කාලයක් තිස්සෙ පෙරුම් පුරල හා හාපුරා කියල අපේ ලඟට එන පුංචි පැටියා ගෙදර ගේන්න කලින් හිතන්න ඕන දේවල්, මුල්ම කාලෙ පැටියට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන එහෙමත් අපි කතා කළානෙ. ඒ ඔක්කොටම වඩා වෙනස් පුංචි බබෙක් ගෙදරට ගෙනාපු මුල්ම දවස්වල ඇතිවෙන්න පුළුවන් පොදු ගැටළු කීපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. පුංචි පැටියෙක් ගෙදරට ආවම එතන එකම සතුටු සාගරයක් වෙනව වගේම තමයි මේ කියන ගැටළු ටික මැනේජ් කරගත්තෙ නැත්තම් ටිකක් විතර හිත් රිදවීම් එහෙම වෙන්නත් පුළුවන්. හරියට මැනේජ් කරගත්තොත් ලැබෙන සතුට උපරිමයෙන්ම භුක්ති විඳින්නත් පුළුවන්.
1. අඬන බබා
අලුත උපන් බබාලට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග යටතේ අපි කතා කළානෙ කොලික් කියන තත්ත්වය ගැන. මේක හුඟක්ම අලුත් බබාල අතර දකින්න පුළුවන් තත්ත්වයක්. ඉතින් කොලික් හැදිල පුංචි බබාල අඬනකොට හුඟ දෙනෙකුට හිතාගන්න බැහැ මොකක්ද මේ ප්‍රශ්නෙ කියල. අනිත් එක තමයි බබා හුස්මත් අල්ලගෙන නොනවත්වා අඬනකොට දන්න කෙනෙකුට වුණත් එක පාරටම කරන්න ඕන මොකක්ද කියල හිතාගන්න බැරුව යනවා. ඉස්සරනම් බාලගිරි දෝෂය කියල යන්තර එහෙමත් දානව. ඒ වගේම කොලික් ඇරුණම තව හුඟක් කාරණා වලට බබා අඬන්න පුළුවන්. බඩගින්න, නිදිමත, වෙන අමාරුවක් වගේ. මුල්ම කාලෙ අපිට බබාව තේරෙන්නෙත් නෑනෙ. හරියටම කාරණාව තේරුම් ගන්නත් පොඩී කාලයක් යනව. ඒ කොහොම වුණත් චූටි බබා අඬනකොට ගෙදර හැමෝම කලබල නොවී කරන්න ඕන දේ බලල කරන එක තමයි වැදගත්.
2. කිරි ගැටළු
කුළුඳුල් දරුවා කියන්නෙ හරියට ප්‍රශ්න පත්තරයක් වගේනෙ. නොදන්න දේවල් ගොඩයි. ඒ විතරක්ද හිටි ගමන් ඔළුවට ආපු මහා ලොකු වගකීමක්. ඒ ඔක්කොම ප්‍රශ්නයි කරන්න තියෙන වැඩකටයුතු ඔක්කෝමයි එක්ක අලුත් අම්මට බබාට දෙන්න කිරි මදිවෙන්න පුළුවන්. නැන්දම්මලා, අම්මලා එහෙම ලොකූවට නැටුවට මේක වෛද්‍යවරයෙකුට කියලා ප්‍රතිකාර ගැනීමෙනුයි හොඳ පෝෂදායී ආහාර රටාවකට හුරුවීමෙනුයි සරලවම විසඳගන්න පුළුවන්. ඒ වගේම හරි විදිහට බබා කිරි උරාබීම නොකරන නිසා අම්මගෙ තනපුඩු තුවාල වෙනව වගේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. මේ කිරි සම්බන්ධ ඕනම ගැටළුවකට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ගන්න දැන් මව්කිරි දීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් (Breastfeeding Doctors) ඉන්නව.
3. නිදි මැරීම
අලුත් බබෙක් ගෙනාවම මූණ දෙන්න වෙන ලොකුම චැලේන්ජ් එක මේක තමයි කිව්වත් වැරදි නෑ. මුල්ම කාලෙදි බබා නිතර බඩගිනි වෙලා කිරි බොන නිසා, එක එක හේතු වලට නැගිටල අඬන නිසා රැයක් එක දිගට නිදාගන්න එකනම් ටික කාලයක් යනකම් හීනයක් තමයි. එක පාරට නිදි මරන්න වෙන එකට හුරුවෙන්න අම්ම කෙනෙක්ට ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි හස්බන්ඩ්ගෙ සහ අම්මලාගෙ සහයෝගය එහෙම තියෙනවනම් බබාට අවශ්‍ය කිරි දොවල තියල අම්මට ටිකක් නිදාගන්න පුළුවන්. කොහොම වුණත් බබා ටිකක් ලොකු වෙද්දිනම් මේ නිදිමරන ගැටළුව ඉබේම විසඳෙනව.
4. ගෙදර වැඩපල
බබා ගෙනාපු අලුත ගෙදර වැඩපල කලින් කරපු විදිහටනම් කරගන්න අමාරුයි. බබා අඬද්දි බබා ලඟම ඉන්න, කිරි දෙන්න වෙන නිසා කලින් කරපු රටාව මුල්ම කාලෙ ටිකක් අමතක කරල අනිත් අයගෙත් උදව් අරන් යන්තමට වැඩ ටික මැනේජ් කරගැනීමක් තමා කරන්න වෙන්නෙ. හැබැයි ටිකක් කල් යනකොට බබා නිදියන නැගිටින වෙලාවල් ගැන එහෙම හරි අවබෝධයක් ලැබුනට පස්සෙ දෙන්නටම පහසු අලුත් කාලසටහන හදාගන්න අම්මට ලේසියෙන්ම පුළුවන්.
5. මානසික මට්ටම
මේක ටිකක් වැඩියෙන් අවධානය දෙන්න ඕන ටිකක් බරපතල ගැටළුවක්. පසු ප්‍රසව ආතතිය නැත්තම් Postpartum Depression කියන්නෙ අලුත් අම්මලාට දරු ප්‍රසූතියෙන් පස්සෙ කාලෙදි ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක්. දරු ප්‍රසූතියේ වෙහෙස, තුවාල වේදනා, අලුත් වගකීම් ගොන්න, වැඩ කරල වෙහෙස එක්කම අහල පහල අයගෙ කතන්දර එහෙමත් මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුවෙන්න පුළුවන්. මේ තත්ත්වයේ බරපතලකම නිසාම රජයේ සායන වලත් පෞද්ගලිකව හමුවෙන VOG ලත් ප්‍රසූතියෙන් පස්සෙ අම්මගෙ මානසික තත්ත්වය ටිකක් හොයල බලන්න කටයුතු කරනවා. අම්මත් මේ ගැන දැනගෙන ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයි.
6. උපදෙස් දෙන අය
ඔන්න තවත් ලොකූම ප්‍රශ්නයක්. මේ තමයි අම්මලා නැන්දම්මලා ඇතුලු වැඩිහිටි කියන පරම්පරාවෙ අය දෙන උපදෙස් කන්දරාව. “ඉස්සරනම් අපි බබාලට කළේ ඔහොම නෙමෙයි, මෙහෙම කරන්න” කිය කිය උපදෙස් දෙනව විතරක්නම් බැරියැ. එයාල ඇවිත් හරිම උනන්දුවෙන් ඒව කරල දෙන්නත් යනව. හැබැයි ඒ කාලෙට වඩා අද කාලෙ වෙනස්, සමහර දේ දියුණුයි කියන එක එයාල පිළිගන්නෙනම් නෑ. බබාලගෙ කකුල්, නහය, අතපය ඇදල දිග ඇරල ඇද ඇරියෙ නැත්තම් ඉතින් එයාලට නින්ද යන්නෙත් නෑ. දැන් වෛද්‍යවරු උපදෙස් දෙන විදිහට ළමයින්ගේ අත පය ඇද අරින්න විශේෂ දේවල් කරන්න ඕන නැහැ කියන එක පරණ අම්මලාට කියල දෙන එක ඔක්කොටම වැඩ ලොකු ප්‍රශ්නයක්.
7. බබා බලන්න එන අය
අලුත් බබෙක් ගෙදර ගෙනාව කිව්වම ඉතින් කවුරුත් හරිම ආසයි තමා. ඉතින් හැමෝම පවුල් පිටින් දුවගෙන එනව බබාව බලන්න. හැබැයි මේක අලුත උපන් බබාලට එච්චර හොඳ නම් නැහැ. බබා පරිසරයට අලුත් නිසා එයාට නිතරම විසබීජ නිසා ලෙඩරෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා බබාගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ටිකක් ශක්තිමත් වෙනකන්වත් නිතර සෙනඟ ගොඩක නොඉන්නවනම් හොඳයි. ඒත් ඉතින් ගෙදරට එන අයට එපා කියන්නත් බෑනෙ. හැබැයි එන අයට බබාව වැඩිය අල්ලන්න එහෙමනම් එපා කියල බොහොම කරුණාවෙන් කියන්නම වෙනව. මොකද බබාව ආරක්ෂා කරගන්න වගකීම තියෙන්නෙ බබාගෙ ගෙදර අයටනේ. මුකුත් නොතේරෙන පුංචි පැටියා අපේ අතපසුවීම් නිසා ලෙඩ උණොත් පව්නේ.
Leave a Reply