ඉන්ධන පිරවුම්හලකට ගියහම නොදැන සිද්ධවෙන්න පුළුවන් අන්තරායකාරී වැරදි කීපයක්!

මේ ලිපිය අදාළ වෙන්නේ වාහන තියෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි. වාහන වල යන එන මිනිස්සුන්ටත් මේ ලිපිය එක වගේ අදාළයි. ඕනම කෙනෙක් තමන් එළවගෙන ගියේ නැති වාහනේක ඉඳලා වුනත් ජීවිතේ කීප පාරක් හරි ඉන්ධන පිරවුම්හලකට ගොඩවැදිලා ඇතිනේ!

දැන් ඔය ඉන්ධන පිරවුම්හලක් කියන්නේ නිකම් රසකැවිලි කඩයක්, ෆුඩ් සිටියක් වගේ බඩු ගන්න තැනක් නෙවෙයිනේ. මෙතනින් අපි සල්ලි දීලා ගන්නේ පෙට්‍රල්. නැතිනම් ඩීසල්. ඕන නම් තව තව තෙල් ජාති එහෙම. හැබැයි මේ ඉන්ධන පිරවුම්හලක සෙල්ලම් බෑ. මොකද, හැමතැනම තියෙන්නේ වහා ගිණි ඇවිළෙන සුළු ඉන්ධන නිසා. ඉන්ධන පිරවුම් හල්වල තියෙන භූගත ඉන්ධන ටැංකි ඉතාම ඉහළ ආරක්ෂාවක් එක්ක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි එහෙම වුනාට, පොඩි වැරදීමකින් අති දැවැන්ත අනතුරක් සිද්ධ වෙන්න බැරි කමකුත් නෑ. එහෙම නැතත්, ඉන්ධන පිරවුම්හලකදී අපි කරන පොඩි පහේ වැරැද්දකින් වුනත් අපේ වාහනේට හානියක් වෙන්නත් බැරි කමක් නෑ.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වැරදි කීපයක් ගැන. මේ වැරදි වලින් එකක් හරි ඔබත් කරනවා නම්, වහාම ඒ වැරදි හදාගන්න එක නුවණට හුරුයි!

 

1. පෙට්‍රල්ද ඩීසල්ද?

මේක නම් වාහනයක් එළවන කෙනෙක් විහිළුවටවත් කරයි කියලා හිතන්න බැරි වැරැද්දක් නේද? ඒත් ඒක වෙන්න පුළුවන් වැරැද්දක්. විශේෂයෙන්ම කෙනෙක් නොකල්පනාවෙන් වැරදි පොම්පය ගාව වාහනේ නතර කරන්න පුළුවන්. තෙල් ගහන සේවක මහත්තයා වුනත් වැඩිය කල්පනා නොකර අපි නවත්තපු තැන තියෙන පොම්පෙන් වැරදි ඉන්ධන වාහනේට ගහන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් වාහනේ ස්ටාට් කරා කියන්නේ එන්ජිමට සහ අනෙකුත් කොටස් වලට හානි සිද්ධ වෙනවා කියන එක තමයි. විශේෂයෙන්ම ඩීසල් වාහනේකට පෙට්‍රල් ගැහුවොත් අනිවාර්‍යයෙන්ම වාහනේ ඇතුළත කොටස් වලට හානි සිද්ධ විය හැකියි.

 

2. මල්ලි සිකරට් එකක් බොනවද?

ඉන්ධන කියන්නේ වහා ගිණි ගන්නා සුළු දෙයක් කියලා අපි කිව්වනේ. ඒ වගේම තමයි ඉන්ධන ඉතා හොඳින් වාෂ්ප වන සුළුයි. කෙටියෙන් කියනවා නම්, ඉන්ධන පිරවුම්හලක් ඇතුළේ සහ අවට පරිසරයේ වාෂ්පීකරණය වුණු ඉන්ධන අංශු තිබීමේ ඉඩ වැඩියි. ආන්න ඒ නිසා කිසිමාකාරයක ගිනිදැල්ලක් ඉන්ධන පිරවුම්හලක් ඇතුළේ, විශේෂයෙන්ම වාහනේට තෙල් ගහන අතරතුරේදී පත්තු කරනවා කියන්නේ මහා විනාසයකට අත වැනීමක්!

 

3. එන්ජිම නවත්තලා තෙල් ගහමු!

සමහරු ඉන්නවා, තෙල් ගහන්න ඉන්ධන පිරවුම්හලේ පොම්පය ගාවට ඇවිල්ලත් වාහනේ එන්ජිම නවත්තන්නේ නෑ. ඔහේ එන්ජින් එක ධාවනයේ තියෙන අතරේම තෙල් ගහන්න කියනවා. හරියටම කියනවා නම් එන්ජිම නවත්තලා, යතුරත් යතුරු කටින් අයින් කරලා අතට ගන්න කියලා තමයි කියන්නේ!

තව සමහරු ඉන්නවා එන්ජිම ඕෆ් නොකර, වාහනේ හෑන්ඩ් බ්‍රේක් ඇදලා පිරවුම්හලේ නවත්තලා, එලියට බැහැලා යනවා පිරවුම්හලේ තියෙන ෂොප් එකකින් බඩු ගන්න. හැබැයි ෂොපින් මෝල් එකක පාක් එකේ එහෙම කවුරුවත් වාහනේ එන්ජිම ඕෆ් නොකර නවත්තලා තියලා යනවද? නැහැ නේ!

 

4. මීටරේ බලාගෙනද ඉන්නේ?

මේකෙන් ඇත්තටම අනතුරක් වෙන්න පුළුවන්කම තියෙන්නේ පොකට් එකට! දැන් තෙල් ගහනකොට අපි ගොඩක් දෙනෙක් මීටරේ දිහා බලන්නෙ නෑනේ. එක්කෝ ෆුල් ටෑන්ක් ගහන්න කියලා, එහෙම නැතිනම් දෙදාහක ගහන්න කියලා අපේ වැඩක් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් බොහොම ලේසියෙන් පොම්පේ වැඩකරවන සේවක මහත්තැන්ට පුළුවන් හොරයක්, බොරුවක්, වංචාවක් කරන්න. අන්න ඒ නිසා මුලින් බලන්න තමන්ට අදාළ තෙල් පොම්පේ මීටරේ බිංදුවේද තියෙන්නේ කියලා. දැන් බලාගෙන ඉන්න තමන් කියපු ප්‍රමාණයද ඇත්තටම තෙල් වදින්නේ කියලා. ඕක අමාරු වැඩක් නෙවෙයි.

 

5. ෆුල් ටෑන්ක් වලටත් වඩා වැඩියෙන්?

දැන් එන නවීන වාහන වල තෙල් ටැංකි හදලා තියෙන්නේ, ෆුල් ටෑන්ක් වැදුනහම ඔටෝ ටැංකියේ ඇතුළ වැහෙන්න. හැබැයි ඉතින් අපි අර උඩිනුත් කියපු අවධානය වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. විශේෂයෙන්ම යතුරුපැදියකට එහෙම තෙල් ගහනකොට පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕන තෙල් උතුරලා යයිද කියලා. ඒකෙන් ඉතින් ලොකූ ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. හැබැයි හැමතැනම තෙල් ඉහිරෙනවා කියන්නේ කරදරයක්!

 

6. ෆෝන් පාවිච්චිය

ඉස්සර ඉඳලම ඔය ඉන්ධන පිරවුම් හල් වල ගහලා තියෙන ආරක්ෂක සංඥාවක් තමයි ජංගම දුරකථන පිරවුම්හල ඇතුළේ පාවිච්චි කරන්න එපා කියන එක. ඒකට විශේෂයෙන්ම හේතුවක් විදියට සඳහන් වුනේ, ජංගම දුරකථන භාවිතා කරනකොට ඇතිවෙන විද්‍යුත් පුළිඟුවක් වුනත් වාෂ්පීකෘත ඉන්ධන අංශු ගිනි දල්වන්න පුළුවන් කියන එක. අද වෙනකොට හැබැයි මේ මතයට පක්ෂව වගේම විපක්ෂවත් විද්‍යාත්මක වාදවිවාද තියෙනවා. ඒත් අපි කියනවා තෙල් ගහන්න ගියපු තැන ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා. ඇයි? ඉන්ධන ලබාගන්නවා කියන්නේ අවධානෙන් කරන්න ඕන වැඩක්. ෆෝන් එක නිසා ඒ අවධානය ගිලිහිලා වෙනත් විදියේ අනතුරක් වෙන්න වුනත් පුළුවන්.

 

7. කඩාගෙන යන්න එපා!

අපිට ඕන තැනකදී මුණගැහෙන චරිතයක් තමයි ගිනිපුක් කාරයෝ! ආයි තත්පරයක් පරක්කු වුනොත් අහස කඩාවැටෙයි වගේ තමයි මේ අය හැසිරෙන්නේ. මෙහෙම ඩයල් එකක් ඉන්ධන පිරවුම්හලට ගියත් ආයෙ කඩාගෙන බිඳගෙන වාහනේ පාරට ගන්න සිහියෙන් තමයි ඉන්නේ. විශේෂයෙන්ම සමහරු පුදුම වේගෙකින් තෙල් මීටරේ ගාව ඉඳලා වාහනේ කරකවලා ගන්නේ. හැබැයි ඉතින් ඔය හදිසිය මරු කැඳවන්න පුළුවන්. ඉන්ධන පිරවුම්හලක සාමාන්‍යයෙන් දෙපැත්තකින්ම වාහන එන්න, යන්න පුළුවන්. එක පැත්තක් ඉන්, අනික් පැත්ත අවුට් කියලා ගහලා තිබුණත් වැරදි පැත්තෙන් වාහනයක් දාන්න පුළුවන්. එතකොට අපේ හදිසිය නිසා අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැතත් අපේ හදිසි රේස් කිරීමකට, කපලා ගැනීමකට පුළුවන් තව වාහනේක අපේ වාහනේ වද්දන්න, තෙල් මීටරේක අපේ වාහනේ වද්දන්න එහෙම. එතකොට වෙන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

එහෙමනම්, අපි නීතිගරුක රියදුරෝ වගේම විනයගරුකව වාහනේට තෙල් ගහන්නෝත් වෙමු!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *