ගෙදරට හොරෙක් ආවොත් මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් අපි කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා හිතන දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදරකට හොරෙක් පනිනවා වගේ අබග්ගයක් කාටවත් වෙන්න එපා කියලනේ අපි හිතන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා ඕවා නොවී තියෙන්නෙ නැහැනේ. ගිය අවුරුද්දේ විතරක් පොලිසියට වාර්තා වුණු ගෙවල් බිඳුම් 4735 ක් වෙලා තියෙනවලු. ඔය වගේ ගෙදර මංකොල්ල කන්න හොරෙක් හරි හොර කල්ලියක් හරි තමන්ගේ ගෙදරට ඇතුළු වුනහම මොකද කරන්නේ කියන එක ගැන ගොඩක් දෙනෙක්ට හරි අදහසකුත් නෑ. සමහරු ඒ වෙලාවට බය වෙනවා. තවත් සමහරුන්ට කර කියාගන්න දෙයක් නැතිවෙනවා. තවත් සමහරු වීරයෝ වෙන්න යනවා. ඉතින් අපි නිදාගෙන ඉන්න වෙලාවක, නැතිනම් අපි ගෙදර නැති වෙලාවක හොරු ඇවිත් ගෙදර මොනවා හරි අත පත ගාගෙන යන එක වෙනම කතන්දරයක්. හැබැයි අපි ඉන්න වෙලාවක හොරු පැනලා, අපි අවදි වෙලා හරි හොරු ආවා කියලා දැනගෙන හරි හැසිරෙන විදිය අනුව තත්ත්වය අපි හිතනවාට වඩා බරපතල වෙන්න පුළුවන්. අපේ හැසිරීම නිසාම අපිට හෝ ගෙදර අනික් මිනිස්සුන්ට හොරුන්ගෙන් බරපතල හානි විතරක් නෙවෙයි, මරණය පවා පැමිණෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි, ගෙදරකට හොරෙක් පැන්න වෙලාවකට තමන් කරන්න ඕන මොනවද කියන එක ගැන අදහසක් තියෙන්න ඕන වෙන්නේ.

 

ඒ ගැන උපදෙස් කීපයක් තමයි මේ.

 

1. කලබල වෙන්න එපා

හොරෙක් ගෙදරට පැන්නහම කලබල නොවී පුළුවන්ද? ඒකනේ එක පාරටම ඔළුවට ආවේ? හැබැයි ඇත්තටම කරන්න අවශ්‍ය දේත් ඒක තමයි. කලබල නොවී ඉන්න එක. ඇයි එහෙම කියන්නේ? අපිට හොරෙක් ගෙදරට පැනලා නම් මූලිකම අවශ්‍යතාවය වෙන්නේ තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව. කලබල වුණොත් හොරාත් කලබල වෙන්න පුළුවන්. ඒකෙන් අපිට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කලබල වෙන්න එපා කියන්නේ. දෙවෙනියට, අපි කලබල නොවුණොත්, ගොඩක් වෙලාවට අපි ඇහැරලා කියලා හොරා දැන නොගන්න පුළුවන්. අන්න ඒකෙන් අපිට හොරාව අඳුනගන්න, හොරා ගැන හොඳ අදහසක් ලබාගන්න, ඊලඟට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්.

 

2. වීරයෝ වෙන්න යන්න එපා

මේක තරයේ ඔළුවේ තියාගන්න ඕන කාරණයක්. වීරයෝ වෙන්න යන්න එපා. මොකද, ජීවිතේ තමයි අපිට මේ වගේ මොහොතකදී වැදගත් වෙන්න ඕන. විශේෂයෙන්ම හොරු අතේ මොන වගේ ආයුධද තියෙන්නේ කියලා දන්නෙ නැති නම්, එක හොරෙක්ට වඩා කීප දෙනෙක් ඉන්නවා කියලා පේනවා නම් කිසිසේත්ම වීරයෝ වෙන්න යන්න එපා. මොකද, අපේ ජීවිතේ අවසාන වෙන්න එක පොලු පාරක්, එක පිහි පාරක්, එක උණ්ඩයක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, තමන්ට හොරා හෝ හොරු දමනය කරගන්න පුළුවන් කියලා සීයෙට සීයක් ෂුවර් එකක් නැති නම්, ගෙදරට පැනපු අය අපිට කරන්න කියන දේවල් කරන්න. සහයෝගය දක්වන්න. ඇයි ගෙදරට ආපු හොරාට සහයෝගය දක්වන්නේ කියලා දැන් අහන්න එපා. එහෙම නොවුණොත් අපිට ශරීර හානියක්, ජීවිත හානියක් වෙන්න පුළුවන්.  

 

3. හැංගෙන්න පුළුවන් නම්

ගෙදරට හොරු පැනලා නම්, ඒ අයත් එක්ක ෆයිට් කරන්න පුළුවන් කියලා සීයේට සීයක ෂුවර් එකකුත් නැති නම්, විශේෂයෙන්ම ඒ අය අපිව දැකලත් නැති නම්, කරන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි හැංගෙන එක. විශේෂයෙන්ම අපි තනියම නෙවෙයි නම් ඉන්නේ, අපේ පවුලේ උදවියත් අපිත් එක්ක ඉන්නවා නම්, එහෙම හැංගෙන එක තමයි ප්‍රායෝගිකව කරන්න පුළුවන් හරිම දේ. මොකද ගෙදරට පනින හොරෙක්ට ඕන කරන්නේ මොනවා හරි වටින දේවල් ටිකක් අරගෙන යන්න. ඒ අයට ප්‍රධාන වශයෙන් අපිට හානියක් කරන්න ඕන වෙන්නෙ නෑ. හැබැයි හොරා හෝ හොරු කලබල වුනොත් හරි, අපි එයාලව දැකලා අඳුනගනී කියලා බය වුනොත් හරි තමයි ආපිට අපිට හානියක් වෙන්න ඉඩ තියෙන්නේ. ආන්න ඒ නිසා, අපිට හැංගෙන්න පුළුවන් නම්, අපිට කරදරයක් වෙන්න තියෙන ඉඩ අඩුයි.

 

4. පුළුවන් නම් විතරක් අල්ලගමු

උඩ දෙවතාවක්ම කියපු විදියට, ගෙදරට පැනපු හොරු අල්ලන්න ඉදිරිපත් වෙන්න ඕන කරන්නේ, සියේට සීයක්ම තමන්ට හොරාව හෝ හොරුන්ව දමනය කරගන්න පුළුවන් කියන ෂුවර් එක තියෙනවා නම් විතරයි. ඒ ෂුවර් එක සියේට අනූ නවයක් වුණත්, වීරයෝ වෙන්න යන්න එපා කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද, ඒ වගේ වෙලාවක කලබල වෙන මනුස්සයෙක් ඕනම දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන් නිසා. හැබැයි සාමාන්‍යයෙන් ඔය ගෙවල් වලට පනින තනි හොරෙක්ගේ ප්‍රධාන වුවමනාව වෙන්නේ කොහොම හරි ගැලවිලා පලා යන එක. එතකොටත් වැඩි අවදානමක් නැතුව හොරාව අල්ලගන්න පුළුවන් වෙන්න ඕන.

දැන් ඇත්තටම කොහොමද ගෙදරට පැන්න හොරෙක්ව අල්ලන්නේ? සාමාන්‍යයෙන් ගෙදරක හදිසියකට ගන්න ආයුධයක් තියෙනවනේ. පොල්ලක්, මන්නයක්, පිහියක්, කඩුවක් වගේ. ගොඩක් වෙලාවට අන්න ඒ වගේ ආයුධයක් පෙන්නලා හොරාව දමනය කරගන්න පුළුවන් වෙන්න හැකියි. ඒ ඇරෙන්න ඉතින් තමන්ට ආත්මාරක්ෂා ක්‍රම ගැන මූලික හරි අවබෝධයක් තියෙනවා නම් ඒත් හරි. ඒ ඇරෙන්න හැබැයි කිසිම විටක හොරෙක්ට වුණත් ජීවිත හානි හෝ බරපතල හානි කරන්න උත්සාහ කරන්න එපා. වෙන කරන්නම දෙයක් නැති නම් අවම බලය පාවිච්චි කරන්න පුළුවන්.

 

5. අහල පහල උදවු

සාමාන්‍යයෙන් හොරු ආපු වෙලාවක, අපි ඉන්නේ ගෙයින් පිට නම් හරි අපිට ගෙයින් පිට වෙන්න පුළුවන් නම් හරි හොරා පැනලා යනකොටම අපිට ගෙයින් පිට වෙන්න පුළුවන් නම් හරි, උදවු ඉල්ලලා කෑ ගහන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. විශේෂයෙන්ම ඔය එක ලඟ ගෙවල් තියෙන තැනක, ගමක වගේ නම් එහෙම උදවු ඉල්ලපු ගමන් මිනිස්සු එනවා. ගොඩක් වෙලාවට එහෙම අහල පහල අසල්වාසීන් එකතු වුණු නිසාම හොරුන්ව අල්ලාගන්න පුළුවන් වුණු අවස්ථාත් තියෙනවා. අන්න ඒ නිසා හොරා හෝ හොරු අපිට කරදරයක් කරන්න පුළුවන් සීමාවක නෙවෙයි නම් ඉන්නේ උපරිම වැර දාලා “අල්ලපියෝ හොරෙක් හොරෙක්” කිව්වට කාරි නෑ. හැබැයි අපි කියපු පළවෙනි සහ දෙවෙනි කාරණාත් ඔළුවේ තියාගෙන තමයි ඒකත් කරන්න ඕනෑ!

 

6. පොලිසියට උපරිම සහයෝගය

දැන් හොරෙක් පැනලා අල්ලගත්තා වෙන්න පුළුවන්. හොරෙක් පැනලා බේරිලා ගිහින් වෙන්න පුළුවන්. ඒ දෙකෙන් කොයික වුණත් අපි පොලිසියට කතා කරනවනේ. ඇත්තටම හොරු ගෙදර ඉන්න වෙලේ වුණත්, හොරුන්ට නෑහෙන්න කතා කරන්න පුළුවන් තත්ත්වයක නම් ඉන්නේ, අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි 119 ගහන එක. ඊට පස්සේ පොලිසියෙන් ආවහමත් කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි හොරුන්ව දැක්කා නම් අඳුනගන්න පුළුවන් වුණා නම් ඒ හැම විස්තරයක්ම පොලිසියට කියන එක. ඒ වගේම ගෙදරින් අරගෙන ගිහින් තියෙන්නේ මොනවද කියන එක සත්‍යවාදීව විස්තරයක් විදියට ලබාදෙන එක. ඒ ඇරෙන්න පොලිසියට හොරු අල්ලගන්න අපිට කරන්න පුළුවන් ඊලඟ උදව්ව තමයි කෑකෝ ගහන්නේ නැතුව, පොලිසියට වද දෙන්නේ නැතුව, කොටින්ම පොලිසියේ රාජකාරියට බාධා කරන්නේ නැතුව හැසිරෙන එක.

 

7. ආරක්ෂාවට උපක්‍රම කලින්ම

ඇත්තටම මේක නම් හොරු පැන්නට පස්සේ කරන්න තියෙන දෙයක් නෙවෙයි. හොරු එන්න කලින්ම කරන්න තියෙන දෙයක්. ඒ තමයි, උපරිම ආරක්ෂක සංවිධාන තමන්ගේ නිවසට යොදන එක. අපි ඉන්න පළාතේ එහෙම හොරහතුරු උවදුරක් ගැන දැනගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ කවදාවත් ගෙදරට හොරු එක එකක් නැහැයි කියලා. ආන්න ඒ නිසා, ගෙදර දොරවල් ජනෙල් හරියට අගුලු දාන්න නිදාගන්න යන්න කලින්. දොරවල් ජනෙල් වල අගුලු කැඩිලා නම් ඒවා වහාම හයි කරන්න. හැකි නම් ජනෙල් වලින් පහසුවෙන් එන්න බැරි විදියට ග්‍රිල් හයි කරන්න. හොරෙක්ට පහසුවෙන් ඇතුලු වෙන්න පුළුවන් කියලා හිතන හැම තැනක්ම ශක්තිමත් විදියට වහලා දාන්න. 

ඒ වගේම, තමන්ගේ වටිනා කියන දේවල් ගෙදර ආරක්ෂිතව තැන්පත් කරලා තියන්න ක්‍රමයක් හොයාගන්න. තමන්ගේ අහල පහල හදිසියකට ගන්න ආයුධයක් තිබ්බට කමක් නෑ. හැබැයි ගෙදරට පනින හොරාට හදිසියකට ගන්න පුළුවන් විදියට අහල පහල අවි ආයුධ තියන එකෙන් අපිටම තමයි අවැඩක් වෙන්න ඉඩ තියෙන්නේ.

 

ඒ ඇරෙන්න සීසීටීවී කැමරා එහෙමත් ඇති හැකි අය ගෙදර ආවරණය වෙන විදියට හයි කළාට කාරි නෑ. සොරුන්ගේ තර්ජනයෙන් ගැළවෙන්න උපදෙස් සහිත සවිස්තරාත්මක ලිපියක් පහතින් ඔබට කියවන්න පුළුවන්. 

 

ඔබේ නිවස සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න නම් මේ උපදෙස් පිළිපදින්න

 

 

මතක තියාගන්න. තමන් දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත්තු දෙයක් හොරු ගෙනියනවා කියන එක දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇත්ත. හැබැයි ඒ හැමදේටම වඩා වටිනා දේකුත් තියෙනවා. ඒ තමයි තමන්ගේ ජීවිතය. ජීවිතේ බේරුනොත් නැති වුණු හැමදෙයක්ම ආයෙ හම්බ කරන්න, ගොඩ නංවන්න පුළුවන්. ආන්න ඒකත් හැමවිටකම සිහියේ තියාගන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *