නත්තල් සමයේ රස විඳින්න රසම රස කෑම වර්ග 8කට රෙසිපි මෙන්න

ළඟ ළඟම එන නත්තලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන ඔයාලට ගෙදරට එන අමුත්තන් පිනවන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් අපි ගෙනාව. ක්‍රිස්මස් කේක් හදන්න සති ගණන් පළතුරු පැහෙන්න දාන්න ඕන නෑ. අපි දෙන මේ රෙසිපි එකට හදල බලන්නකො. ක්‍රිස්මස් එකට කලින් දවසෙ හැදුවත් ඇති. එහෙනම් ලයිෆි පාඨක හැමෝටම අපි සුභ නත්තලක් වේවා කියල පතනව 

 

1. ක්‍රිස්මස් එකට කලින් දවසෙ හදන්න පුළුවන් ක්‍රිස්මස් කේක් 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ස්ට්‍රෝබෙරි ජෑම් 75g 
  2. බ්රැන්ඩි කප් 1/2 
  3. කපාගත් කැන්ඩිඩ්පීල් 50g 
  4. කපාගත් චෙරි 100g 
  5. කපාගත් කජු 50g 
  6. කපාගත් පුහුල් දෝසි 50g 
  7. කපාගත් කරන්ට්ස් 50g 
  8. මුද්දරස්පලම් 50g 
  9. රේසින්ස් 50g 
  10. ඉඟුරු දෝසි 50g 
  11. බටර් 50g 
  12. ඔරේන්ජ් ජූස් කප් 1/2 
  13. සීනි 75g 
  14. රැලං 50g 
  15. බිත්තර 2 
  16. ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2 
  17. රෝස් එසන්ස් තේ හැඳි 1/2 
  18. වැනිලා තේ හැඳි 1/2 

 

  • කපාගත් පළතුරු සියල්ලම සහ චෙරි වලින් බාගයක්, ජෑම් වලින් බාගයක්, ඔරේන්ජ් ජූස්, බ්‍රැන්ඩි වලින් බාගයක් බෝල් එකකට දමා හොඳින් අනාගන්න. අනාගත් පළතුරු පැය දෙකක් වසා තබන්න. 
  • සීනි, බටර්, බිත්තර හොඳින් බීට් කරන්න. 
  • පැය දෙකක් තැබූ පළතුරු වලට වැනිලා, රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, රුලං සහ බීට් කරගත් බිත්තර එකතු කර හොඳින් කලවම් කරන්න. 
  • ඔයිල් පේපර්ස් ලේයර් 4ක් දමාගත් තැටියකට දාන්න. සෙල්සියස් 160ට පැයක් පමණ බේක් කරන්න. 
  • බේක් කරගත් කේක් එක කොටස් කඩාගන්න. එයට ඉතුරු චෙරි, ඉතුරු බ්‍රැන්ඩි, ඉතුරු ජෑම් එකතු කරගෙන හොඳින් අනාගන්න. 
  • බටර් ගාගත් තැටියක දමා තද කර අනිත් පැත්ත හරවා කෑලි කපන්න. 

 

2. රම් බෝල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩු කරගත් බටර් කේක් 250g
  2. මිල්ක්මේඩ් පොඩි ටින් එකෙන් බාගයක්
  3. ඩෙසිකේටඩ් කොකනට් කප් 1
  4. කොකෝවා පව්ඩර් කප් 1/2
  5. රම් තේ හැඳි 2
  6. සරසා ගැනීමට ඩෙසිකේටඩ් කොකනට්

 

  • සරසා ගන්න තැබූ ඩෙසිකේටඩ් කොකනට් හැර සියල්ලම එකට මිශ්‍ර කරගන්න. 
  • කුඩා බෝල සාදා ගන්න. ඩෙසිකේටඩ් කොකනට් වල දවටා ශීතකරණයේ තබාගන්න.

 

3. පොටෑටෝ ඇන්ඩ් සොසේජ් මෆින්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩාවට කපාගත් සොසේජස් කප් 1
  2. පාන් පිටි කප් 1
  3. තම්බා පොඩි කරගත් අල කප් 1
  4. කපාගත් චෙඩාර් චීස් කප් 1/2
  5. බිත්තර 2
  6. අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක්

 

  • ෆ්‍රෙශ් මිල්ක්  හැර අනෙක් සියල්ලම එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක් එක් කරගන්න. 
  • තෙල් තවරාගත් මෆින් ට්‍රේ එකකට පුරවා සෙල්සියස් 180ට විනාඩි 20ක් පමණ බේක් කරගන්න. 

 

4. සොසේජ් පේස්ට්‍රි රීත්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩා සෝසේජස්
  2. පේස්ට්‍රි ශීට් එකක්
  3. ලුණු
  4. ගම්මිරිස්
  5. චීස් වෙජස් 
  6. බිත්තරයක්
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ පරිදි තුනී කරගෙන ඒ මත පොඩි කරගත් චීස් තවරාගන්න. හරි හතරැස් කුඩා කොටු කපාගන්න. එක් එක් කොටුව මැදින් සොසේජ් එක තබා ඔතාගන්න.
  • සාදාගත් කුඩා පේස්ට්‍රි එකින් එක ඇලෙන පරිදි රීත් එකක් (එකතු වී රවුමක් සෑදෙන) ආකාරයට තබා උඩින් බිත්තර සාරු තවරාගෙන සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15-20ක් බේක් කරගන්න. බෙල් පෙපර් සහ පාස්ලි කොළ වලින් කැමති ආකාරයට සරසාගන්න.

 

5. ක්‍රිස්මස් චොකෝ බෝල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔරියෝ බිස්කට් ලොකු පැකට් 1
  2. ක්‍රීම් චීස් ග්‍රෑම් 150
  3. චොක්ලට් ග්‍රෑම් 100

 

  • ඔරියෝ වල මැද ක්‍රීම් එක අයින් කරලා බිස්කට් එක කුඩු කරගන්න. දැන් ඒකට ක්‍රීම් චීස් දාලා කලවම් කරලා අයින් කරපු ක්‍රීම් ටික සහ මෙල්ට් කරගත්ත චොකලට් ටික එකතු කරල බෝල හදාගන්න. 
  • උඩින් ස්ප්‍රින්කල්ස් ඉසගෙන ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියල කෑමට ගන්න.

 

6. පේස්ට්‍රි ක්‍රිස්මස් ට්‍රී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පේස්ට්‍රි ඩෝ එක
  2. නුටෙල්ලා හෝ චොකලට් ස්ප්‍රෙඩ්
  3. කෑලි කරගත් ආමන්ඩ් හෝ පිස්තාචො ටිකක්
  4. බිත්තරයක්
  5. අයිසින් ෂුගර්

 

  • පේස්ට්‍රි ඩෝ එක තුනී කරලා එක හා සමාන ත්‍රිකෝණ හැඩැති නත්තල් ගස් 2ක් කපාගන්න. දැන් එකක් අරගෙන නුටෙල්ලා හෝ චොක්ලට් සෝස් උඩින් තවරගෙන ආමන්ඩ් ටික ඉසගන්න.
  • දැන් අනික් නත්තල් ගස හැඩැති ඩෝ එකෙන් මේක වහගෙන උඩ ඉඳන් හරහට තීරු කපන් එන්න දෙපැත්ත වෙන් නොවෙන විදියට. දැන් මේකෙ අතු වගේ කොටස් ටික ටික අඹරලා තියාගන්න.
  • බිත්තරය ටිකක් ගහගෙන පේස්ට්‍රි එක උඩින් බ්‍රශ් කරලා සෙල්සියස් 200ට විනාඩි 20ක් බේක් කරගන්න. උඩින් අයිසින් ෂුගර් ටිකක් ඉහලා කෑමට ගන්න.

 

7. බ්‍රෙඩ් පීසා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පෙති පාන් අවශ්‍ය පමණ
  2. තක්කාලි සෝස්
  3. පොඩිවට කපාගත් සොසේජස්
  4. පොඩිවට කපාගත් තක්කාලි, බෙල් පේපර්
  5. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්

 

  • පාන් පෙති වල වාටි කපා ඉවත් කරගන්න. 
  • ඊට උඩින් තක්කාලි සෝස් තවරාගෙන සොසේජස් සහ අනිත් ද්‍රව්‍ය අවශ්‍ය විදිහට පාන් පෙත්ත උඩට දාගන්න.
  • උඩින් ග්‍රේට් කරගත්ත චීස් ටිකක් දාල සෙල්සියස් අංශක 200ට රත් කරගත්ත අවන් එකක චීස් ටික දියවෙනකන් විනාඩි 5ක් පමණ බේක් කරගන්න.

 

8. චීස් ඇන්ඩ් හැම් ක්‍රොසාන්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හැම් 200g
  2. චෙඩාර් චීස් කප් 3/4
  3. චොප් කරගත් ළූණු
  4. ලුණු
  5. ගම්මිරිස්
  6. පේස්ට්‍රි ශීට් එකක්

 

  • හැම් සහ චෙඩාර් චීස් කුඩා කැබලි කපාගන්න. ළූණු, ලුණු, ගම්මිරිස්  සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ පරිදි තුනී කරගෙන තරමක් දිගට ත්‍රිකෝණ කපාගන්න. සාදාගත් ළූණු මිශ්‍රණය, කපාගත් හැම් සහ චීස් එක කෙලවරකින් තබා ත්‍රිකෝණයේ උල් පැත්තට රෝල් කර ක්‍රසන්ට් හැඩයට හදාගන්න. 
  • බිත්තරයක් තරමක් ගසාගෙන බ්‍රශ් එකකින් පේස්ට්‍රි එක මත තවරා සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15 – 20ක් බේක් කරගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *