මුදල් ආයෝජනයක් කරන්න කලින් හිතන්න ඕන දේවල් මේවා තමයි

කලින් සතියකදී අපි කතා කළානෙ මුදල් ආයෝජනයක් කියන්නෙ මොකක්ද කියන එක ගැන. එතැනදී ආයෝජනයේ වාසි අවාසි, ආයෝජන ක්‍රම වගේම ආයෝජනය කරන්න කලින් හිතන්න ඕන කාරණා ගැනත් අපි ටිකක් කතා කළා. හැබැයි මේ මුදල් ආයෝජනය කියන තීරණය ගන්න කලින් හිතන්න ඕන දේවල් එහෙම සරලව විස්තර කරන්න අමාරුයි. මොකද අතේ තියෙන මුදල, හරියන්න හෝ වරදින්න යම් වැඩක යොදවනකොට ටිකක් වැඩිපුර හිතන්න ඕන කාරණා කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුව මේ මුදල් ආයෝජනය කරන්න කලින් සලකා බලන්න ඕන කාරණා ගැන ටිකක් සවිස්තරාත්මකව කතා කරන්න. කලින් ලිපිය කියවලා මුදල් ආයෝජනය ගැන උනන්දුවක් ඇතිවුන අය මේකත් කියවලාම තමයි ආයෝජනය කරනවනම් කරන්න ඕන. 

 

1. වර්තමාන මුදල් තත්ත්වය

මුලින්ම හිතන්න ඕන දේ තමයි දැනට අතේ මුදල් කීයක් තියෙනවද කියන එක. මොකද තියෙන මුදල අනුව එපැයි ආයෝජනය කරනවද නැද්ද, කරන්නෙ කොහොමද, කීයක් කරනවද කියන හැම කාරණාවක් ගැනම හිතල බලන්න. ඒ නිසා ඉස්සෙලාම කොලයක් පෑනක් හරි එක්සෙල් ෂීට් එකක් හරි අරගෙන දැනට හදිසි සහ අත්‍යවශ්‍ය වියහියදම් වලට තියෙන මුදල්, හදිසි අවස්ථාවන්, ලෙඩ රෝග වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් ඇරුනහම මේ ආයෝජනය කියන කාරණාවට වෙන් කරන්න පුළුවන් මුදල් කොච්චර තියෙනවද කියලා ගණනය කිරීමක් කරල බලන්න. 

 

2. අනාගත මුදල් සැලසුම් සහ ආයෝජනය කරන එකේ අරමුණ

ඊළඟට හිතල බලන්න ඕන මුදල් ආයෝජනය කරන්නෙ ඇයි කියන එක. ඒ කියන්නෙ මුදල් ආයෝජනය කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එකයි. කතා දෙකක් නැහැ. අනිවාර්යයෙන්ම තියෙන මුදල වර්ධනය කරන්න, ලාභයක් ලබාගන්න තමයි ආයෝජනය කරන්නෙ. ඒත් ඒ ලාභය මොන විදිහටද ඕන, කොයි කාලේදීද ඕන, ඒකෙන් කරන්න ඉන්න දේවල් මොනවද කියන එක කලින්ම හිතල බලන්න ඕන. මොකද ඒ අනුව අනිවාර්යෙන්ම ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙනවා. ඒ නිසා කලින් වගේම පැත්තක ඉඳගෙන අනාගතේ මුදල් වලින් කරන්න තියෙන දේවල්, ඒ දේවල් කරන්න ඕන කොයි කාලේදීද කියන එකත් සමාලෝචනය කරගන්නම වෙනවා.

 

3. කොයිතරම් දුරට අවදානමක් ගන්න පුළුවන්ද?

අපි කලින් ලිපියෙනුත් කතා කළා ආයෝජනය කියන්නෙ හැම වෙලාවේම අවදානමක් තියෙන වැඩක් කියලා. අතේ තියෙන මුදල වර්ධනය කරලා වැඩි මුදලක් හිමි කරගන්න වගේම තියෙන මුදලත් නැති කරගන්නත් ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අහිමිවීම කොයිතරම් දුරට දරාගන්න පුළුවන්ද, අතේ දැනට තියෙන මුදලෙන් කොයි තරම් ප්‍රමාණයක් අහිමි කරගන්න පුළුවන්ද කියන එකත් ආයෝජනය ගැන තීරණයක් ගන්න කලින් හිතල බලන්න ඕන. මොකද තියෙන සල්ලි ඔක්කොම invest කරලා නැති කරගත්තොත් හදිසි අවශ්‍යතාවයක් උනත් අතේ මුදලක් නැහැනේ.

 

4. මුදලේ හරිම භාවිතය

ඒ කියන්නෙ මෙන්න මේකයි. දැන් කලින් කියපු කාරණා සලකල බලල මෙන්න මෙච්චර මුදලක් ආයෝජනය කරන්න පුළුවන් කියන තීරණයට ආවයි කියල හිතමුකෝ. හැබැයි ඒ අවස්ථාව වෙනකොට ඒ මුදලටම සමාන හෝ ටිකක් අඩු/වැඩි ණය කාර්ඩ් පතක් ගෙවන්න තියෙනවා කියල හිතන්නකෝ. ඒ ණය කාර්ඩ් පත එහෙමම තියෙද්දි ආයෝජනයක මුදල් යොදවන්න හිතනවනම් ඒක ටිකක් විතර මෝඩ වැඩක්. මොකද ආයෝජනයෙන් ලබන ලාභයට වඩා අර credit card එකට ගෙවන පොලිය බොහෝ දුරට වැඩියි. ඒ නිසා අතේ තියෙන මුදල් වලින් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉස්සෙල්ලම කරන්න ඕන.

ඒ වගේම සෞඛ්‍ය අවදානම්, ජීවිත අවදානම් එහෙම රක්ෂණය කරලා තියෙන එක ගොඩක් වැදගත්. නිශ්චිත ආදායමක් නොදන්න ආයෝජනයක මුදල් යොදවන්න කලින් රක්ෂණ ඔප්පුවක ආයෝජනය කරලා හිටියොත් හදිසි අවදානම් කවර් කරගන්න පුළුවන්.

 

5. ඔබගේ වයස

ආයෝජනය කරන මුදල සහ ක්‍රමය තීරණය කරන්න ඉහළින්ම සලකා බලන්න ඕන දෙයක් තමයි තමන්ගේ වයස කියන්නෙ. මොකද වයස අනුව තමයිනෙ අපි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන කාලය තීරණය වෙන්නෙ. මුදල් ආයෝජනය කියන කාරණාව පුළුවන් තරම් තරුණ වයසෙදි පටන් ගන්න පුළුවන් තරමට තමයි වැඩියම හොඳ. එතකොට කාලය ගැන බය නැතුව ඕනම දිගු කාලීන ආයෝජනයක මුදල් යොදවන්න පුළුවන්. හැබැයි වයස යන්න යන්න දිගු කාලීන ක්‍රම වලට නොයා ඉක්මනින් ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ගැන සලකා බලන්න ඕන.

 

6. සුදුසුම ආයෝජන ක්‍රමය

ඊළඟට, තියෙන අටෝරාසියක් ආයෝජන ක්‍රම අතරින් ඔයාට සුදුසුම ආයෝජන ක්‍රමය තෝරාගන්න ඕන. කලින් කිව්ව වයස, ප්‍රතිලාභ ලැබෙන කාල සීමාව, ලැබෙන ප්‍රතිලාභ වල ස්වභාවය, ප්‍රමාණය, දිගු කාලීනද, කෙටි කාලීනද කියන ඔක්කොම කාරණා සලකලා බලල තමයි මේ ක්‍රම තෝරාගන්න ඕන. උදාහරණයක් හැටියට අතේ තියෙන මුදල් ජීවිත රක්ෂණ ඔප්පුවක ආයෝජනය කරනවා කියල හිතන්නකෝ. හැබැයි ඒකෙ ප්‍රතිලාභ ලැබෙන්න එක්කෝ ඔප්පුව කල් පිරෙන්න ඕන, නැත්තම් ජීවිතේ නැතිවෙන්නම ඕන. ඒ කියන්නෙ ප්‍රතිලාභ ලබන්නෙ බොහෝවිට පවුලේ අය. හැබැයි දරු මල්ලෝ ඉන්න කෙනෙකුට මේක වෙන ආයෝජන ක්‍රමයකට වඩා වටිනවා. එහෙම ලොකුවට පවුල් බරක් නැති කෙනෙක්නම් ඉක්මනින් මිල වැඩිවෙන ඉඩම්, රත්තරන් වගේ දේක ආයෝජනය කරලා ඉක්මනින් ප්‍රතිලාභ ලබන්න පුළුවන්.

 

7. වංචාවන්ට හසුවෙන්න තියෙන ඉඩකඩ

මුදල් අයෝජනයේදී වංචාවන්ට හසුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. මොකද මේ කාරණාවට අලුතෙන්ම අතගහන අයව නොමඟ යවලා මුදල් ගසාකන්න බලන පිරිස ඕන තරම්. ඒ නිසා මුදල් යොදවන්න කලින් ඒ අදාළ ආයෝජන ක්‍රමය ගැන ටිකක් වටෙන් පිටෙන්, ගැඹුරෙන් කරුණු හොයල බලන්න ඕන. කලින්, කාලයක් තිස්සේ ආයෝජනය කරලා පුරුදු කෙනෙකුගෙන් හරි එහෙමත් නැත්තම් මූල්‍ය උපදේශකවරයෙකුගෙන් හරි උපදෙස් අරන්ම වැඩේට අතගහන එක තමයි සුදුසුම.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *