ඔය බාත් එකක් ගන්නවා, ෂවර් එකක් ගන්නවා, බොඩි වොෂ් එකක් ගන්නවා වගේ කතන්දර සමහර වෙලාවට ඇහෙනවනේ. නැද්ද? දැන් අපිට සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්න තියෙන්නේ එක්කෝ ඇඟ හෝදගන්නවා, නැතිනම් නානවා. ඔච්චරයිනේ. එතකොට මොනවද මේ අනික් එව්වා. හරි, බොඩි වොෂ් කියන්නෙත් අපි ඇඟ හෝදනවා කියන එකටම තමයි. ෂවර් එකක් ගන්නවා කියලා සාමාන්‍යයෙන් කිවුවොත් ඒ කියන්නේ ෂවර් එක යටට ගිහින් නානවා කියන එක (සමහර වෙලාවට ඒ කියන්නේ ගෙදරට ෂවර් එකක් ගන්න බාත්රූම් බඩු කඩේට ඇවිත් කියන එක වෙන්නත් පුළුවන්). එතකොට බාත් එකක් ගන්නවා කියන්නේ? අන්න සීන් එක. ඕන නම් සාමාන්‍යයෙන් නානවා කියන්නත් බාත් එකක් ගන්නවා කියන්න පුළුවන්. හැබැයි බාත් එකක් ගන්නවා කියන එකේ දෙවෙනි අර්ථය වෙන්නේ අර බාත් ටබ් එකක ගිලිලා, ෆුල් රිලැක්ස් එකේ, ආතල් එකේ ඉන්නවා කියන එක. අර ෆ්‍රෙන්ඩ්ස් ටීවී සීරීස් එකේ අට වෙනි සීසන් එකේ දහතුන් වෙනි එපිසෝඩ් එක එහෙම බලපු කෙනෙක් දන්නවා මේ බාත් ටබ් එකක බැහැලා බාත් එක්ක ගන්න එකේ ආතල් එක.
හරි, බාත් ටබ් එකේ බාත් එකක් ගන්නේ නාලා පිරිසිදු වෙන පරමාර්ථය විතරක් ඇතුව නෙවෙයි, ඇත්තටම බාත් එකකට එහෙම පරමාර්ථයක් ඕනැත් නෑ. හැබැයි දවසම වැඩ කරලා, මහන්සි වෙලා, ස්ට්‍රෙස් වෙලා ඇවිත්, ඒ ස්ට්‍රෙස් එක නිවාගන්න නම්, ආන්න බාත් එකක් පර්ෆෙක්ට්.
ඉතින් එහෙම පර්ෆෙක්ට් බාත් එකක් කොහොමද ගන්නේ කියලා කියන්න තමයි මේ යන්නේ.
1. කොහෙද බාත් එකක් ගන්නේ?
බාත් එකක් ගන්න නම් බාත් ටබ් එකක් තියෙන්න ඕන. ඒක නිදහස් බාත්රූම් එකක තියෙනවා නම් තමයි වටින්නේ. ටොයිලට් බාත්රූම් අනං මනං ඔක්කොම හිර කරලා තියෙන එකක බාත් ටබ් එකත් ගෙනැල්ලා ඔබනවා කියන්නේ, ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා කියන එක. ඒ කියන්නේ රිලැක්ස් වීම. අන්න ඒ නිසා පොඩ්ඩක් හිතලා මතලා, නිදහස් වෙලාවක් ගත කරන්න පුළුවන් ස්පේස් එකක බාත් ටබ් එක හයි කරන එක හොඳයි.
2. වටපිටාව සෙට් කරමු
ඔව්, ෆිල්ම් වල වගේ තමයි. බාත් ටබ් එකකට බැහැලා රිලැක්ස් එකේ ඉන්නකොට ලස්සනට ගාණට ඇහෙන මියුසික් එකක් එහෙමත් තියෙනව නම් කොහොමද? හරි, බාත්රූම් එකට ස්පීකර් හයි කරන්නම ඕන නෑ. හැබැයි දැන් තියෙන බ්ලූටූත් ස්පීකර් එකක් ෆෝන් එකට කනෙක්ට් කරලා, ෆෝන් එකෙන් හොඳ රිලැක්සින් මියුසික් ප්ලේ ලිස්ට් එකක් දාන්න පුළුවන්. එතකොට ඕන නං සුවඳ ඉටිපන්දම් එහෙමත් පත්තු කරගන්න. හැබයි පරිස්සමට. බාත් ටබ් එකේ ඉන්නකොට මොනවා හරි කියවන්නත් ඕනෑ නං, පොතක් පතක් එහෙමත් ලඟ තියාගත්තට කාරි නෑ. ඕන නං බාත් ටබ් එකේ ඉන්න ගමන් ලියන්නත් පුළුවන්.
3. ෂවර් එකක් අරං පටන් ගමුද?
මේක නිකං විකාර කතාවක් වගේ නේද? බාත් ටබ් එකට බහින්න කලින් ෂවර් ගන්නේ මොකටද කියලනේ හිතන්නේ? ඒක මෙහෙමයි. ඔන්න දවස පුරාම එළියේ ඉඳලා, මහන්සි වෙලා ආවට පස්සේ කෙලින්ම බාත් ටබ් එකට බහින්නත් පුලුවන්. එහෙම නැතිනම් ෂවර් එකක් අරගෙන, පොඩ්ඩක් ඇඟ පතේ කුණු යවාගෙන ටබ් එකට බහින්නත් පුළුවන්. ඇත්තටම බාත් ටබ් එකට බහින්නේ රිලැක්ස් වෙන්නනේ. සමහරුන්ට ඇඟේ පතේ කුණු කන්දල් එක්ක එහෙම ටබ් එකට බැහැලා රිලැක්ස් ටයිම් එකක් එන්ජෝයි කරන්න බෑ. එහෙම වුනොත් කලින් ෂවර් එකක් අරගෙන ආවොත් හොඳයි.
4. වතුර උෂ්ණත්වය
ඇත්තටම බාත් ටබ් එකක නියම අත්දැකීම ගන්න නම් හොට් වෝටර් එහෙම නැතිනම් උණුසුම් ජලය තමයි ඕන. ඒ කියන්නේ ගොඩක් රස්නේ වතුර නෙවෙයි. හැබැයි උණුසුම් ජලය. ඒක බොහොම රිලැක්ස් අත්දැකීමක්. හොට් වෝටර් වලින් ටබ් එකේ බාගයක් විතර පුරවලා, ඊට පස්සේ සාමාන්‍යයෙන් එන සීතල වතුර පුරවලා, තමන්ට ගාණට සෙට් වෙන උෂ්ණත්වයට එනකල් හොට් ඇන්ඩ් කෝල්ඩ් වතුර මික්ස් කරගත්තා නම් හරි. හැබැයි මූලිකව අපහසුවක් නැති උෂ්ණත්වයට වතුර පිරුණට පස්සේ ටබ් එකට බැහැලා තමයි ඉතුරු වතුර මික්ස් කරගන්න ඕන. මොකද, නිකම්ම ටබ් එකට අත දාලා බැලුවම තියෙන උෂ්ණත්වය වැඩියි හරි මදියි හරි කියලා දැනෙන්න පුළුවන් ටබ් එකට බැස්සට පස්සේ!
5. බාත් සෝල්ට්ස්!
බාත් සෝල්ට්ස් කියලා මත්ද්‍රව්‍යයකුත් තියෙනවා. හැබැයි මේ කියන්නේ ඒවා ගැන නෙවෙයි. මේ කියන්නේ එක්කෝ එප්සම් ලුණු නැතිනම් වෙනත් ඒ වගේ වතුරේ දියවෙන ලුණු වර්ගයන්. හැබැයි වතුරේ දියවෙනවා කියලා ගෙදර පොල්කට්ටේ ලුණු හරියන්නෙ නෑ. මේවා වෙනම ගන්න ඕන. ඇත්තටම මේවා සුපිරි වෙළඳසල් වල කොස්මැටික් සෙක්ෂන් එකේ, කොස්මැටික් ඒජන්ට්ලා ගාව එහෙම තියෙනවා. බාත් සෝල්ට්ස් වලින් අපේ ඇඟේ පතේ තියෙන කුණු හොඳින් ඉවත් වෙනවලු. ඒ වගේම වඩාත් වැදගත් වශයෙන්, අපේ ඇඟේ මස්පිඬු එහෙම රිලැක්ස් කරන්නත් බාත් සෝල්ට්ස් උපකාරී වෙනවලු. ඒ වගේම සමස්තයක් විදියට අපිට බාත් එකක දැනෙන රිලැක්සින් ෆීලින් එකත් වැඩි කරනවලු.
6. ඇයි බාත් බෝම්බ්ස්? එසෙන්ෂල් ඔයිල්? බාත් ඔයිල්? බබ්ල්ස්?
ඔව්. බාත් එකක් ගන්නවා නම් මේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. කොහොමත් බාත් එකට එසෙන්ෂල් ඔයිල් දාන එකෙන් හොඳ සුවඳක් එනවා. ඒකත් අර රිලැක්සින් ෆීලින් එකට වැදගත්. එතකොට අර පෙණ වල ගිලිලා බබ්ල් බාත් එකක් ගන්න ඕන නම් බබ්ල් බාත් මේකර් එකක් ගන්න පුළුවන්. ඒකත් අර උඩ කියපු විදියට කොස්මැටික් තියෙන තැන් වලින්ම ගන්න පුළුවන්. එතකොට මොනවද බාත් බෝම්බ්ස් කියන්නේ? ඒක අලුත් සීන් එකක්. බාත් බොම්බ් එකක් ටබ් එකට දැම්මහම නිකම් අර වතුරට ඩිස්ප්‍රීන් පෙත්තක් දැම්මා වගේ, ඊටත් වඩා වේගවත් ප්‍රතික්‍රියාවක් දකින්න පුලුවන්. ඒකෙන් නිකුත් වෙන සිට්‍රික් ඇසිඩ් හමට හොඳයි කියලා තමයි කියන්නේ. ඒ ඇරෙන්න ඒකේ තියෙන එසෙන්ෂල් ඔයිල්, මොස්චරයිසර් වුනත් හමට හොඳයි සහ හොඳ සුවඳක් දෙනවා.
7. ඊට පස්සේ මොකද කරන්නේ?
ඊට පස්සේ ඉතින් තියෙන්නේ රිලැක්ස් එකේ ඉන්න. ඕන නම් ඔලුව තියාගන්න ටවල් එකක් නවලා බාත් ටබ් එකේ ගැට්ටට තියන්න පුළුවන්. එහෙම නැතිනම් බාත් ටබ් පිලෝ කියලා කොට්ට ජාතියක් එහෙමත් ගන්න තියෙනවා. ඕන නම් එහෙම එකක් ඔලුවට තියාගෙන, මියුසික් රසවිඳගෙන ඉන්න පුළුවන්. ඕන නම් තේ එකක්, වයින් එකක් බොන්නත් පුළුවන්. නැත්නම් පොතක් පතක් කියවන්නත් පුළුවන්. ඒකට අත් වල වතුර පිහිදාගන්න තුවායකුත් ලඟ තියෙන්නම ඕන. තමන්ට ඇති වෙනකල් හරි, වෙලාව තියෙනකල් හරි රිලැක්සින් වෙලාවක් ගත කළාට පස්සේ, ගොඩට ඇවිත් ඇඟ පත පිහිදාගෙන, පොඩ්ඩක් ඇඟේ මොයිස්චරයිසින් ගාලා රිලැක්ස් එකේ ඉන්න තියෙන්නේ. ආයෙ හිටගෙනත් නින්ද යයි සනීපෙට.
Leave a Reply