ජනාධිපති සහ අගමැති තනතුරු කියන්නේ රටක ප්‍රධානම තනතුරු දෙක. ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා වන අතර අගමැතිවරයා බොහෝ රටවල ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස සලකනු ලබනවා. නමුත් ශ්‍රී ලංකාවේ නම් රටේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාමයි. කෙසේ වෙතත් මේ තනතුරු සඳහා බොහෝ වෙලාවට පත්වෙන්නේ පිළිගත් දේශපාලන පක්ෂයකින්. මේ කතා කරන්නේ තමන් බලයට ගේන්න මුල් වුණු පක්ෂය සහ පැත්ත මාරු කිරීමෙන් රටම හොල්මන් කරපු ජනාධිපතිවරු සහ අගමැතිවරු ගැන.
1. තියඩෝර් රූස්වේල්ට්
ඇමරිකා එක්සත් ජනපදයේ 26 වෙනි ජනාධිපතිවරයා වූයේ තියඩෝර් රූස්වේල්ට්. පිට පිට දෙවරක්ම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් එරට ජනාධිපති ධූරයේ කටයුතු කිරිමෙන් අනතුරුව 1909දී ඔහු විශ්‍රාම ගනු ලැබුවා. ඒ අනුප්‍රාප්තිකයා ලෙස පත් වූ විලියම් හෝවර්ඩ් ටෆ්ට් හට සිය ආශිර්වාදය පල කරමින් (එවකට ඇමරිකානු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අවශ්‍යනම් රූස්වේල්ට් හට තෙවෙනි ධුර කාලයකට වුව අවස්ථාව තිබුණා). පසුව රූස්වේල්ට් ටෆ්ට්ගේ ප්‍රතිපත්තිවලට සිය විරෝධය පළ කරන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වුයේ 1912දී ජනාධිපති අපේක්ෂකයා ලෙස රූස්වේල්ට් ඉදිරිපත් වීමට උත්සාහ කිරීමයි. එහෙත් රිපබ්ලිකන් පක්ෂයේ නාමයෝජනා නොලැබීම නිසා ඔහු ප්‍රගතිශිලී පක්ෂය (The progressive party) නමින් පක්ෂයක් පිහිටුවා, ජනාධිපති ධූරයට තරඟ වැදුණා. මේ හේතුවෙන් රිපබ්ලිකන් ඡන්ද පදනම බෙදී ගියා පමණක් නොව ඩිමෝක්‍රැටික් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා වුණු වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවා.
2. ජෝන් ටයිලර්
ඇමරිකානු ඉතිහාසයේ ජෝන් ටයිලර්ගේ නම සඳහන් වන්නේ හුදෙක් පක්ෂයකට පමණක් නොව සමස්ත ඇමරිකා එක්සත් ජනපදයටම ද්‍රෝහී වූ ජනාධිපතිවරයෙක් විදිහට. විලියම් හෙන්රි හැරිසන් ජනාධිපතිවරයාගේ මරණයත් සමග එතෙක් උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ටයිලර් එරට දසවැනි ජනාධිපතිවරයා බවට පත්වෙනවා. පක්ෂය සමග ඇති වූ ගැටුමක් නිසා එම ධුර කාලයෙන් පසුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. 1861 ඇති වූ ඇමරිකානු සිවිල් යුධ සමයේදී ඔහු ඇමරිකානු කන්ෆෙඩරේෂනයට එක්වෙනවා පමණක් නොව, එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයෙක් බවටත් පත් වෙනවා.
3. රැම්සේ මැක්ඩොනල්ඩ්
එක්සත් රාජධානියේ ප්‍රධාන පක්ෂයක් වන කම්කරු පක්ෂය පිහිටුවීමට මුල් වූ තිදෙනාගෙන් අයෙක් වූ රැම්සේ මැක්ඩොනල්ඩ් එරට අගමැති ධූරය දෙවරක් දරණු ලැබුවා. 1924දී ඔහු එරට පළමු කම්කරු පක්ෂ අගමැතිවරයා බවට පත් වූ අතර, නැවතත් 1929දී දෙවැනි වරටත් අගමැතිවරයා බවට පත්වුණා. එම ධූරය දරන අතරතුරම අභ්‍යන්තර ගැටලුවක් හේතුකොටගෙන ඔහුම පිහිට වූ කම්කරු පක්ෂයෙන් නෙරපා දැමීමට පක්ෂයේ බහුතරය තීරණය කළා. මේ සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට සුළු පක්ෂ සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මැක්ඩොනල්ඩ් සැලසුම් කිරීමෙන් අනතුරුව 1931 මැතිවරණයට ඉදිරිපත් වී නැවතත් ජයග්‍රහණය කරනු ලබනවා.
4. මහතීර් මොහමඩ්
මැලේසියාවේ වර්තමාන දියුණුවේ නියමුවා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ මහතීර් මොහමඩ්. ඔහු නියෝජනය කරනු ලද්දේ United Malays National Organisation නම් පක්ෂය. 1981 සිට 2003 දක්වා දීර්ඝ කාලයක් අගමැති ධුරය දැරීමෙන් අනතූරුව ඔහු විශ්‍රාම ගනු ලැබුවා. නමුත් සිය අනුප්‍රාප්තිකයන් වුණු අබ්දුල්ලා අහමඩ් බඩාවි සහ නජීබ් රසාක්ගේ දූෂණවලට විරෝධය පෑ මහතීර්, Parti Pribumi Bersatu Malaysia (Malaysian United Indigenous Party) නමින් තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් 2018 දී රසාක්ට එරෙහිව මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ප්‍රතිඵලය වන්නේ 93 හැවිරිදි මහතීර් නැවතත් එරට අගමැතිවරයා බවට පත්වීම සහ රසාක්ගේ දූෂණ වංචාවලට එරෙහිව පරීක්ෂණ ආරම්භ වීමයි.
5. අබ්දුල් ගයූම්
1978 සිට 2008 දක්වා මාලදිවයිනේ අනභිභවනීය නායකයා වූයේ එරට ජනාධිපතිවරයා වූ අබ්දුල් ගයුම්. 2008 පැවැති ජනාධිපතිවරණයට Dhivehi Rayyithunge Party මගින් ඉදිරිපත් වූ ඔහු පරාජයට පත් වෙනවා. අනතුරුව 2011 එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන ගයුම්, Progressive Party of Maldives නම් පක්ෂයක් පිහිටුවා සිය අර්ධ සහෝදරයෙකු 2013 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. 2016 දී ඔවුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් නිසා පක්ෂය දෙකඩ වන අතර අනතුරුව ගයුම් සිරගත වීමකටත් ලක්වෙනවා. ඔහු ඉන් ඇප මත නිදහස ලබන්නේ පසුගිය සැප්තැම්බර් 30 වනදා.
6. විජයානන්ද දහනායක
දහනායක චරිතය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. බනිස් මාමා යන පටබැඳි නාමයෙන් හැඳින්වෙන ඔහු දීර්ඝ කාලයක් මෙරට දේශපාලනයේ නිරත වුණා. 1956 මහා මැතිවරණයට ගාල්ල ආසනයෙන් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ජයගන්නා ඔහු එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වෙනවා. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව මෙරට අගමැතිවරයා බවට පත් වන ඔහු ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග පක්ෂය තුළම ප්‍රශ්න කිරීම්වලට ලක්වෙනවා. ඉන් අනතුරුව 1960 මැතිවරණයට ඔහු ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නම් තමන් විසින්ම පිහිටුවාගත් පක්ෂයකින්. ඉන් පරාජය උරුම වුවත් සිය දේශපාලන ගමන නොනවත්වන ඔහු පසු කලෙක ජේ.ආර් ජයවර්ධන රජයේ සමූපකාර අමාත්‍යවරයා බවටත් පත් වෙනවා.
7. මෛත්‍රීපාල සිරිසේන
පොළොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිය දේශපාලන ජීවිතය අරඹන සිරිසේන මහතා කෙමෙන් කෙමෙන් සිය පක්ෂයේ ඉහළට ගමන් කරනවා. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වූ එතුමාට සිය රජයක් යටතේ අගමැති ධූරය නොලැබී යනවා. අනතුරුව 2015 දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිය පක්ෂයේම නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහාය ලැබෙන අතර, සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබනවා. ඒ හරහා අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනවා. 2018 වන විට රනිල් වික්‍රමසිංහ මහතා සමග මත ගැටුම් ඇති කරගන්නා සිරිසේන මහතා අගමැති ධූරයෙන් වික්‍රමසිංහ මහතා නෙරපනු ලබනවා. අනතුරුව ඊට පත් කරනු ලබන්නේ 2015 දී සිය ප්‍රතිවාදියා වු මහින්ද රාජපක්ෂ මහතාවමය.
දේශපාලනය ඔහොමය, සදාකාලික මිතුරෝද සතුරෝද නැත.
Leave a Reply