ඔබ ආශ්‍රයට තෝරා නොගතයුතු විසකුරු මිනිසුන් වර්ග (Toxic People)

මානුෂීය සම්බන්ධතා කියන්නෙ අපිට එදිනෙදා ජීවිතයේදී නැතුවම බැරිදෙයක්. “මට කිසිම කෙනෙක් ඕන නැහැ” කියලා කියන අය අපිට ජීවිතේ කොතෙකුත් මුණගැහිලා තිබුණත් ඇත්තටම අපේ අවට ඉන්න මිනිසුන්, ඔවුන් එක්ක අපි ගොඩනගාගත්ත විවිධ සම්බන්ධතා නැතුව අපිට ජීවත් වෙන්න පහසු නැහැ. මේ අය අපේ දෙමව්පියන්, නෑදෑයින්, මිතුරන්, ජීවන සහකරුවන් වගේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන සම්බන්ධතාවය වුණත් මනසට පීඩාවක් නොවෙන සුභවාදී සම්බන්ධතා වීමනම් යහපත් මානසික මට්ටමක් පවත්වාගෙන යන්නත්, ඒ ඔස්සේ ජීවිතය යහපත්ව ගතකරන්නත් අත්‍යාවශ්‍ය සාධකයක්. 

ඒ නිසා ජීවිතයට පිටස්තර පුද්ගලයින් ලංකරගනිද්දී බොහොම පරිස්සම් වෙන්න ඕන වගේම කාලයක් කෙනෙක්ව ආශ්‍රය කරද්දී වුණත් ඔවුන් නිසා ඔබේ ජීවිතයට අයහපතක් වෙන බව තේරෙනවානම් ඒ බලපෑම ඉක්මනින්ම ඉවත් කරන්නත් අපි ප්‍රවේසම් වෙන්න ඕන. මොකද ජීවිතයේ අපි මුල්තැන දෙන්න ඕන, වැඩියෙන්ම ආදරය කරන්න ඕන තමාටම නිසා. ඒ නිසාම අපි හිතුවා එදිනෙදා ජීවිතයේදී අපි ඈතින් තියාගන්න ඕන විසකුරු මිනිසුන් වර්ග ගැන කතා කරන්න.

 

01. සර්ව අසුභවාදී මිනිසුන්

මුලින්ම කතාකරන්නෙ හැමෝම දන්න මිනිසුන් වර්ගයක් ගැන. මෙහෙම අය අපි හැමෝටම ජීවිතයේ කවදාමහරි මුණගැහිල තියෙනවා. හැබැයි මේ විදිහේ කෙනෙක්ව සමීපව අසුරුකිරීම ඔබේ ජීවිතයට විශාල හානියක් වෙන්න පුළුවන්.

මේ සර්ව අසුභවාදී මිනිසුන් කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැ. අනාගතයේ සිදුවිය හැකි කිසිම යහපත් දෙයක් ගැන ඔවුන් විශ්වාසය තබන්නේ නැහැ. ඒ වගේම අතීතයේ සිදුවුණ කිසිම සුභදෙයකට ඔවුන් කිසිම දවසක ස්තූතිවන්ත වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔවුන් ඇසුරු කරද්දී ඔවුන්ගේ මේ අසුභවාදී සිතුවිලි ඔබට කාන්දු කරන්නත් ඔවුන්ට පහසුවෙන්ම පුළුවන්. ඒ නිසා හැමදේටම “ඕක හරියන්නෙ නැහැ” කියල කියන මිනිසුන් ආශ්‍රය කරද්දී බොහොම ප්‍රවේසම් වෙන්න.

 

02. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති මිනිසුන් 

මේ නාර්සිස්ටික් මිනිසුන් කියල කියන්නෙ අපිට ජීවිතයේ හමුවෙන්න පුළුවන් නරකම මිනිසුන් කොට්ටාශයක්. මේ නාර්සිස්ම් කියල කියන්නෙ මානසික ආබාධයක් විදිහටත් සැලකෙනවා. මේ පුද්ගලයින් තමන්ට ඉතා ඉහල වටිනාකමක් ලබාදෙනවා. ඒ තරමටම ඔවුන් අවට සිටින අයව නොසලකා හරිනවා. ඔවුන් ඉතා ඉහල අවධානයක් අවට ඉන්න අයගෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි තමන් ආශ්‍රය කරන මිනිසුන් කෙරෙහි ඔවුන් දක්වන සහකම්පනය ඉතාම පහල මට්ටමක තමයි තියෙන්නේ. ඒ කියන්නෙ ඔවුන් අවධානය බලාපොරොත්තු වුණාට අනිත් අයගේ කාරණා කෙරෙහි සංවේදී වීම ඉතාම අඩුයි. බොහෝවිට නැතිම තරම්. තමා උසස් බව අඟවන්න ඔවුන් නිතර අනිත් අයව පහත හෙලන්න උත්සාහ කරනවා. ඔවුන් හරි බව සෑමවිටම ප්‍රදර්ශනය කරනවා. නාර්සිස්ම් කියල කියන්නෙ ඇත්තටම ගැඹුරු මාතෘකාවක්. හැබැයි සරලවම මේ කියපු ලක්ෂණ තියෙන පුද්ගලයින් ඔබේ ජීවිතයේ ඉන්නවානම් වහාම ඉවත්කරන්න.

 

03. ඔබව විනිශ්චය කරන මිනිසුන්

මේ පහසුවෙන් විනිශ්චයන්ට එළඹෙන මිනිසුන් හිතන්නෙ ජීවිතය ගැන ඔවුන් දකින විදිහ, ජීවත්විය යුතුයි කියලා ඔවුන් හිතාගෙන ඉන්න විදිහ තමයි හරිම විදිහ කියලා. ඔබේ ජීවිතය විනිශ්චය කරන්න ඔබ හැරුනුකොට මේ ලෝකයේ වෙන කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. මොකද ජීවිතය ඔබට දැනෙන හැටි, ඔබ විඳින, විඳවන හැටි දන්නෙ ඔබ විතරයිනේ. ඔබව නඩත්තු කරන්නෙ ඔබ විසින්නේ. ඒ නිසා ඔබ කරන කියන දේ පිළිබඳව විවිධ විනිශ්චයන්ට එළඹෙන මිනිස්සු කියල කියන්නෙත් ආශ්‍රයෙන් ඉවත් කරන්න ඕන, බැරිමනම් අතේ දුරින් ආශ්‍රය කරන්න ඕන මිනිසුන් කොට්ඨාශයක්. 

 

04. බොරුකාරයින්

බොරු කියන මිනිසුන්, අනුන් රවටන මිනිසුන් කිසිම දවසක ජීවිතයට උවමනාවට වඩා ලංකරගන්න එපා. බොරුව කියන්නෙ ඇබ්බැහිවෙනසුළු නරක පුරුද්දක්. වරක් දෙවරක් බොරුකරපු කෙනෙක්ට ආයේ ආයේ බොරුවෙන් ජීවත්වීම හරිම පහසු දෙයක්. කෙනෙක් බොරුවෙන් ජීවත්වෙන බව  තේරෙනවානම් ඒ බොරු නිසා ඔබට හානියක් වෙන්න කලින් ඔවුන්ව ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න. 

 

05. අනවශ්‍ය ලෙස හසුරවන්නන් 

සමහර පුද්ගලයින් ඉන්නවා අනික් අයත් තමන්ගේ විදිහට ජීවත්වෙනවා දකින්න කැමති. ඔවුන් කැමති දේට ඔවුන් අවට ඉන්න අනිත් අයත් අනුගත වෙනවා දකින්න කැමති. ඒ නිසා ඔවුන්ව ආශ්‍රය කරන අය ඔවුන්ගේ විදිහට වෙනස් කරන්න ඔවුන් උත්සාහ කරනවා. මේ වගේ අවස්ථා ආදර සම්බන්ධතා වලදී ගොඩක් දුරට දකින්න පුළුවන්. එයා කියන විදිහට අඳින්න, පළඳින්න, මිනිසුන් ආශ්‍රය කරන්න බලපෑම් කරන පෙම්වතුන් පෙම්වතියන් ගැන අපිට කොයිතරම්නම් අහන්න ලැබෙනවද? මේ දේවල් ආදරය නිසා කරන බව ඔවුන් සාධාරණීකරණය කලත් ආදරයට මිනිසුන් වෙනස් කරන්න කිසිම උවමනාවක් නැහැ. සැබෑ ආදරය කියල කියන්නෙ කෙනෙක්ව ඔහුගේ හෝ ඇයගේ විදිහටම පිළිගැනීම. ඉතින් ඔබට මෙහෙම බලපෑම් කරන අය ඔබේ ජිවිතයේ ඉන්නවානම් ඒ ආදරයනම් නෙමෙයි කියන එක මතක තියාගන්න. 

 

06. ඉරිසියාකරුවන්

කිසිම කෙනෙක් ඔබට ඉරිසියා බව ඔබේ මුහුණට කියන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ හැසිරීමෙන් බොහෝදුරට ඒ බව තේරුම් ගන්න පුළුවන්. හැබැයි එහෙම නොතේරෙන්න ඔබට ඉරිසියා කරන, ඔබට වල කපන අය ඔබේ ලඟින්ම ඉන්න පුළුවන්. ඔවුන් ලඟම හිතවතුන් බව හිතන නිසාම ඔබට ඔවුන්ගේ වරද නොපෙනෙන්නත් පුළුවන්. හැබැයි එහෙම අයව හඳුනාගන්න පහසුම ක්‍රමයක් තමයි මේ කියන්න යන්නෙ. 

ඔබට ඉරිසියා බව කෙලින්ම නොකිව්වත් අනෙක් අයට ඉරිසියා බව ඔබට කියන හිතවතුන් ඉන්නවාද? අන්න එහෙම අය කවදාහරි ඔබටත් ඉරිසියා කරන්න පුළුවන් බව විතරක් මතක තියාගන්න. ඒ අයව හෙමින් ජීවිතයෙන් ඉවත් කරන්න. 

 

07. ඕපාදූප කියන්නන්

මේකත් කලින් කාරණාව වගේම තමයි. ඔබත් එක්ක අනුන්ගේ ඕපාදූප රස කරමින් කියන කෙනෙකුට ඔබ ගැන තව කෙනෙක් එක්ක ඕපාදූප කීමත් මහා ලොකු රාජකාරියක් නෙමෙයි. ඒ ඔවුන්ගේ ස්වභාවය. ඔවුන් සතුටුවෙන විදිහ. ඒත් කෙනෙකුගේ විස්තර තව කෙනෙකුට කියමින්, ඔවුන්ව විවේචනය කිරීම ශිෂ්ට මිනිසුන් කරන්න ඕන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඕපාදූප කීම, එහෙමත් නැත්තම් ඇසීම ඔබටත් පුරුද්දක් වෙන්න කලින් ඉක්මනින් එහෙම අයව ආශ්‍රයෙන් ඉවත් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *