ඔස්කාර් සිනමා උළෙල කැළඹූ පැරසයිට් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් වන්නේ ඇයි?

පසුගිය දා නිමාවට පත් වුණ ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළලේ ආකර්ෂණය වැඩියෙන් ම දිනාගත් චිත්‍රපටය තමයි පැරසයිට්. හොඳම චිත්‍රපටය සහ අධ්‍යක්ෂවරයා ඇතුළුව සම්මාන 4ක්ම තමන්ගෙ කරගන්න පුළුවන් වුණා. ඉංග්‍රීසි නොවන භාෂාවකින් ගහපු ෆිලුමක් මෙහෙම රෙකෝඩ් එකක් ගහපු පළවෙනි වතාව. ඉතින් මේක ඒ තරම් බලන්න වටින දෙයක් ද?



1. සමාජ යථාර්ථය පෙන්වීම


එකම කාසියක ඇති සම්පූර්ණයෙන් ම වෙනස් දෙපැත්තක් වගේ අපේ සමාජය බෙදිලා ගිහිල්ලා. ඒ කාසියට උරුම වෙච්ච දේ බලෙන් වෙනස් කරගන්න ගියොත් එහෙම මහා නස්පැත්තියක් වෙලයි නවතින්නේ. ඒක ආර්ට් එකත් එක්ක හේත්තු වෙලා තමයි පැරසයිට් නිර්මාණය වෙන්නේ. සල්ලි ඇති පවුලක් අතේ සතේ නැති අයගේ රාජකීය බයිටක් වීමත් එක්ක මේ අතමිට මුදල් ගැවසිල්ල වැඩි වීමත් එක්ක මිනිස්සු මෝඩ වන තරම පෙන්වනවා. මේක මුලින් ම ප්ලෑනක්. පස්සේ ප්ලෑන් ගැහුවොත් කරන වැඩක් කරගන්න බැරි බවට කතා වෙනවා. මේවා ඇත්තම ඇත්ත දේවල් නේ.



2. කතාව ගොඩනැංවීම


පටන් ගත්ත වෙළේ ඉඳන් කවදාවත් එක දිගට කතාවක් නොබලපු කෙනෙක්ව පවා එක තැන රඳවලා හීනෙන් නොහිතන දේවල් පෙන්වීමේ හැකියාවක් මේ කතාවට තියනවා. මේ හොඳට ඔක්කෝම වෙනවා. ආය ටිකකින් ඔක්කොම අවුල්. ආහ් දැන් කතාව මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා ලකලෑස්ති වෙනකොට තවත් අතුරු කතාවක් බවට ඒක පත් වෙලා. 



3. බොන්ග් ජූන් හෝගේ වැඩක් වීම


මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමා වෙත පස්සෙන් පහු එන ලිපි ලේඛනවලට පිළිතුරු ලියලම මහන්සි ඇති. කොරියානු සිනමාවෙ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකු වන බොන්ග්ගේ ඒ කාලේ සිනමාපටත් මේ වගේමයි පටන් ගත්ත වෙලේ ඉඳන් අදාළ පුද්ගලයාගේ ලකුණ තියලා යනවා. ඔහු විසින් නිර්මාණය කරන ලද වෙනත් චිත්‍රපටවලට පවා අදටත් හොඳ විචාර ලැබෙනවා. Memories of Murder, Okja, Snowpieercer වගේ ඒවයේ තියන පිස්සුවම තියනවා.



4. රඟපෑම


ඒක නම් ලේසිපාසු වැඩක් නෙවේ. මේකේ ඉන්න මිනිස්සු රඟපානවද නැත්තන් ෆිල්ම් එක අස්සේ පවතිනවාද කියලා හිතන්න තරමට ඇත්තම ඇත්ත වගේ පෙනුණා. Memories of Murder චිත්‍රපටයේ පවා ගිනිකන රඟපෑමක් කරපු කන්ග් හෝ සොන්ග් ඉන්නවා එක පවුලක තාත්තා විදියට. ඊට අමතරව චිත්‍රපටයේ ඉන්න කුඩා දරුවන්ගේ පවා තියෙන්නේ රඟපානවට වඩා එහා ගියපු ජීවත් වීමක්. 



5. ප්‍රහසනය


ඉතාම සංකීර්ණ මාතෘකාවක් යටපත් නොකර කොමඩියත් දැනෙන්න නොදැනෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඩාර්ක් කොමඩි එකක යන්න පුළුවන් ඉහළ ම තැන. ඒත් මේක කොමඩියක් නෙවේ තනිකරම දුක හිතෙන සිද්ධියක්. ඒත් සමාජෙට හිනා වෙන්න හරි පොඩි කොණක් අල්ලලා දෙනවා කොහෙන් හරි. මේකේ එක් තැනක ධනවත් පවුලේ පොඩි පුතා ඇඳපු චිත්‍රයක් ගාවට යනවා. චිත්‍රය පෙන්වලා ඒක චිම්පන්සියෙකුගේ දැයි අහපු වෙලාවේ ඒ ඇන්දේ තමාවම යැයි කියලා කියන කොටස ඒ වගේ හිමින් ගහපු කනේ පාරක්. 



6. දෙබස්


චිත්‍රපටයක තියන දෙබස්වලින් මෙලෝම රහක් නැති චිත්‍රපටයක් වුණත් උඩට ගන්න පුළුවන්. පැරසයිට්වල තියන අමුතු ම අමුතු කතන්දර ගොන්නත් එක්ක ඒ දෙබස් මුළු කතාවම එහෙන් මෙහෙන් කියන්න උත්සාහ කරනවා. සැලැස්මක් ගැහුවොත් ඒ සැලැස්මට අනුව කිසි දෙයක් වෙන්නේ නැති පරම පිවිතුරු සත්‍යය පෙන්වන්න තාත්තයි පුතයි අතරේ වෙන දෙබස ඒකට හොඳ උදාහරණයක්.



7. දිනූ සම්මානය අනතුරේ!


මේ චිත්‍රපටය බැලිය යුතු අවසාන හේතුව විදියට කිව යුත්තේ එකෙන්ම මෙන්න මේ හේතුවයි. දෙමළ අධ්‍යක්ෂවරයෙකු සද්ද දාලා තිබ්බා මේක ඔහුගේ දෙමළ චිත්‍රපටයක් (Minsara Kanna) අනුකරණය කරගෙන හැදුව එකක් කියලා. ඒක එහෙම ම ද කියලා බලන්න චිත්‍රපටය බාලා අද හෙට ම. ඒ නැත්තන් දැන් ලංකාවේ ෆිල්ම් හෝල්වලත් පෙන්වනවලු ඔන්න.