ඈත අතීතයේ ඉඳන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කාන්තාවෝ සුවිශාල මෙහෙයක් කරලා තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපේ රටේ බොහෝ පන්සල් වලට දානේ වේල වරද්දන්නෙ නැතුව ගෙනියන්න මුල්තැන ගන්නේ කාන්තාවෝ. අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට විවිධ ආකාරයෙන් ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න දායකත්වය ලබා දීපු කාන්තාවෝ කීපදෙනෙක් ගැන.
1. ඇපලෝනියා පීරිස්
මහා කලාගාරයක් බඳු වූ විහාරයක් බුද්ධ ශාසනයට පූජා කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇපලෝනියා පීරිස් මැතිනියටයි. ලංකා දේශපාලනයේ වැදගත් චරිතයක් නිරූපණය කළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් ඇගේ පුත්‍රයකු වනවා. සිය පවුලේ ධනය සමාජයේ යහපත වෙනුවෙන් වැය කිරීමට ඇය දෙවරක් සිතුවේ නැහැ. ඇය තම මූල්‍ය දායකත්වයෙන් බොරැල්ලේ ගෝතමී පාරේ ගෝතමී විහාරය නිර්මාණය කොට එවකට වැඩ විසූ ප්‍රමුඛතම බෞද්ධ පඬිවරයෙකු වන දොඩන්දූවේ ශ්‍රී පියරතන මහා නාහිමියන්ට පූජා කරනු ලැබුවා.
2. හෙලේනා විජේවර්ධන
කැලණි විහාරයේ වර්තමානයේ පවතින ශ්‍රී විභූතිය සහ සංවර්ධනය කෙරෙහි ගෞරවය සහ කුසලය හිමි විය යුතු කාන්තාව වන්නේ ඇයයි. වාර්තාවල කියැවෙන අන්දමට පසළොස්වක පෝ දිනයක කැලණි විහාරය වැඳීමට ගිය ඇයට මහවැස්සක් නිසා මඩ ගොහොරුවක් බවට පත්වුණු විහාරය සහ විහාරගෙය දකින්නට ලැබී තිබෙනවා. මෙයින් දැඩි ලෙස කම්පාවට පත්වූ ඇය තම පෞද්ගලික ධනය වියදම් කොට කැලණි විහාරය සංවර්ධනය කළා පමණක් නොව, කැලණි විහාරයට විහාර ගෙයක් අලුතෙන්ම තනවා අලුත් චිත්‍ර ඇඳීමද සිදුකරනු ලැබුවා.සේදවත්තේ විහාරයත් ඇගේ අනුග්‍රහය ලැබූ තවත් එක් විහාරස්ථානයක්.
3. සෙලෙස්තිනා ඩයස්
නූතන විශාකාව ලෙස හැඳින්වෙන ඇය වැඩි වශයෙන් ප්‍රචලිත වන්නේ බෞද්ධ බාලිකාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන විශාඛා විද්‍යාලය සඳහා අනුග්‍රහය දැක් වූ කාන්තාව ලෙසටයි. එපමණක් නොව පානදුර ප්‍රදේශය ඇතුළු දිවයිනේ විහාර ගණනාවක සංවර්ධන කටයුතු සඳහා ඇය සිය නොමසුරු දායකත්වය ලබා ලබාදී තිබෙනවා. පානදුරේ රන්කොත් විහාරය, මොරටුමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය ඇයගේ අනුග්‍රහය ලැබූ විහාරස්ථාන අතරින් දෙකක් පමණයි.
4. මල්ලිකා හේවාවිතාරණ
මෙතුමිය ලංකාවේ බුද්ධ ශාසනයට කළ සුවිශාලම මෙහෙය වන්නේ මෙරට පමණක් නොව විදේශ රටවල පවා බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට සමත් වූ පුත් රුවනක් මෙලොවට බිහි කිරීම නිසා බව මුලින්ම කිව යුතුයි. සිය පුතාගේ වැඩ කටයුතු සඳහා ඇය හදවතින්ම ආශීර්වාද කළ අතර ලංකාවේ විවිධ විහාර සඳහා ඇය සිය පරිත්‍යාග ලබා දෙනු ලැබුවා. විශේෂයෙන්ම සාමණේර හිමිවරුන් කෙරෙහි විශේෂ ලැදියාවක් දැක්වූ ඇය උන්වහන්සේලාටද මවක බඳු තැනැත්තියක් වුණා.
5. සෝමාවතී හේවාවිතාරණ
අනගාරික ධර්මපාලතුමාගේ බාල සහෝදරයකු වන සයිමන් හේවාවිතාරණ මහතාගේ බිරිඳ වූ සෝමාවතී හේවාවිතාරණ මැතිනිය ලංකාවේ බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් අනුග්‍රහයක් සිදුකළ තවත් කාන්තාවක්. සයිමන් හේවාවිතාරණ මහතා විසින් ත්‍රිපිටක අටුවා මුද්‍රණය කොට පළ කිරීම ආරම්භ කළ අතර එතුමාගේ හදිසි මරණයෙන් පසුව සිය සැමියාගේ බූදලය ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇය කටයුතු කළා.
6. මිලිනා සුමතිපාල
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරිය ලෙසද කටයුතු කළ ඇය විවිධ ආකාරයෙන් ලක්දිව බුද්ධ ශාසනය නඟා සිටුවීමට උදව් උපකාර කරනු ලැබුවා. වෙහෙර විහාර සංවර්ධනය කිරීම වැනි දෑ පමණක් නොව ‘උත්පලවන්නා’ වැනි බෞද්ධ චිත්‍රපටි සඳහා අර්ථපතීත්වය දැක්වීමෙන්ද සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තම කැපවීම ප්‍රකට කළා.
7. සෝමා එදිරිසිංහ
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ සභාපතිවරිය වූ ඇය සිය මාධ්‍ය ජාලය වන ස්වර්ණවාහිනිය හරහා බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට වැඩි ඉඩක් ලබා දුන්නා. එසේම ශ්‍රී දළදා මාළිගාව ඇතුළු වෙහෙර විහාර ගණනාවක් ඇගේ අනුග්‍රහය ලබනු ලැබුවා. එසේම මෙරට ප්‍රමුඛතම භික්ෂූන් වහන්සේලා කීප නමක් සඳහා වැඩ විසීම සඳහා වෙහෙර විහාර නිර්මාණය කර ගැනීමට පවා ඇය ලබා දුන්නේ සුවිශාල ශක්තියක්.
මේ ආටිකල් එකට ඇතුළත් කරලා තියෙන්නේ අපේ රටේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකිරීම් කරපු කාන්තාවන් හත් දෙනෙක්ගේ නම් විතරයි. සමහරක් විට ඔබ දන්න මේ විදිහේ පන්සල් හදපු, පොත්පත් ලියන්න අනුග්‍රහය දක්වපු කාන්තාවන්ගේ ඉඳන් දුෂ්කර පළාත්වල පන්සල් වලට නොවරදවා දන් සපයනු ලබන විශාකා පරපුරේ උපාසිකාවෝ ඉන්නවා ඇති. ඒ අය ගැන කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න ඔබ අමතක කරන්න එපා.
Leave a Reply