මේ දවස්වල වැඩි වශයෙන් ලංකාව බංකොලොත් වෙයිද කියන එක ගැන ලොකු කතිකාවතක් ලංකාව තුළ වගේම ජාත්යන්තරවත් ගොඩනැගෙමින් පවතිනවා. රටක් බංකොලොත් වෙනවයි කියල කියන එක සරලව විස්තර කළොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. යම් රාජ්යයක් ලබාගෙන ඇති ණය ප්රමාණයක් ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්වීම රටක් බංකොලොත් වීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඒක තමයි සරලම නිර්වචනය. හැබැයි මේ නිර්වචන කිව්වා කියල ආර්ථික විද්යාව දන්නා අය කළබල වෙන්න එපා. මේ නිර්වචනය අපි ගෙනාවේ අපේ සාමාන්‍ය පාඨකයන් සඳහායි. ඒ පිළිබඳව අවශ්‍ය නම් ඔබට විස්තරාත්මක හැඳින්වීමක් කමෙන්ට් එකක් විදිහට ඇතුළත් කරන්න පුළුවන්. ආපහු අපේ ප්රධාන මාතෘකාවට ගියොත් එහෙම අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා බංකොලොත් බවට මෑත කාලයේ ඇද වැටුණු රටවල් කීපයක් පිළිබඳවයි.
1. ආජන්ටිනාව
දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ආජන්ටිනාව 2001 වසරේ දී බංකොලොත් තත්ත්වයට පත් වුණා. රට තුළ පැවති ප්රායෝගික නොවන මූල්යමය ප්රතිපත්ති මේ සඳහා ප්රධාන හේතුව වුණා. එහි ප්රතිඵලයක් ලෙස ජාත්යන්තර මූල්‍ය සංවිධානවල සහයෝගය ලබා ගැනීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව පළමු අදියර ලෙස 2005 වසරේ දී ණය ප්රතිව්යුහගත කිරීමේ මෙහෙයුමක් ඇරඹුණු අතර එහි ඉතිරි කොටස 2010 වසරේදී ආරම්භ වුණා. එහි කටයුතු වර්තමානයේදී පවා සිදු වෙනවා.
2. ලෙබනනය
ලෙබනනයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ රඳා පැවතුණේ විදේශ සම්ප්රේෂණ මතයි. පිට රටවල සේවය කරන ජනතාව එවන මුදල් සහ සංචාරක ව්යාපාරය ඔවුන්ගේ ප්රධාන ආදායම් මාර්ග වුණා. විවිධ හේතු මත මෙම මුදල් ප්රමාණය අඩුවීම සමග ලෙබනන ආර්ථිකය අර්බුදයට ලක් වෙමින් පැවතුණා. එහි උච්චතම අවස්ථාව 2019 වසරේදී දැක ගැනීමට ලැබුණු අතර කොරෝනා වසංගතය සහ බීරූට් වරායේ සිදුවූ පිපිරීමත් සමගම මෙම තත්ත්වය දරුණු තත්ත්වයකට ඇද වැටුණා. ඔවුන්ට අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන විදේශ සංචිත පවා මේ වනවිට නැහැ.
3. බාබඩෝස් දූපත්
2018 වසර වන විට බටහිර කැරිබියන් දූපත් රාජ්යයක් වන බාර්බඩෝස්හි ණය ප්රමාණය දළ දේශීය නිෂ්පාදනය මෙන් දෙගුණයකට ආසන්න ප්රමාණයක් බවට පත්වුණා. ඒ සමගම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් තමන්ට ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව බාර්බඩෝස් රජය ප්රකාශ කළා. කෙසේ නමුත් මේ සමගම අදාළ ණය මුදල් ප්රතිව්යුහගත කිරීම සඳහා වැඩසටහනක් විවිධ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡාවකින් පසුව දියත් කිරීමට ඔවුන් සමත් වුණා. බොහෝ ආර්ථික විශේෂඥයන් විශ්වාස කරන්නේ බාර්බඩෝස් රාජ්යය මෙම අභියෝගය ජය ගනු ඇති බවයි.
4. වෙනිසියුලාව
2013 වර්ෂයේ පටන් වෙනිසියුලාව ගිලගෙන තිබෙන ආර්ථික අර්බුදයේ නිමාවක් පෙනෙන තෙක් මානයක නැහැ. මේ වන විට වෙනිසියුලානු ජාතිකයන් හැකිතරම් සිය රටින් පළා යාමට උත්සාහ කරනු ලබනවා. වර්තමානයේ එරට බලය ගෙන යන මාක්ස්වාදී රජය බලය අත් හැරීමට හෝ තමන්ගේ ප්රතිපත්ති වෙනස් කර ගැනීමට උත්සාහයක් දරන්නේ නැහැ. එහි දුර්විපාක ගෙවීමට සිදුව ඇත්තේ වෙනිසියුලානු ජනතාවටයි. බොර තෙල් අපනයනය මත සම්පූර්ණයෙන්ම රඳා පැවතුණු එරට ආර්ථිකය බොරතෙල් වල මිල ලෝක වෙළඳපළේ පහළයෑමත් සමගම දරුණු කඩාවැටීමකට ලක් වුණා. එතෙක් කලක් වෙනිසියුලාව පාලනය කළ හියුගෝ චාවේස්ගේ මරණයත් මෙම ආර්ථික කඩා වැටීම ජාතික අර්බුදයක් බවට පත්කිරීමට සෘජුවම බලපෑවා.
5. ග්රීසිය
ග්රීක ආර්ථිකයේ බිඳ වැටීම ආරම්භ වූයේ 2009 වර්ෂය වන විට ලෝකය පුරා ඇතිව ගිය මහා උද්ධමනයේ අතුරු ප්රතිඵලයක් ලෙසයි. අවාසනාවන්ත ලෙස ග්රීසිය තුළ පැවැති අයහපත් මූල්යමය ප්රතිපත්ති රට අර්බුදය කරා ගෙන ගියා. කෙසේ නමුත් අද වන තෙක් මේ සඳහා සාර්ථක පිළිතුරක් ලැබී නැහැ. ඇතැම් අවස්ථාවල ජාත්යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් කොන්දේසි සඳහා ග්රීක ජනතාව ජනමත විචාරණවලදී සිය විරෝධය පළ කළා. එනිසා සති ගණනාවක් එරට බැංකු පවා වසා දැමීමට සිදුවුණා.
6. අයිවරි කෝස්ට්
1980 දශකය වන විට අයිවරිකෝස්ට් රාජ්යය මුහුණ දෙමින් සිටි නියං සහගත තත්ත්වය නිසා ඒ රටේ ප්රධාන අපනයන භෝග වන කොකෝවා සහ කෝපි වගා බිම් පාළු වුණා. එහි ප්රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම් අඩුවීම නිසා රජයට සිය ණය පැහැර හැරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මූල්‍ය සංවිධානවල උපදෙස් මත සිය ණය ප්රතිව්යුහගත කිරීම පමණක් නොව සිය අභ්යන්තර මූල්‍ය ක්රම ප්රතිපත්ති වෙනස් කිරීමට ඔවුන් කටයුතු කළා. විශේෂයෙන්ම පාඩු ලබන රාජ්ය ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා ඔවුන් වැඩි වශයෙන් යොමු වුණා. 1994 වන විට එම අර්බුදයෙන් ගොඩ ඒමට ඔවුන් සමත් වුණා.
7. ඉක්වදෝරය
1998 වර්ෂයේ දී ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස තම මුදල් ඒකකය ඇමරිකානු ඩොලරය බවට පත්කිරීමට ඉක්වදෝර රජය තීරණය කළා. අවසානයේදී එය හමුදා කුමන්ත්රණයක් දක්වා දුරදිග ගියා. එරට ධනවතුන් සහ මධ්යම පන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ සහ ස්පාඤ්ඤයේ පුරවැසියන් බවට පත්ව සිය රටත් හැර යෑමේ රැල්ලක් ඇති වුණා. කෙසේ නමුත් යහපත් මූල්යමය පරිපාලන තීරණ නිසා වර්තමානය වන විට ඉක්වදෝරය යම්තාක් දුරකට ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගෙන තිබෙනවා
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply