සැබෑ සිදුවීම් පාදක කොටගෙන නිර්මාණය වූ සුපිරි හොල්මන් චිත්‍රපට 10ක්

හොල්මන් චිත්‍රපට බලන්න ලංකාවෙත් වැඩි දෙනෙක් ආසයි-බයයි. නියමෙටම භීතිය දනවන්න සමත්වෙන හොල්මන් චිත්‍රපටයක් බලපු රාත්‍රියක් ගෙවද්දි තියන ආතල් එක දන්නේ හොල්මන් ෆිල්ම් රසිකයෙක්, රසිකාවියක්ම විතරයි. කොච්චර බය හිතුනත් ඉතින් හොල්මන් ෆිල්ම් හැම එකකම වගේ තියෙන්නේ මනඃකල්පිත කතාවක් කියලා නරඹන්නන් දන්නවා. හැබැයි හැම හොල්මන් ෆිල්ම් එකක්මත් එහෙම නෑ. ලෝකයේ සිද්ධ වෙච්ච සැබෑ සිදුවීම් පාදක කොටගෙන හදපු භයංකාරම හොල්මන් ෆිල්මුත් රාශියක් තියනවා. මේ කියන්න යන්නේ ඒවා අතරින් හොඳම 10ක් ගැන.

 

1. Texas Chainsaw Massacre (1974)

Image Source – theparkwaytheater.com

එඩ් ගීන් කියන්නේ එක්දාස් නවසිය මුල් ගණන් වලදී ඇමරිකාවේ හිටපු මිනීමරුවෙක්. මිනීමැරුම් වලට අමතරව කාන්තාවන්ගේ මළසිරුරු ගොඩගැනීමටත්, මිනිස් මළසිරුරු කොටස් වලින් නොයෙක් භාණ්ඩ නිර්මාණය කිරීමටත් තරම් විකෘති මනසක් තිබුණ පුද්ගලයෙක්. ඔහුගේ මේ චරිත ලක්ෂණ ආශ්‍රය කරගෙන තමයි 1974 අවුරුද්දෙදි “ටෙක්සාස් චේන්සෝ මැසැකර්” චිත්‍රප‍ටයේ ප්‍රධාන චරිතය වුණු ලෙදර් ෆේස් නිර්මාණය වෙන්නේ. මිනීමස් කන මිනීමරු පවුලකට කොටු වෙන පිරිසක් වටා ගෙතුණු මේ චිත්‍රපටය හොල්මන් චිත්‍රපට කලාවට අලුත් වෙනසක් ගෙනෙන්න සමත් වෙච්ච චිත්‍රපටයක්.

 

2. Veronica (2017)

Image Source – filmes.film-cine.com

වෙරෝනිකා කියන්නේ මෑතකදි ආපු හොඳම Netflix හොල්මන් චිත්‍රපටයක්. සමහරු කියනවා මේ චිත්‍රපටය අවසානය වෙනකන් බලන්නත් අමාරු තරම් බය හිතෙන එකක්ය කියලා. උයිජා (Ouija) පුවරුවක් එක්ක සෙල්ලම් කරන්න යන තරුණියක් අත්වැරදීමකින් දුෂ්ට ආත්මයක් අවදි කරගන්නවා. එතැනින් එහාට ඇයටත් ඇගේ පවුලේ උදවියටත් විඳින්න වෙන කරදර නිමක් නැහැ. තිගැස්සෙන සුළු හොල්මන් සිදුවීම් රැසකින් පිරුණු මේ චිත්‍රපටය, එස්ටෙෆානියා ගුටියර්රෙස් නම් ස්පාඤ්ඤ තරුණියකට 1990 වසරේදී මුහුණ දෙන්නට සිදුවූ සැබෑ සිදුවීමක් ඇසුරින් තමයි හැදිල තියෙන්නෙ. අදටත් අභිරහසක් හැටියට සැළකෙන මේ සිදුවීම සිදුවූ ආකාරය ගැන නොයෙකුත් මතවාද අන්තර්ජාලය පිරික්සුවාම දකින්න ලැබෙනවා.

 

3. The Exorcist (1973)

Image Source – the13thfloor.tv

ලෝකයේ හොඳම හොල්මන් චිත්‍රපටය හැටියට වැඩි දෙනෙක් සළකන, ඒ වගේම සාපලත් චිත්‍රපටයක් හැටියටත් ප්‍රසිද්ධ ‘දි එක්සෝර්සිස්ට්’ චිත්‍රපටයත් ආන්දෝලනාත්මක සැබෑ සිදුවීමක් පාදක කොටගෙන තැනූවක්. 1949 වසරේදී ඇමරිකාවේ විසූ 14 හැවිරිදි පිරිමි දරුවෙකු සම්බන්ධ අද්භූත සිදුවීමක් තමයි මේ චිත්‍රපට කතාවට සම්බන්ධ සැබෑ සිදුවීම. දුෂ්ට ආත්මයක ග්‍රහණයට ලක්වෙන මේ දරුවාව ගලවාගැනීමට රෝමානු කතෝලික පල්ලිය විසින් දියත් කරපු යකැදුරුකමක් ලොමු ඩැහැගන්වන ආකාරයෙන් පෙන්වන්නට චිත්‍රපටය සමත් වෙනවා. හැබැයි චිත්‍රපටයේදී ගුප්ත බලවේගයන්ගේ ග්‍රහණයට හසුවන්නේ පිරිමි දරුවෙක් නොවෙයි, ගැහැණු දැරියක්.

4. A Nightmare on Elm Street (1984)

Image Source – denofgeek.com

ළමයින්ගේ සිහින වලට ඇතුළු වී, සිහිනයෙන් ඔවුන්ව දඩයම් කරන ෆ්‍රෙඩී කෲගර් නම් දාම මිනීමරුවාව ඔබට මතක ඇති. ෆ්‍රෙඩී කෲගර්ගේ මිනීමැරුම් ගැන කියවෙන “නයිට්මෙයාර් ඔන් එල්ම් ස්ට්‍රීට්” චිත්‍රපට රැසක්ම මේ වෙද්දි බිහිවෙලා තියනවා. ඒ අතරින් 1984 ආපු ඔරිජිනල් චිත්‍රපටය හැදෙන්නේ සත්‍ය සිදුවීමක් යම්තාක් දුරකට පාදක කරගනිමිනුයි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙස් ක්‍රේවන්ට කියවන්න ලැබෙනවා අමුතුම විදිහේ මරණයක් ගැන ලියැවුණු ලිපියක්. ඒ ලිපියෙන් කියැවෙන්නේ නින්දට ගිය විට සිහිනයෙන් තමන්ව මරන්නට යමෙක් පැමිණෙන නිසා නිදිවර්ජිතව සිටි දරුවෙක්ගේ මරණයක් ගැනයි. නින්දට යන්නට බියෙන් සිටි මේ දරුවා එක් දිනක් තද නින්දකට වැටෙනවා. ඒ ඔහුගේ අවසන් නින්දද වෙනවා. මරහඬ නැගීමක් ඇසී ඒ දරුවාගේ කාමරය සොයා එන ඔහුගේ දෙමවුපියන්ට දකින්නට ලැබෙන්නේ දරුවා නින්දෙන්ම මියගොස් සිටින බවයි. මේ පුවත අසා සසළ වුණු වෙස් ක්‍රේවන් එය ඇසුරින් තැනූ චිත්‍රපටය තමයි “අ නයිට්මෙයාර් ඔන් එල්ම් ස්ට්‍රීට්.”

 

5. The Amityville Horror (1979)

Image Source – alternateending.com

ඇමිටිවිල් හොරර් හොල්මන් චිත්‍රපටය කොයිතරම් ජනප්‍රියත්වයක් ලැබුවාද කියනවනම් ඒ සම්බන්ධයෙන් චිත්‍රපට මාලාවක්ම බිහිවෙලා තියනවා. අමනුෂ්‍ය බලවේගයන් සිටින නිවසක පදිංචියට පැමිණෙන පවුලකට විඳින්නට වෙන භයානක සිදුවීම් පෙළක් තමයි ඇමිටිවිල් හොරර් චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ. 1975 අවුරුද්දේදී ඇමිටිවිල් ප්‍රදේශයේ පදිංචියට එන ජෝර්ජ් සහ කැත්ලීන් ලුට්සස් පවුලට තමයි මේ බියකරු අත්දැකීම සැබෑවටම විඳින්නට සිද්ධ වෙන්නේ. මේ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය The Amityville Murders නමින් පසුගියදා තිරගත කිරීම ඇරඹුවා.

 

6. The Conjuring (2013)

Image Source – colourlessopinions.com

කන්ජූරිංග් කියන්නේ මෑත කාලයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් හොල්මන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් චිත්‍රපට මාලාවක් හැටියට තවමත් දිගහැරීගෙන යනවා. අද්භූත බලවේගයක් තිබෙන නිවසක පදිංචිකරුවන්ට විඳින්නට වෙන දුක්ගැහැටත්, ඒ අයගේ පිහිටට පැමිණ මේ බලවේග සමග සටන් කරන යුවළකුත් ගැන තමයි මේ චිත්‍රපට කතාවේ තියෙන්නෙ. අමනුස්ස බලවේග ගැන පර්යේෂණ කරන මෙහි ප්‍රධාන චරිත දෙක වන එඩ් සහ ලොරේන් කියන්නේ සැබෑවටම ජීවත් වන යුවළක්. මේ අයට 1971 වසරේදී මුහුණ දෙන්නට සිදුවුණ සිදුවීමක් ආශ්‍රයෙන් තමයි කන්ජූරින්ග් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

 

7. When a Stranger Calls (2006)

Image Source – letterboxd.com

කුඩා දරුවන් දෙදෙනෙක් බලාගන්නට රාත්‍රියක නිවසක නවතින බේබිසිටර් කෙනෙක්ට අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නන්නාදුනන පුද්ගලයෙක් සැරින් සැරේට මේ නිවසට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගන්නවා. දරුවන්ව බලාගන්නට පැමිණි තරුණිය මුලදී මේ ඇමතුම් ගැන වැඩි තැකීමක් නොකළත්, පහු වෙද්දී ඇයට තේරෙන්න ගන්නවා මේ ඇමතුම ගන්න පුද්ගලයා උත්සාහ කරන්නේ නිවසට ඇතුළු වී තමන්ටත් නිවසේ දරුවන්ටත් හානියක් කරන්නටය කියලා…

2006 දී තිරගත කරපු මේ චිත්‍රපටයට පාදක කොටගත් සැබෑ සිදුවීම 1950 වර්ෂය දක්වා අතීතයකට දිවෙනවා. ජැනට් ක්‍රිස්ට්මන් නැමැති 13 හැවිරිදි දැරියක් තමයි මේ චිත්‍රපටයට පාදක කොටගත් අවාසනාවන්ත සිදුවීමට සැබෑවටම මුහුණ දෙන්නේ.

 

8. The Girl Next Door (2007)

Image Source – mubi.com

‘ද ගර්ල් නෙක්ස්ට් ඩෝ’ කියන්නේ නැරඹීමට අතිශයින්ම අපහසු, අමානුෂික සිදුවීම් රැසකින් ගහණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හොල්මන් කැටගරියට වැටුණාට මේකේදි බිය ජනනය කරන්නෙ හොල්මන් අවතාර නම් නෙමෙයි, මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයොම තමයි. තමන්ගේ නැන්දනියකගේ නිවසක වාසය කරන දෙමවුපියන් අහිමි අනාථ තරුණියකට ඒ නිවැසියන්ගෙන් කෘරතර වධ හිංසා එල්ල වෙනවා. දිගින් දිගටම මානසිකවත්, ශාරීරිකවත් ඒ ලාබාල තරුණියව වධයට ලක්වෙන්නේ සංවේදී කෙනෙක්ට චිත්‍රපටය තව දුරටත් නැරඹීම අපහසු කරමින්. 1965 දී සිදුවූ සිල්වියා ලිකන්ස් නම් 16 හැවිරිදි තරුණියගේ මිනීමැරුම තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ.

 

9. Borderland (2007)

Image Source – the13thfloor.tv

බෝඩර්ලන්ඩ් කියන්නේ ප්‍රචණ්ඩකාරී දර්ශන රැසක් සපිරි හොරර් චිත්‍රපටයක්. සාතන්ට බිලිපූජා පවත්වන මෙක්සිකානු කල්ලියකට හසුවන පිරිසක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඇඩොල්ෆෝ ඩි හේසුස් කොන්ස්ටන්සෝ කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සහ ආගමික කල්ලි නායකයාගේ ජීවිත කතාව යම්තාක් දුරකට ඇසුරු කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. 1989 දී මේ කල්ලි නායකයා ඇතුළු පිරිස විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව පැහැරගෙන ගොස් මරාදමා තිබෙනවා. ඒ සිදුවීම තරමක් වෙනස්කම් ඇතුව තමයි බෝඩර්ලන්ඩ් චිත්‍රපටයට නගලා තියෙන්නේ.

 

10. The Haunting in Connecticut (2009)

Image Source – themoviedb.org

මේකත් හොල්මන් නිවසක් වටා ගෙතුණ කතාවක් සහිත චිත්‍රපටයක්. කනෙක්ටිකට් ප්‍රදේශයේ නිවෙසකට අළුතින් පදිංචියට යන කැම්බල් පවුල වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. ඔවුන් පදිංචි වන නිවාසය අඳුරු අතීත කථාවකට හිමිකම් කියන්නක්. ඒ නිසාම නිවැසියන්ගේ ජීවිත වැටෙන්නේ භයානක අඩියකට. මේ චිත්‍රපට කථාවත් සැබෑම සිදුවීමක් අළලා තනන ලද්දක්. හැබැයි මේ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයන් කියන කතන්දර සත්‍ය නොවේය කියලත් මතයක් තියනවා.

Cover Image Source – flu.classicmotor.co/fet.classicmotor.co

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *