වගාව කියන්නේ හොඳම විනෝදාංශයක්. අපි වගාකරපු ගහක ගෙඩියක් හැදිලා ඒක ලොකුවෙන හැටි සත්කාර කරමින් බලාගෙන ඉන්න එක හිතට ලොකු සන්තෝසයක්. ගෙවතු වගාවක් ගැන අදහස තිබුනත් අපි බොහෝ දෙනෙකු ඒකට යොමු වෙන්නට හිතනවා විතරයි. බැහැලා ගොවිතැන් කටයුතු කළත් ඒවා සමහර වෙලාවට කඩාකප්පල් වෙනවා. ඉතින් ගෙවතු වගාවක් එහෙම බිඳවැටෙන්නේ නැතුව ආසාවෙන් කරගෙන යන්න, අස්වනු වැඩිකරගන්න ටිප්ස් කිහිපයක් අපි බලමු.
1. බෝග පිළිවෙලක් ඇතුව හිටවමු
ගෙවත්තක් විදිහට යොදාගන්නේ පොඩි භූමියක්. අපිට විශාල භූමියක් තිබුනත් ගෙවත්තකට යොදාගන්නේ සීමිත ඉඩකඩක්. බෝග වගාවේදී නැගෙනහිර දිශාවෙන් එන මෘදු සූර්යාලෝකය බෝග හැම එකකටම පාහේ ලැබෙන විදිහට බෝග ටික පිළිවෙළ කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ගෙවතු වගාවකදි සාමාන්‍ය වගාවක් වගේ එකම ජාතියේ දේවල් නෙමෙයි වගා කරන්නේ. විවිධ ආකාරයේ එළවළු, පළතුරු සහ මල් වර්ග ගොඩක් අපි පොඩි බිමක වගා කරන්න යොදාගන්නවා.
2. බෝග කලවම් කරමු
මහා පරිමාණ එළවළු වගාවකදී කරවිල වගා කරන මැස්සක ඒ නියමිත අවකාශයේ බොහෝවිට වවන්නේ කරවිල පමණයි. බණ්ඩක්කා නම් බණ්ඩක්කා පමණයි. ඒ වුනාට ගෙවත්තකදි අපි කලින් කිව්වා වගේ බණ්ඩක්කා හෝ ඉරිඟු ගස් වවලා ඒ ගස් වල එතෙන්න මෑ වැල්, බෝංචි වැල් යවනවා. අපේ කුඩා ඉඩකඩේ බිත්තියක් හෝ වැටක් තියෙනවා නම් ලී පතුරු ටිකක් පිළිවෙලට හදලා ඒක දිගේ අපිට වට්ටක්කා වැලක්, පුහුල් වැලක් යවන්නට පුළුවන්. මෑකරල්, බෝංචි, දඹල වගේ රනිල බෝග වලින් පසට නයිට්‍රජන් එකතු කරනවා. ඒ ආකාරයට බෝග කලවම් කරලා වැවීමෙන් පලිබෝධ හානි අඩු වෙනවා වගේම අවකාශය හොඳට භාවිතා වෙනවා.
3. ඇට තෝරාගනිමු
අපිට ගෙදර ප්‍රයෝජනයට නම් එළවළු වැල් හෝ පැළ දහයක් වවලා තිබුනත් ඇති. ඒත් ඉතින් ටිකක් වැඩිපුර හිටවගත්තොත් අපිට වැඩි ටික ළඟපාත කඩේකට දෙන්න හෝ අවට අය එක්ක බෙදාගන්න පුළුවන්. ගෙවතු වගාවකදි වුනත් හොඳ පැළ ටිකක්, හොඳ ඇට ටිකක් අපි හොයාගන්න ඕනි. කුස්සියෙන් ඉවත්කරන එළවළුවකින් වුනත් අපිට බීජ ගන්න පුළුවන් තමයි. ඒත් ඉස්සර වගේ දැන් එහෙම අපි මිලදී ගන්න එළවළු, පළතුරු වල ඇට සරු බීජ වෙන අවස්ථා දැන් සෑහෙන අඩුයි. ඒ නිසා හැකි පමණ අපිට ඇට ටිකක් මිලදී ගන්න හැකි නම් වටිනවා.
4. පෝර භාවිතය
අපේ රට නිවර්තන රටක්. ඒ නිසා සෑම වැස්සකටම පසේ තියෙන සාරය හෝදගෙන යනවා. අපි වගාකරන බිමේ තියෙන පෝෂ ගුණය වතාවක් දෙකක් වගාකරාට පස්සේ අඩුවෙනවා. ඒ නිසා පසට පොහොර එකතු කරන්නට ඕනි. එක පැත්තකින් කුස්සියේ සහ වගාවෙන් ඉවත් කරන අපද්‍රව්‍ය පොහොර බවට පත් කරලා අපිට කොම්පෝස්ට් පොහොර එකතු කරන්නට පුළුවන්. අනෙක් පසින් අවශ්‍ය නම් රසායනික පොහොර එකතු කරගන්න පුළුවන්. රසායනික පොහොර කියන්නේ පසේ හිඟවෙන සංඝටක පසට නැවත එකතු කරන ක්‍රමයක්. මේ ගැන විවිධ මතිමතාන්තර තිබුනත් වගාවකදි පසෙන් ගිලිහෙන පෝෂ පදාර්ථ කාබනික හෝ අකාබනික ක්‍රම වලින් පසට නැවත එකතු කළේ නැතොත් අපිට සරු අස්වැන්නක් ලබාගන්න බැරි වෙනවා.
5. පළිබෝධ පාලනය
අපි කරන්නේ විශාල පරිමාණ ගොවිතැනක් නෙමෙයි. ඉතින් අපි කන්න කෑමට ගන්න බෝග වලට අපිට වස විස ඉහින්න අමාරුයි. අනෙක් අතින් ඒ වගේ විස දේවල් වලට ලොකු වියදමකුත් යනවා. වගාව ගැන නිතර සැලකිල්ලෙන් හිටියොත් වගාවට එන ගොලුබෙල්ලන්, පණුවන්, මැස්සන් ගැන අපිට අවධානයෙන් ඉඳලා උන්ව ඉවත්කරලා දාන්න පුළුවන්. සමහර දිලීර රෝග වලදි කොළ හොඳට හෝදලා දැමීමත් ඒ සඳහා ප්‍රතිකාරයක් වෙනවා. අපේ පැරැන්නෝ පළිබෝධ පාලනයට කුරුල්ලන් සහ වෙනත් සතුන්ගෙන් හොඳට උදව් ගත්තා. අපේ ගෙවත්තෙත් වතුර තියලා, කෑම තියලා කුරුල්ලන්ට පහසුකම් සැලසුවොත් කුරුල්ලෝ ඇවිත් ගෙවත්ත ලස්සන වෙනවා වගේම ඒ කුරුල්ලෝ අපේ පුංචි වගාවට හානි කරන පළිබෝධකයින් ගිල දමනවා.
6. පැරණි වගා ඉවත් කරමු
බටු, වම්බටු වගේ ගස් පැරණි වුනාට පස්සේ මුලට පොඩ්ඩක් උඩින් කපලා දැම්මහම නැවත ලියලලා අතු ඉති ඇවිත් පලදාව ලබා දෙනවා. අපේ ගෙවත්ත ලෙස තෝරාගන්න බිමට අපි නිතර පෝර දානවා, වතුර දානවා. ඒ නිසා අපේ ගෙවත්තේ කලින් ඉඳන් තිබුන කොස්, අඹ, පේර වගේ ගස් තියෙනවා නම් ඒවා කලින්ටත් වඩා සරුවට හැදෙන්න ගන්නවා අපි සපයන හොඳ පෝෂණය නිසා. ඒ වගේ අවස්ථාවක අපිට ගෙවත්ත ආරක්ෂා කරගන්න නම් ඒ වගේ වසාගෙන හැදෙන ගස් කප්පාදු කරන්න වෙනව. ඒ වගේම අස්වනු අඩුවෙමින්, නාකි වෙමින් යන එළවළු ගස් සහ වැල් නිසි කලදී ඉවත් කරන්නට ඕනි. ඉඳලා හිටලා සති ගාණකින් පැරණි එළවළු ගහක පොඩි ගෙඩියක් හැදුනා කියලා ඒ පැරණි වගා කොටස් වගාවේ තියාගැනීම පාඩුයි.
7. ඉගෙනගමු වැඩිදියුණු කරගමු
ගෙවතු වගාවේදී වගාව තුළින්ම අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා. ලස්සන ගෙවතු අපිට රූපවාහිනියේ දකින්න තිබුනත් අපි වගාකරන්න ගියාම මුහුණ දෙන්න වෙන අත්දැකීම් හැම එකක්ම සුන්දර නැහැ. ඒ වගේ අවස්ථාවලදි අන්තර්ජාලයෙන් දැන් අපිට අවශ්‍ය තොරතුරු ගන්නට පුළුවන්. වගාවේ යම් පළිබෝධ හානියක් තියෙනවා නම් අපිට පොටෝ එකක් ගහලා ෆේස්බුක් ගෲප් එකකට දාලා ඒ ගැන දන්න කියන අයගෙන් උපදෙස් ගන්න හැකියි. අපි සතෙක් හදන්න ගත්තත් ඌට පෝෂණය සපයන්න ඕනි, ඌ ගැන අවධානයෙන් ඉන්නට ඕනි, ඌගේ ලෙඩට දුකට බලන්න ඕනි. ඉතින් ගෙවතු වගාවත් එහෙමයි. ගහ කොළ ගැන දැන කියාගෙන, ඉගෙනගෙන, තවත් වැඩිදියුණු කරගෙන තමයි ගෙවතු වගාවක් උනත් දිගට පවත්වාගන්නට ඕනා.
ගෙවතු වගාවක් පටන් ගන්නව වගේම ඒක වැඩිදියුණු කරගෙන පවත්වා ගෙන යෑමත් ලොකු වැඩක්. ඉතින් ආසාවෙන්, උනන්දුවෙන් සුළුවට හෝ ගෙවතු කෑල්ලක් හදා ගත්තොත් අපේ ගෙදරට එන අමුත්තෝ වුනත් ගෙවත්ත බලලා ඔබේ වැඩ ගැන පැහැදීමක් ඇති කර ගනීවි. ඉතින් අලුතින් වගා ගැන හිතන මේ වගේ කාලයක ගෙවතු වගා ගැන ඔබට කරුණු දැනකියාගන්න නොයෙක් අලුත් විධි තියෙනවා. ඒ නිසා තියෙන ගෙවතු වගාව තවත් පිළිවෙලක් කරගන්න ඔයාලට විවේකෙන් ගෙදර ඉන්න කාලේ පාවිච්චි කරන්න පුළුවන්.
Leave a Reply