ලංකාවේදී එක්තරා කාලයක ඇති වී නැතිවී ගිය ආගමික මතවාද තියෙනවා. ඒ අතර දොළුකන්ද පතළ තැනක්. දොළුකන්ද කියන්නේ ඒ විශ්වාසය නැතිව වුනත් විඳගන්න බොහොම වටින දේවල් තියෙන අඩවියක්. මේ දොළුකන්ද ගැන විස්තර ටිකක් අපි බලමු.
1. දොළුකන්ද පිහිටීම
දොළුකන්ද තියෙන්නේ කුරුණෑගල. කුරුණෑගල ඉඳන් ඉබ්බාගමුවට ගිහින් දොළුකන්දට යන්න පුළුවන්. එහෙම නැතිනම් හිරිපිටිය හරහා යන්නත් පුළුවන්. කුරුණෑගල පළාතේ මේ විදියේ කඳුවැටි කිහිපයක්ම තියෙනවා. යක්දෙස්සාගල, ඇතාගල වගේ ගල් සහ කඳුවැටි කිහිපයක් ශේෂ කඳු වශයෙන් කුරුණෑගල පළාතේ තියෙනවා. මැද කඳුකරයේ කඳු නැග්ගා වගේ ලොකු සීතලක් මීදුමක් නම් නැහැ. ඒත් මේ කුරුණෑගල කඳු උඩට නැග්ගාම බොහොම හැඩ භූමි දර්ශන පේනවා. ඒ භූමි දර්ශන මධ්‍ය කඳුකරයේ තිබෙන කඳු යායවල් වල පේන දර්ශනයට වඩා වෙනස්.
2. දොළුකන්දේ කරඬුව
දොළුකන්ද 1990 දශකයේ කාලයක් බොහොම ජනප්‍රිය තැනක් වුනා. එහි වැඩ වාසය කළ හිමිනමක් සතුව විශේෂ බලයක් තියෙනවා කියලා බැතිමතුන් විශ්වාස කළා. ඒ ස්වාමීන් වහන්සේගේ පිරිත් පැන් වලින් ලෙඩ සුව වුණු බොහෝ කට්ටිය ඉන්න බවට ඒ කාලේ කටකතා පැතිරුණා. ඉතින් රට වටෙන්ම බස් පුරවන් මිනිස්සු දොළුකන්දේ ආවා. ඒ ආපු මිනිස්සු රත්තරන් බඩු පවා මේ හාමුදුරුවන්ට දීලා ගිහින් තිබුණා. මේ සිදුවීමේ මූලය වුණේ හාමුදුරුවෝ භාවනා කරද්දි කරඬුවක් පොලවෙන් මතුවුණු කතාවක්. ඒ කරඬුව පස්සේ පුරාවිද්‍යා එකට බාරදීලා, වටින කරඬුවක් නිසා පුරාවිද්‍යා එකේ ලොක්කෝ සහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒක නැතිකරලා කියලා කටකතා වල තිබුණා ඒ කාලේ. ඇත්තටම එහෙම පරණ කරඬුවක් පංසලේ තිබුණ බවත්, එකපාරක් ගමේ එකෙක් ඕක උස්සගෙන ඇවිත් කොහෙටද විකුණන්න ගිහින් බැරි හින්ද ආපහු ගිහින් දැම්ම බවත්, ඒ කාලේ ඒ කරඬුව තැන තැන පයින් ගහ ගහ තිබුණ කුට්ටියක් බවත් ඒ දොළුකන්ද අවට සිටි ගැමියෙක්ගේ අදහස වුණා. කොහොම වුනත් බොහොම පොඩි කාලෙකින් මතුවුණු දොළුකන්ද අවසානේ ඒ විදියටම ප්‍රසිද්ධිය නැති තැනක් බවට පත් වුනා.
3. දොළුකන්ද තරණය
දොළුකන්ද කියන්නේ දොළුව කියන ගමේ තියෙන කන්ද කියන අර්ථයෙන්. දොළුකන්ද මොන පැත්තෙන් නැග්ගත් ගස්, ගල් මුල් උඩින් අමාරුවෙන් තමයි නගින්න තියෙන්නේ. ටිකක් අමාරු මට්ටමේ හයික් එකක්. පාර ඇතැම් කාලවලදී පිරිස් විසින් සලකුණු කරලා තියෙනවා. එහෙම නැතිනම් පාර දන්න කෙනෙක් එක්ක යන එක වඩාත් ගැළපෙනවා. මොකද දොළුකන්ද මුදුනට පිවිසෙන්න තිබෙන්නේ ස්ථාන කිහිපයක් විතරයි. වෙනත් පැතිවලට ගියොත් කෙලින්ම මුදුනට යන්න අමාරුයි. උදේම ගියොත් නම් හැන්දෑ වෙද්දි බලලා බහින්නත් පුළුවන් හොඳට ෆිට්නස් තියෙන සෙට් එකක් ගියොත්.
4. දොළුකන්දේ ඇති නටබුන්
දොළුකන්ද මුදුනේ තිබුනේ බලකොටුවක් කියලා සළකන්න හේතු රැසක් තියෙනවා. ගල වටේ තැනින් තැන බැඳපු පවුරක සලකුණු තියෙනවා. ඒ වගේම මේ දොළුකන්ද මුදුනේ ගල් තලා දෙකක් අතර භූමියක පැරණි නටබුන් පුරාවස්තු තියෙනවා. වැසිකිළි කැසිකිළි සහිත මාලිගා හෝ සිද්ධස්ථාන තිබුන බවට සාධක තියෙනවා. දොළුකන්දේ මුදුනක පැරණි චෛත්‍යයක නටබුන්ද තියෙනවා. ඒ බොහොමයක් තැන් පුපුරුවා හැරලා හෝ වටේටම හාරලා තියෙනවා. නිධන් හොරුන් ගේ ඒ අවකල් වැඩ නිසා දොළුකන්දේ පුරාවස්තු ගොඩක් නැතිවෙලා ගිහින්. තියෙන ඒවා පවා දෙයක් හොයාගන්න බැරි තරමට තැන තැන විසුරුවලා තියෙනවා. මේ වගේ තැනකට පිවිසෙන්න අමාරුයි. සාමාන්‍ය ජනවාසයක් හෝ සාමාන්‍ය රාජධානියක් මේ වගේ තැනක තිබෙන්න ඉඩකඩ අඩුයි. මේ නටබුන් වලගම්බා රජතුමාගේ කාලයට අයිතිය කියලා තමයි විශ්වාසය තියෙන්නේ. ඒත් හරියටම සනාථ කරගෙන නම් නැහැ.
5. බෙහෙත් පිරුණ ගල් වැටි
මේ දොළුකන්ද වනය ජෛව විවිධත්වය අනූන තැනක්. පහළ තියෙන ගහකොළ ආදිය නෙමෙයි මැද හරියට යද්දි තියෙන්නේ. මුදුනටම ගියාම තියෙන්නේ වෙනත් ජාතිවල ගහ කොළ. මේ දොළුකන්ද භූමියේ සිංහල වෙදකමට ගන්න බොහොම බලගතු බෙහෙත් ජාති තියෙනවා. මේ ආකාරයට බෙහෙත් තිබෙන මේ ගල රාම රාවණා කතාවේ දී හනුමා ඔසවාගෙන ආ බේත් කැලෑවෙන් වැටුන කොටසක් කියල ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ පුරාවෘත්ත වලට අනුව දොළුකන්ද, රූමස්සල සහ රිටිගල යන තැන් තුනක හනුමා බේත් කැලෑවේ කොටස් වට්ට වට්ටා ගිහින් තියෙනවා.
6. භාවනා කළ ගල් ගුහා
දොළුකන්ද මුදුනේම තියෙන චෛත්‍යයට පහළින් මෑත කාලයේ ස්වාමින් වහන්සේලා විටින් විට වැඩවාසය කරන ගල්ගුහා තියෙනවා. ආරණ්‍ය ස්වාමින් වහන්සේලා තමයි මේ තැන් සොයාගෙන, වැඩවාසය කරන්න කුටි තනාගෙන ඉන්නේ. උන් වහන්සේලා භාවනාවට සුදුසු කදිම තැන් දෙකක් තෝරාගෙන තියෙනවා. ස්වාමින් වහන්සේලා නැති කාලවලට ඇතැම් පිරිස් ගිහින් මේ තැන් වල නවාතැන් ගන්නවා. තද වැස්සකට වුනත් පරෙස්සමින් ඉන්න පුළුවන් මේ ගල් ගුහා සොබාදහමේ අපූරු නිර්මාණයක්.
7. අත්දැකීම්
කන්දක් නැගලා මුදුන ඇල්ලීම කඳු නගින අයගේ විනෝදය. එතරම් උස නැති වුනත් දොළුකන්ද ටිකක් අමාරු කඳු ගමනක්. ඒ වගේම සුන්දර භූමි දර්ශන මාලාවක් දොළුකන්ද ගමනේදි හමු වෙනවා. ගහකොළ වගේම වල් ඌරන්, මීමින්නන් වැනි සතුන් වගේම රිලවුත් මේ දොළුකන්ද වනාන්තරයේ ඉන්නවා. පැරණි නටබුන්, ගහකොළ, ගල් තලා භූමි දර්ශන එක්ක වෙනස්ම අත්දැකීමක් දොළුකන්ද ගමනේදී ලැබෙනවා. නවතින්න ලෑස්ති වෙලා ගියොත් ගල උඩ කූඩාරමක් ගහගෙන නවතින්නත් පුළුවන්.
බොහොම ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වලට ගියාම අපිට අපි බලන්න යන දේවල් වලට අමතරව තවත් විශාල සෙනගක් බලාගන්නට ලැබෙනවා. ඒත් මේ වගේ ඒතරම් ජනප්‍රිය නැති තැන්වලට ඇදෙන කට්ටිය අඩුයි. ඒ නිසා නිස්කලංකේ පරිසරය බලාගෙන, පුරාවස්තු බලාගෙන හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්කම ලැබෙනවා.
Cover Image Source – lankantravelhelper.blogspot.com
Leave a Reply