නොබෙල් සාම ත්‍යාගය ගැන ඔබ දැන සිටිය යුතුම කතා

නොබෙල් සාම ත්‍යාගය ලැබෙන්නෙ ලෝක සාමය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සුන්ට. ඒ ඇගයීම අතිශය වටින්නේ ඇයි කියන එකට ඒ හේතුවම ඇති. ලංකාවෙ දේශපාලන අයියලත් එයාලට නොබෙල් සාම ත්‍යාග ලැබෙන බව කියමින් කතා මැවුවත් ඒවා එහෙම නොවෙන බවත්, කතා පමණක් බවත් පස්සෙ කාලෙක ඔප්පු වුනා. මේ සටහනේ තියෙන්නෙ ‌නොබෙල් සාම ත්‍යාගය ගැන වඩාත් කතාබහක් ඇතිනොවෙන මුත් ඔබ දැන සිටිය යුතුම කරුණු කිහිපයක්.

 

1. ලබාදීපු සම්මාන

Image Source – nbcnews.com

සාමය වෙනුවෙන් නොබෙල් ‌සම්මාන පිදෙන්නෙ 1901 අවුරුද්දෙ ඉඳන්. නමුත් මේ වෙනකං නොබෙල් සාම ත්‍යාග ‌ප්‍රදානය කරලා තියෙන්නෙ 99ක් පමණයි. එයින් පෙනෙන්නෙ වසර ගණනාවක්ම සම්මාන ‌ලබා නොදුන් අවස්ථා ඇති බවයි. 1914-1916, 1918, 1923, 1924, 1928, 1932, 1939-1943, 1948, 1955-1956, 1966-1967 සහ 1972 කියන අවුරුදු 19දි නොබෙල් සාම ත්‍යාගය ලබා දී නැහැ. එයට හේතුව වෙන්නෙ ඒ වෙනුවෙන් නිශ්චිත සුදුස්සෙක් නොසිටීමයි. ඒ වෙනුවෙන් වෙන් කළ මුදල් අනෙක් වසරේ ත්‍යාග මුදලට එක්වීමක් සිද්ධ වෙනවා.

 

2. බෙදාගත්තු සම්මාන

Image Source – achievement.org

නොබෙල් සාම ත්‍යාගය කිහිපදෙනෙකු අතරේ බෙදී ගිය අවස්ථා එමටයි. සම්මාන 99න් තනි පුද්ගලයෙකුට ලබාදී ඇත්තේ සම්මාන 67ක් පමණයි. සම්මාන 30ක් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා. දෙවරකදී පමණක් සාම සම්මානය තිදෙනෙකු අතරේත් බෙදී ගොස් තිබෙනවා.

 

3. බාල – මහළු

Image Source – enca.com

අද වන විට නොබෙල් සාම ත්‍යාගය ලබාගත්තු ලාබාලම පුද්ගලයා වෙන්නේ 2014 වසරේදී සම්මානය ලබාගත්තු 17 හැවිරිදි මලාලා යූසුෆ්සායි. වයස්ගතම සාම සම්මානලාභියා වෙන්නේ 1995දි සාම සම්මානය දිනාගත්තු 87 හැවිරිදි ජෝසෆ් රොට්බ්ලැට්.

 

4. හිර සම්මාන

Image Source – japantimes.co.jp

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන විට සිරගතව සිටි පුද්ගලයින් තිදෙනෙකු වාර්තා වෙනවා. ජර්මානු ජාතික මාධ්‍යවේදී කාල් වොන් ඔසියට්ස්කි, බුරුම දේශපාලනඥ අවුන්ග් සාන් සුඛී සහ චීන මානව ක්‍රියාකාරී ලියු ෂියාබෝ තමන් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන විට සිරගතව සිට තිබෙනවා.

 

5. එපා!

Image Source – thenation.com

දකුණු සහ උතුරු වියට්නාමය අත‌ර 1959 -1975 දක්වා පැවති ගැටුම අවසන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සහය දුන් දකුණු වියට්නාමය පරදවා උතුරු වියට්නාමය ජය ලැබීමෙන්. එම ගැටුම් අවසන් වීමට පෙර 1973 වසරේදී උතුරු වියට්නාම දේශපාලක ලෙ ඩුක් තෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ගර් අතරේ වූ සාම ගිවිසුම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි වෙනවා. නමුත් මෙම වියට්නාම දේශපාලකයා තම රටේ ඒ වන විටත් ඇති වී ඇති තත්ත්වය හමුවේ තමන්ට එවන් සම්මානයක අවශ්‍යතාවයක් නොමැති බව (ශ්‍රේෂ්ට සාහිත්‍යධර ජෝන් පෝල් සාත්‍රේ විසිනුත් නොබෙල් සාහිත්‍ය සම්මානය ප්‍රතික්ෂේප කර තිබෙනවා) සෘජුව පවසා එය අතහැර තිබෙනවා.

 

6. මහා නිර්දේශිත නාම

Image Source – designsponge.com

නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශිත නාම අතරේ ලෝකයේ වැඩි වශයෙන් කියවෙන මහා නම් කිහිපයක්ම තියෙනවා. ඒ පුද්ගලයින්ට සම්මානය හිමි නොවීමත් එක්තරා ආකාරයක හොඳක් ලෙසින් දැකිය හැක්කේ, ඒ මගින් පසු කලෙක සම්මානයේ ගරුත්වය කෙලෙසීමට පවා ඉඩ තිබුණු නිසායි. ඒ මහා නම් තුන ජෝසෆ් ස්ටාලින්, මහත්මා ගාන්ධි සහ ඇඩොල්ෆ් හිට්ලර් යන ත්‍රිත්වයයි. දෙවැනි ලෝක යුද්ධය නැවැත්වීමට සිදු කළ කැපකිරීම් නිසාම 1945දී සහ 1948දී ජෝසෆ් ස්ටාලින් හට නොබෙල් සාම ත්‍යාග නිර්දේශයන් ලැබෙනවා. 1939දී ඇඩොල්ෆ් හිට්ලර් නොබෙල් සම්මානයේ නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ ස්වීඩනයේ පාර්ලිමේන්තු සභිකයෙකු අතින් උපහාසාත්මක ක්‍රියාවක් ලෙසින්. නමුත් එය උපහාසයක් ලෙසින් ගැනෙන්නේ නැහැ.  මහත්මා ගාන්ධි 1937, 1938, 1939, 1947 සහ ඔහු මිය යන්නට කිහිප දිනකට පෙර 1948දී සම්මානයට නිර්දේශ වෙනවා. නමුත් මිය ගිය අයවළුන්ට සම්මාන ලබා නොදෙන නිසා ඔහුට අවසන් අවස්ථාවේදීත් සම්මානය මගහැරෙනවා.

 

7. වැඩියෙන්ම

Image Source – sandiegouniontribune.com

සාමය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය වැඩිම වරක් හිමි කරගෙන ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයයි. ඔවුන් තෙවරක් මෙම සම්මානය ජයග්‍රහණය කර ඇති අතර, දෙවරක් සාම සම්මානය දිනූ සරණාගතයින් වෙනුවෙන් වන එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය ඊළඟට වැඩිම වරක් මෙම සම්මානය දිනා තිබෙනවා.

Cover Image Source – cracked.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *