2021 අවුරුද්දේ එන්න තියෙන හොඳ හොලිවුඩ් ෆිල්ම්ස් – Part II

2020 අවුරුද්දේ ෆිල්ම් එහෙම රිලීස් වුණා තමයි. හැබැයි ඉතින් කොරෝනා සංගෙදිය නිසා වෙනද වගේ ෆිල්ම් හෝල් එකට ගිහින් ආතල් එකේ ෆිල්ම් බලන්න නම් චාන්ස් එකක් හම්බවුණේ නැතිම තරම්. ඒ ඇරෙන්න හිතුව තරම් සාර්ථක විදියට 2020 දී ෆිල්ම්ස් රිලීස් වුණෙත් නෑ. හැබැයි ඉතින් 2021 ඊට වෙනස්. දැනටමත් පේන්න තියෙන විදියට 2021 අවුරුද්දේ හොලිවුඩ් සිනමා ලෝලීන්ව කුල්මත් කරන විදියේ ෆිල්ම් රිලීස් සෙට් එකක් තියෙනවා. ඇත්‍තටම මේ 2021 අවුරුද්දේ එන්න තියෙන, එනකල් සිනමා ලෝලින් පුල පුලා බලාගෙන ඉන්න ෆිල්ම්ස් සෙට් එකක් ගැන Lifie.lk එකෙන් අපි කියලා තියනවා. මෙන්න ඒ වගේම 2021 අවුරුද්දේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් තව ෆිල්ම්ස් සෙට් එකක්!

 

1. Godzilla vs. Kong

මනුෂ්‍ය වර්ගයා හිතාගෙන හිටියට මේ ලෝකේ පාලකයෝ තමන් ය කියලා, ඇත්තටම ඒක එහෙම නෙවෙයි කියන්න සාධක මතුවෙන්න පටන් ගන්නවා. ඒ තමයි පුරාතන ටයිටන්වරු. අපි දකිනවා Godzilla: King of the Monsters චිත්‍රපටියෙදී මතුවෙන ලෝකේ ආධිපත්‍යය ගන්න උත්සාහ කරන ටයිටන්වරුන්ව අභියෝග කරලා සමතුලිතතාවය ආරක්ෂා කරගන්න ඉන්නේ ගොඩ්සිලා කියන එක. හැබැයි ඒ එක්කම අපි දකිනවා Kong: Skull Island චිත්‍රපටියෙදී කොන්ග් කියන්නේ ස්කල් දූපතේ රජු කියලා. දැන් මේ පුරාතන දැවැන්තයෝ දෙන්නගේ හැප්පීම කොයි වගේ වෙයිද? අන්න ඒක බලාගන්න පුළුවන් අපිට Godzilla vs. Kong චිත්‍රපටියෙන්!

 

2. The White Tiger

ඉන්දියාවේ ඉන්න දුප්පත් කුලීකාරයෙක්ගේ පුතෙක්ට පුළුවන්ද සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න? අරවින්ද් අඩිගාගේ වයිට්‍ ටයිගර් පොත කියෙව්වොත් අපිට දැනගන්න පුළුවන් ඒක බැරි දෙයක් නෙවෙයි කියන එක. ඉහළ නැගීමේ ආශාවෙන් යුක්ත, ඒකටම ගැලපෙන කපටි කමකිනුත් සමන්විත මේ කතාවේ වීරයා රියැදුරු රස්සාවක නියැලෙනකොට මුහුණ පාන බොහොම ඛේදජනක අත්දැකීමකින් ඉගෙන ගන්නවා, ලෝකේ ධනවතුන් තමන්ව බිලිදෙන්න තත්පරයකටවත් පසුබට වෙන්නෙ නෑ කියලා. එහෙමනම් හොඳම දේ ධනවතුන්ගේ ලෝකයට ඇතුළත් වෙන එක නෙවෙයිද කියලා අපේ වීරයා හිතනවා. දැන් ඔන්න මේ ජනප්‍රිය නවකතාව චිත්‍රපටයක් විදියට නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැකබලාගන්න පුළුවන් වෙනවා.

 

3. No Time To Die

ජේම්ස් බොන්ඩ් චරිතය නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැති තරම්. ඉතින් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ විසිපස් වෙනි චිත්‍රපටිය තමයි මේ No Time To Die කියලා එන්නේ. ඒ වගේම ඩැනියෙල් ක්‍රේග් බොන්ඩ් විදියට පෙනී ඉන්න පස් වෙනි සහ අවසාන බොන්ඩ් චිත්‍රපටය වෙන්නේත් මේක තමයි. කතාවේ හැටියට බොන්ඩ් රහස් ඔත්තු සේවාවෙන් ඉවත් වෙලා ගිහින්. ඒත් එයාගේ පරණ සී.අයි.ඒ යාලුවෙක් එනවා උදවුවක් ඉල්ලගෙන. උදවු කරන්න කැමති වෙන බොන්ඩ් ඉක්මනටම තේරුම් ගන්නවා, වෙනද වගේම ලෝකේ මිලියන ගාණක් මැරෙන විනාශයක් වළක්වන්න වෙන්නේ තමන්ටයි කියලා.

 

4. Bios

මේ ලෝකේ විනාශ වෙලා ගිහින්. ලෝකේ ඉතුරු වෙලා ඉන්නේ එක මිනිහෙක් වගේ තමයි අපිට පේන්නේ. හැබැයි මෙයා නිර්මාණකරුවෙක්. මෙයා ඉන්නේ තමන්ගේ බල්ලත් එක්ක. ඒත් මේ දෙන්නට තවත් සමාගමය වුවමනායි. අන්න ඒ වෙනුවෙන් මේ නිර්මාණකරුවා හදනවා ඇන්ඩ්‍රොයිඩයෙක්, ඒ කියන්නේ රොබෝකෙනෙක්. දැන් මේ රොබෝවරයා ආදරය, මිත්‍රත්වය, ජීවිතය වගේ සංකල්ප ගැන ඉගෙන ගනීවිද?

 

5. Black Widow

මාවල් සුපර්හීරෝ ෆිල්ම් සෙට් එක බලපු කෙනෙක්ට බ්ලැක් විඩෝ නැතිනම් නතාෂා රොමනෝෆ්ව අමතක වෙන්න විදියක් නෑ. මේ තියෙන්නේ බ්ලැක් විඩෝගේ චිත්‍රපටිය. Captain America: Civil War චිත්‍රපටියට පස්සේ නතාෂා ඇත්තටම තනිවෙනවා. ඒත් ඇයට හුස්මක් ගන්නවත් ඉඩක් ලැබෙන්නෙ නැත්තේ ඇගේ අතීතය පස්සෙන් එන නිසා. දැන් නතාෂාට පුළුවන් වෙයිද තමන්ගේ රහස් ඔත්තුකාරිනියක් විදියට ගත කරපු අතීත ජීවිතේ අවතාර වලට මුහුණ දෙන්න?

 

6. Top Gun Maverick

Top Gun කියන්නේ ටොම් කෘස් පෙනී හිටපු, 1986 වසරේ තිරගත වුණු අතිශය ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. දැන් ඊට අවුරුදු තිස්පහකටත් පස්සේ අපේ කතානායකයා වෙන කපිතාන් පීට් “මාවෙරික්” මිචෙල්, තාමත් ටෙස්ට් පයිලට්‍ කෙනෙක් සහ නාවික හමුදාවේ විශිෂ්ටතම ගුවන් නියමුවෙක් විදියට තමන්ගේ ත්‍රාසජනක ජීවිතය ගත කරමින් ඉන්නවා. හැබැයි මාවෙරික්ට හැමදාමත් තමන් හිතපු විදියටම ජීවත් වෙන්න ලැබෙයිද?

 

7. Dune

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් වෙන Dune නිර්මාණය වෙලා තියෙන්නේ, 1965 වසරේ ලියැවුණු Dune විද්‍යා ප්‍රබන්ධ කථාව මූලික කරගෙන තමයි. මේකේ කතා නායකයා වෙන්නේ විශිෂ්ට තරුණයෙක්. හැබැයි මෙයාට පවුල් උරුමයෙන්ම පැවරිලා තියෙනවා බොහොම අවදානම් සහ අතිශයින්ම තීරණාත්මක කටයුත්තක්. ඒ තමයි විශ්වයේ තියෙන අතිශයින්ම අවදානම් සහගත ග්‍රහලෝකයට චාරිකා කරන එක. මන්දාකිණියේ වඩාත්ම වටිනා සහ අත්‍යාවශ්‍යම වස්තුව රැකගන්නත්, තමන්ගේ පවුල සහ ජනතාව රැකගන්නත්, තමන් ඉදිරියට පැමිණෙන සියලුම භයානක අභියෝගයන්ට මුහුණ දෙන්න අපේ කතා නායකයාට සිදුවෙනවා.

 

8. The Eternals

මාවල් කොමික් විශ්වය සම්බන්ධයෙන් තොරතුරු දන්න අයට ඉටර්නල්ස් නැතිනම් සදාතනිකයෝ කියලා හැඳින්වෙන සුපිරි සහ පෞරාණික මනුෂ්‍යාකාර ජීවී වර්ගය ආගන්තුක වෙන්න විදියක් නෑ. ඇත්තටම පෘථිවියේ ජීවය ඇති කරන්නත් ඉටර්නල්ස්ලා දායක වුණා කියලා තමයි කොමික් පොත් වල කියැවෙන්නේ. කොහොම හරි, මේ චිත්‍රපටියේ දැක්වෙන්නේ පෘථිවියේ අතීතයත්, ඉතිහාසයත්, ශිෂ්ටාචාරයත් හැඩගස්වන්න සමර්ථ වුණු මේ අමරණීය ජීවී කොට්ඨාසය ගැන තමයි. Avengers: Endgame චිත්‍රපටයෙන් පස්සේ සිදුවෙන අවාසනාවන්ත සිදුවීමක් නිසා, පෘථිවියේ වහන් වෙලා ජීවත් වෙන මේ ඉටර්නල්ස්ලාට සිද්ධ වෙනවා තමන්ව අනාවරණය කරන්න. ඒ වගේම මනුෂ්‍ය වර්ගයාගේ දුරාතීතයේ ඉඳලාම එන පෞරාණික සතුරෙක්ට එරෙහිව එක්ව සටන් වදින්නත් ඔවුන්ට සිද්ධ වෙනවා.

 

9. Ghostbusters: Afterlife

ගෝස්ට්බස්ටර්ස් කිව්වහම කවුද කියලා අසූ ගණන් අනූගණන් වල ෆිල්ම් බලපු අය හොඳටම දන්නවා. මේ අය හොල්මන් අවතාර දඩයම් කරන විද්‍යාඥයෝ පිරිසක්. මේකේ ඉන්න හොල්මන් පොඩි කොමඩි ගතියකුත් පෙන්නුවට, ඇත්තටම මේ ගෝස්ට්බස්ටර්ස් මුල් චිත්‍රපටි බලලා බය වෙන්නත් බැරි නෑ. දැන් මේ අවුරුද්දේ තිරගත වෙන්න නියමිත Ghostbusters: Afterlife චිත්‍රපටිය Ghostbusters (1984) සහ Ghostbusters II (1989) වල ඉදිරි කොටසක් විදියට තමයි නිර්මාණය වෙන්නේ. මේ චිත්‍රපටියේ කතානායකයෝ වෙන්නේ මුල් ගෝස්ට්බස්ටර්ස්ලගේ මුණුපුරු පරම්පරාව. මේ අය අහම්බෙන් හොයාගන්නවා තමන්ගේ සීයලා තමයි මුල් ගෝස්ට්බස්ටර්ස් කණ්ඩායම පටන් ගත්තේ කියලා. ඒ එක්කම අධිස්වභාවික සිදුවීම් සිද්ධ වෙන්නත් පටන් ගන්නවා. දැන් ලෝකේ බේරගන්න නම් අලුත් ගෝස්ට්බස්ටර් පරම්පරාවකට උරුමය භාර ගන්න වෙයිද?

 

10. Morbius

දොස්තර මයිකල් මෝබියස් අතිශයින්ම දුර්ලභ රුධිරගත රෝගයකින් පෙළෙනවා. තමන්ව සුවපත් කරගන්නත්, ඒ වගේම මේ දුර්ලභ රුධිරගත රෝගයෙන් පෙළෙන අනික් මිනිස්සුත් සුවපත් කරන්නත් හිතාගෙන දොස්තර මෝබියස් මේකට ප්‍රතිකාරයක් හොයාගන්න පර්යේෂණ කරනවා. අන්තිමට මෝබියස්ට ඒකට ප්‍රතිකාරයක් හොයාගන්න ලැබෙනවා. හැබැයි දොස්තර මෝබියස් ඉක්මනටම වටහා ගන්න දේ වෙන්නේ, මේ ප්‍රතිකාරය ඇත්තටම රෝගයටත් වඩා භයානකයි කියන එක. මේ ප්‍රතිකාරයෙන් දොස්තර මෝබියස්ව එක්තරා විදියකට වැම්පයරයෙක් බවට පත් වෙනවා!

 

11. Jungle Cruise

ඩ්වෙයින් ජොන්සන් නැතිනම් රොක් රංගනයෙන් දායක වෙන මේ Jungle Cruise චිත්‍රපටිය  පසුබිම් කරගෙන තියෙන්නේ 20 වෙනි ශතවර්ෂය මුල ඇමසන් වගේ පේන වනාන්තරයක්. ඇත්තටම මේක අද්භූත සිදුවීම් සහ ත්‍රාසජනක සිදුවීම් මිශ්‍ර වුණු චිත්‍රපටියක් කිවුවොත් හරි. අද්භූත දේවල්, අති බිහිසුණු සතුන් එක්ක ජීවන වෘක්ෂය සොයාගෙන යන විද්‍යාඥවරියක් හා ඇගේ සොයුරාත්, ඔවුන්ව කැඳවාගෙන යන බෝට්ටු කපිතාන් වරයෙකුත් තමයි මේ කතාවේ චරිත වෙන්නේ.

 

12. The Suicide Squad

ඩීසී විශ්වයේ සමහර සුපිරි දුෂ්ටයෝ ඉන්නවා, ඒ අය සමහර වෙලාවට යහපත වෙනුවෙන් වැඩ කරන ප්‍රතිවීරයෝ විදියටත් පෙනී ඉන්නවා. කොහොම වුනත් සුයිසයිඩ් ස්කොඩ් කියලා හැඳින්වුණු සුපිරි දුෂ්ටයින්ගෙන් හැදුණු කණ්ඩායම සම්බන්ධයෙන් අපි මීට කලිනුත් චිත්‍රපටි දැක්කා. ඇත්තටම මේ අවුරුද්දේ එන The Suicide Squad චිත්‍රපටය 2016 අවුරුද්දේ Suicide Squad චිත්‍රපටියේ දෙවෙනි කොටසක් විදියටත් හඳුන්වන්න පුළුවන්, හැබැයි ඒකෙන් ස්වාධීන චිත්‍රපටියක් කියලා තමයි අහන්න ලැබෙන්නේ. මෙවරත් අතිශයින්ම අසීරු මෙහෙයුමක් සාර්ථක කරගන්න තමයි සුයිසයිඩ් ස්කොඩ් එකේ සුපිරි දුෂ්ටයන්ට භාරවෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *