් නොමැති කොලොම්බියානු ගමක සිදුවන සිදුවීම් මාලාවක් තමයි මෙහි කතාවට පාදක වෙන්නේ. නමුත් ඒ කතාව කොලොම්බියානු ගමකට විතරක් සීමා කරන්න පුළුවන් කතාවක් නොවන බව ඔබට මේ කෘතිය කියවීමේදී තේරුම් යනවා නිසැකයි.
7. මුහුදුබත් වූ සේලරුවකුගේ කථාව
මෙය ඉතාම කුඩා නවකතාවක්. මුහුදුබත් වූ සේලරුවකු දිවි ගලවා ගත් ආකාරය කියවෙන සැබෑ කතාවක් පදනම් කරගෙන ලියන ලද්දක්. මේ කතාව මුලින්ම මාකේස් පුවත්පතකට කොටස් වශයෙන් ලියන ලද්දක්. මේ නවකතාව කෙටි එකක් වුණාට එහි සම්පූර්ණ නම නම් සෑහෙන දිගයි. හරියටම කියනවනම් “The Story of a Shipwrecked Sailor: Who Drifted on a Liferaft for Ten Days Without Food or Water, Was Proclaimed a National Hero, Kissed by Beauty Queens, Made Rich Through Publicity, and Then Spurned by the Government and Forgotten for All Time.” තමයි ඒ නම. මේ කතාව සිංහලට පරිවර්තනය කළේ පියල් ජයරත්න. ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු මාකේස්ගේ අපූරු කෘතියක් මෙයත්.
එහෙනම් මේ පොත් ඔබ කියවලා තියනවනම් ඒවා ගැන ඔබේ අදහසුත් අපිට කමෙන්ට් එකකින් කියන්න කියලා අපි අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
ශශින් ප්‍රබෝද්
[…] ඔබ කියවිය යුතුම ගේබ්‍රියෙල් ගාර්ෂියා… […]