පාන් එක්ක ඇනගෙන කන්න පුළුවන් බිත්තර රෙසිපි 5ක්

පාන් කිව්වම ඉතින් ඔය ඇනගෙන කන්න පරිප්පු හොද්දක් හරි භාගෙට බැදපු බිත්තරයක් හරි තිබ්බ නම් ලංකාවෙ අපිට ඊට වඩා මොනාද නේ? පාන් එක්ක ඇනගෙන කන්න හැමදාම කන හොද්දෙන් බිත්තරෙන් එහාට ගිහින් වෙනස්ම බිත්තර රෙසිපි ටිකක් අපි ගෙනාව. පාන් ඇනගෙන කාලම බලන්නකො එහෙනම්. 

 

1. Shakshuka

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 1
  3. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 1
  4. තක්කාලි ගෙඩියකින් හදාගත් පියුරි
  5. කපාගත් ලීක්ස් කෝප්ප 1/2
  6. කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  7. චොප්කරගත් සුදුළූණු බික් 4-5
  8. තුනපහකුඩු තේ හැඳි 1
  9. මිරිස්කුඩු තේ හැඳි 2
  10. පොල්තෙල් ටිකක්
  11. ලුණු
  12. චොප්කරගත් පාස්ලි කොළ ටිකක්
  13. සීනි තේ හැඳි 1/4
  14. ගම්මිරිස්කුඩු තේ හැඳි 1

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා සුදුළූණු, බෙල්පෙපර් සහ බී ළූණු ටික දාගන්න. ටිකක් තෙම්පරාදු වේගෙන එනකොට ලුණු ටිකක් දාගන්න.
  • එයටම මිරිස්කුඩු, තුනපහකුඩු,  තක්කාලි පියුරි, සීනි, කපාගත් තක්කාලි සහ ගම්මිරිස්කුඩු දාගෙන විනාඩි 5ක් වගේ මද ගින්නෙ පිසගන්න.
  • අන්තිමට උඩින් ලීක්ස් ටික දාගෙන ලාවට තැම්බෙන්න දෙන්න. 
  • ටිකකින් කරි එකේ හිඩැස් 2ක් වගේ හදලා තෙල් ටිකක් දාලා බිත්තර දෙක වෙන වෙනම කඩලා මේ හිඩැස් වලට කහමදය නොකැඩෙන්න දාගන්න.
  • පියනකින් වහල අඩු ගින්දරේ පිසගන්න. බිත්තර දෙක තැම්බුනාම උඩින් පාස්ලි කොළ දාගෙන ලිපෙන් බාගන්න.
  • ලිපෙන් බාලා ගම්මිරිස්කුඩු හා ලුණුකුඩු ටිකක් බිත්තර උඩින් ඉසගන්න.

 

2. Egg spinach scramble/ Bullseye 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේබි නිවිති හෝ ලොකු නිවිති ටිකක් කපාගෙන
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් සුදුළූණු බික් 3-4
  4. බටර් ටිකක්
  5. ලුණු
  6. බිත්තර 2

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා ඒකට චොප්කරගත් සුදුළූණු, ළූණු ටික දාගෙන තෙම්පරාදු කරගන්න. මේකට කපාගත් නිවිති ටික එක්ක ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. සැරට කැමති නම් කෑලිමිරිස් ටිකක් එකතු කරගන්න.
  • ටිකකින් නිවිති ටික පෑන් එකේ තුනී කරලා මැදින් පොඩි වලවල් වගේ හදලා බිත්තර 2 දාගන්න.
  • පියනෙන් වහලා ටිකක් වෙලා තියලා ලුණු හා ගම්මිරිස්කුඩු ඉහලා කෑමට ගන්න.
  • නැත්නම් මේ විදියට තෙම්පරාදු කරපු නිවිති එකටම බිත්තර දෙක කඩල දාල ස්ක්‍රැම්බල් කරගන්නත් පුළුවන්. 

 

3. Punjab Egg Masala

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බපු බිත්තර 2
  2. කොටු කපාගත්ත ළූණු කප් 3/4
  3. කොටු කපාගත්ත තක්කලි කප් 1/2
  4. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දක්
  5. බේලීෆ් එකකින් භාගයක්
  6. කුරුඳු පොතු පොඩි කෑල්ලක්
  7. කරදමුංගු කරල් 2
  8. කරාබුනැටි පහක්
  9. මිරිස් කුඩු තේ හැඳි 3/4ක් හෝ 1ක් සැර අනුව
  10. ගරම් මසාලා මේස හැඳි 1/2ක්
  11. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්
  12. කහ තේ හැඳි 1/4ක්
  13. ලුණු
  14. මිටිකිරි කප් 1/2ක්
  15. වතුර කප් 1/2ක්
  16. කොත්තමල්ලි කොළ

 

  • ළූණු ටිකයි තක්කලි ටිකයි වෙන වෙනම බ්ලෙන්ඩ් කරගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට බේලීෆ්, කුරුඳුපොතු , කරදමුංගු, කරාබු නැටි එකතු කරන් සුවඳ එනකම් තෙම්පරාදු කරගන්න. 
  • මේකට ළූණු පේස්ට් එකයි ඉඟුරු, සුදුළූණුයි එකතු කරලා සාමාන්‍ය අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න.
  • මේ තෙම්පරාදුවට මිරිස්, ගරම් මසාල, කහ සහ ලුණු එක්ක තක්කලි පේස්ට් එක එකතු කරගන්න. එකතු කරන් තෙල් වෙන් වෙලා රතු පාටට එනකම් අඩු ගින්දරේ විටින් විට කලවම් කර කර තියාගන්න.
  • තෙල් ටික පෑදීගෙන එන කොට වතුරයි මිටි කිරි ටිකයි එකතු කරගන්න.
  • පොල්කිරියි වතුරයි දාගත්තට පස්සෙ සීනි තේ හැඳි කාලක් වගේ එකතු කරන් කරිය උතුරවගන්න. 
  • මේකට තම්බල දෙකට කපපු බිත්තර එකතු කරගෙන බිත්තර පලු උඩට වැටෙන්න කරි දාගන්න. අන්තිමටම කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාගන්න.
  • කැමති නම් බිත්තර කපන්නෙ නැතුව තැනින් තැන සුදුමදේ විතරක් ඉරි හිටින්න කපල සම්පූර්ණ බිත්තරේ දාගන්න වගේම වෙනස් රසයක් ගන්න බිත්තරේ තම්බල බැදල ගන්නත් පුළුවන්.

 

4. Egg Pepper Fry

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 4
  2. පොල්තෙල්
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. ගම්මිරිස් ඇට ටිකක්
  5. ලුණු
  6. චොප්කරගත් පාස්ලි ටිකක්

 

  • ලුණු ටිකක් දාලා බිත්තර ටික තම්බගන්න. බිත්තර දෙකට කපාගන්න. දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් බිත්තර ටික කහමදය යටට හිටින්න තියාගන්න.
  • හොඳට බැදුනම අනික් පැත්ත හරවගන්න. කහකුඩු ටික දාගන්න. ගම්මිරිස් ඇට ටිකට ලුණු තේ හැඳි 1ක් දාලා ග්‍රයින්ඩ් කරගන්න. 
  • දැන් මේ පව්ඩර් එක බිත්තර උඩින් ඉසගන්න. වතුර ටිකකුත් ඉහගන්න. දැන් බිත්තර ටික දෙපැත්ත හරවලා තවත් බැදගන්න. උඩින් චොප්කරගත් පාස්ලි ටිකක් දාගන්න.

 

5. Masala Egg Scramble 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප් කරපු ළූණු ගෙඩියක්
  2. ඇට අයින් කරල චොප් කරපු තක්කලි ගෙඩියක්
  3. චොප් කරපු අමුමිරිස් කරලක් දෙකක්
  4. තලාගත්ත සුදුළූණු බික් 2
  5. ලුණු
  6. ගම්මිරිස් තේ හැඳි 1/4
  7. මිරිස් කුඩු තේ හැඳි 1/2
  8. ගරම් මසාලා තේ හැඳි 1/4 හෝ අමුපහේ පින්ච් එකක්
  9. ලොකු බිත්තර 2
  10. බටර් මේස හැන්දක්
  11. තෙල් තේ හැඳි 1/2

 

  • තෙල් එක්ක බටර් රත්වෙන්න තියල ඒකට ළූණු, සුදුළූණු, අමුමිරිස්, තක්කලි දාල තෙම්පරාදු කරගන්න.
  • ළූණු මැලවෙන කොටම පහේ ජාති සේරම එක්ක ලුණු දාගන්න.
  • තෙම්පරාදු වෙලා තක්කලි වලින් වතුර උනන කොටම වතුර මේස හැඳි 2ක් දාල අඩු ගින්දරේ කලවම් කරන්න විනාඩියක් දෙකක්.
  • මේකට බිත්තර දෙක කඩල දාගෙන ගින්දර පොඩ්ඩක් වැඩි කරල ඉක්මණට ස්ක්‍රැම්බල් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *