ලංකාවේ පුරාණ පඬිවරු බොහෝ දෙනෙක් සිංහල භාෂාවට අමතරව වැඩි දක්ෂතාවයක් දක්වලා තියෙන්නෙ පාලි භාෂාවට කියන එක අවිවාදයෙන්ම පිළිගැනෙන කාරණයක්. නමුත් ඇතැම් අවස්ථාවල අපේ රටේ පඬිවරු සංස්කෘත භාෂාවෙනුත් විවිධ පතපොත ලියලා තියෙනවා. නමුත් පාලි භාෂාවෙන් ලියවුණු ග්‍රන්ථ වලට සාපේක්ෂව සංස්කෘත පොත් වලට ලැබිලා තියෙන්නෙ අඩු අවධානයක්. ඒකට හේතු ගණනාවක් බලපාල තියෙනවා. කාලයත් එක්ක ප්‍රාචීන භාෂා හැදෑරීම අපේ රටේ යම්තාක් දුරකට පරිහානියට ලක්වීම මීට ප්‍රධාන හේතුව විදිහට හඳුන්වන්න පුළුවන්. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවේ ලියවුණු සුප්‍රකට සංස්කෘත පත පොත කීපයක් පිළිබඳව තොරතුරු
1. ජානකීහරණය
මේ දක්වා ඉතිරි වෙලා තියෙන ග්‍රන්ථ අතරින් අපේ රටේ පඬිවරයෙකු ලියලා තියන විශිෂ්ටතම සංස්කෘත ග්‍රන්ථය විදිහට ජානකීහරණය හඳුන්වන්න පුළුවන්. ජන කතාවල කියවෙන විදිහට කුමාරදාස නම් රජකෙනෙක් තමයි මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. රාමායණය කතා වස්තුව විෂය කරගෙන ලියවුණු මේ ග්‍රන්ථයේ මුල් පෙළ සියවස් ගණනාවක් තිස්සේ නැති වෙලා තිබ්බා. ඉතිරි වෙලා තිබ්බේ සන්නය විතරයි. රත්මලානේ ධර්මාරාම හාමුදුරුවෝ මේ සන්නය භාවිතා කරලා ජානකීහරණය මුල්පෙළ යළිත් ප්‍රති නිර්මාණය කළා. ඉන් දශක කීපයකට පස්සේ ඉන්දියාවේ පොත්ගුලකින් ජානකීහරණය මුල් පිටපත යළි සොයා ගන්න හැකියාව ලැබුණා.
2. සාරාර්ථ සංග්‍රහය
අපේ රටේ වංශකතාවල මිනිසුන්ට පමණක් නොව සතුන්ටත් වෙදකම් කළ රජ කෙනෙක් පිළිබඳව කතාවක් අහන්න ලැබෙනවා. ඒ රජතුමා තමයි බුද්ධදාස රජතුමා. එතුමා විසින් රචනා කරලා තියෙන මෙම ආයුර්වේද ග්‍රන්ථය අපේ රටේ ආයුර්වේද වෛද්‍යවරු මහත් ගෞරවයෙන් භාවිතා කරන පොතක් විදිහට හඳුන්වන්න පුළුවන්.
3. බුද්ධ ගජ්ජය
පැරණි අධ්‍යාපනය ක්‍රමයේ ආරම්භක අවස්ථාවේ ශිෂ්‍යයන් සඳහා පරිශීලනය කළ යුතු අනිවාර්ය ග්‍රන්ථයක් වූ බුද්ධගජ්ජය තුළින් අපේක්ෂා කෙරුණේ සංස්කෘත වචන නිසි පරිදි උච්චාරණය කිරීම සඳහා අවශ්‍ය පරිචය ලබා ගැනීමයි. ඇතැම් විද්වතුන් විශ්වාස කරන පරිදි මෙම ග්‍රන්ථයේ මුල්නම බුද්ධ ගද්‍යය වෙනවා.
4. දෛවඥ කාමධේනු
දඹදෙණි යුගයේ දී දෙවැනි පැරකුම්බා රජ දවස සංඝරාජ ධූරය දැරූ අත්තනගල්ලේ අනෝමදස්සී සංඝරාජ හිමිපාණන් විසින් මේ ග්‍රන්ථය රචනා කොට තිබෙනවා. ජ්‍යෝතිෂය පිළිබඳව ලියවී තිබෙන මෙම ග්‍රන්ථය අද දක්වාම අපේ රටේ ජෝතිෂ්‍යවේදීන් අතර ජනප්‍රිය ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය රචනා කිරීමේ දී උන්වහන්සේ එවකට ඉන්දියාවේ පැවති ජ්‍යෝතිෂය මූල ග්‍රන්ථ සියල්ලම පාහේ පරිශීලනය කර තිබෙන බව ඒ පිළිබඳව විචාරාත්මක අධ්‍යයනයක් සිදු කළ විද්වතුන් පවසනවා.
5. සද්ධර්ම මකරන්ද
දොඩන්ගොඩ ධම්මක්ඛන්ධ හිමියන් විසින් රචනා කරන ලද මේ ග්‍රන්ථය සඳහා වස්තු විෂය ලෙස භාවිතා වන්නේ බුද්ධ චරිතයයි. අශ්වඝෝෂ වැනි සංස්කෘත පඬිවරුන් බුද්ධ චරිතය පදනම් කරගෙන මහා කාව්‍ය රචනා කළත් ඒ සඳහා බලපෑවේ මහායාන සම්ප්‍රදායයි. නමුත් සද්ධර්ම මකරන්ද කෘතිය ථෙරවාදී සම්ප්‍රදාය අනුව ලියවෙන්නක්. මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ධම්මක්ඛන්ධ හිමියන් පාලි ත්‍රිපිටකය පමණක් නොව අටුවාටීකා වැනි ග්‍රන්ථ රාශියක් පරිශීලනය කොට ඇති බව සඳහන් වෙනවා.
6. දවුල්දෙණ ඤාණිස්සර හිමියන් රචනා කළ ග්‍රන්ථ
මෑත කාලයේ ලංකාවේ සංස්කෘත සාහිත්‍යයට විශිෂ්ටතම සේවාව කරපු හිමිනම විදිහට අපවත් වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර නාහිමිපාණන්වහන්සේව හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේ විසින් යතිදූතම්, මාරංගනා විජයම් වැනි සංස්කෘත ග්‍රන්ථ කීපයක්ම රචනා කරනු ලැබුවා. උන්වහන්සේ තමන්ගේ විවේක කාලය ගත කළේ සංස්කෘත ශ්ලෝක රචනා කරමින් බව කියවෙනවා.
7. කාව්‍යශේඛර පරිවර්තනය
පුරාණ සිංහල සාහිත්‍යය තුළ අපිට මහා කාව්‍ය ග්‍රන්ථ දෙකක් මුණගැහෙනවා. එකක් කව්සිළුමිණ, අනෙක් ග්‍රන්ථය කාව්‍යශේඛරය. මහා කාව්‍ය කියන සංකල්පයම සංස්කෘත සාහිත්‍යයේ ආභාසය ඇසුරෙන් බිහි වුණු සංකල්පයක්. දහනම වැනි සියවසේදී සුප්‍රකට ආයුර්වේද වෛද්‍ය ආර්යදාස කුමාරසිංහ මහතා විසින් කාව්‍යශේඛරය ග්‍රන්ථය සංස්කෘත භාෂාවට පරිවර්තනය කරනවා.
එතුමා සිදු කරපු මේ කාර්යය බොහෝ විද්වතුන්ගේ පැසසුමට ලක් වුණා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වෙනකොට ලංකාවේ පිරිවෙන්වලින් බිහි වෙලා ඉන්න සංස්කෘත උගතුන් ගැන ඔබ දන්නවා නම් ඒ අයගේ නම් සඳහන් කරන්නටද අමතක කරන්න එපා.
Leave a Reply