මිනීමස් කෑම ගැන ඉතිහාසයේ වාර්තා වන බිහිසුණු අවස්ථා

Cannibalism එහෙමත් නැත්නම් මිනීමස් කෑම ගැන නොයෙකුත් කතා ඈත අතීතයේ පටන්ම අපිට අහන්න ලැබෙනවා. අපි වැඩිපුර නොහිතුවට මේ ගැන මුල්ම සඳහන් අපිට අහන්න ලැබෙන්නෙ පුංචි කාලෙ කියවපු සුරංගනා කතා වලින්මයි. මතක ඇතිනෙ ඔයාලට මිනිස්සුන්ව කන්න හදන බාබයිගා වගේ යකින්නියො ආපු කතන්දර? ප්‍රබන්ධ වලින් එහාට ගිහින් බැලුවත් නොයෙකුත් ගෝත්‍ර වල මේ මිනීමස් කෑම චාරිත්‍රයක් සහ පුරුද්දක් හැටියට පැවතිලා තියනවා. මිනීමස් කන්න හුරුවුණු රත්නවල්ලී නම් කුමරියක් ගැන අපේ ඉතිහාස කතා වලත් කියවෙනවානෙ.

ඈත අතීතයේ ඉඳන් බොහොම මෑත කාලෙ දක්වා මේ විදිහේ මිනී මස් අනුභව කිරීමේ සිදුවීම් වෙනස් ආකාර වලින් වාර්තා වෙලා තියනවා. මේ ගෙන එන්නේ ඉන් කිහිපයක්.

අවවාදයයි! – සංවේදී පුද්ගලයන්ව අපහසුතාවයට පත්විය හැකි විස්තර මේ ලිපියේ අඩංගු විය හැකි බැවින් ඒ ගැන සැලකිළිමත් වෙන්න.

 

1. මිනී මස් කෑ දාම මිනීමරුවන්

Image Source – instinctmagazine.com

දාම මිනීමරුවන් කියන්නේ කොහොමත් භයානක පිරිසක්නේ. මේ භයානකකම තවත් කීප ගුණයකින් වැඩි වෙනවා මේ අය මිනීමස් කන්නන් බවටත් පත්වුණොත්. ඉතිහාසය හොයලා කරලා බැලුවහම මිනීමස් කාපු අති භයානක දාම මිනීමරුවො කීප දෙනෙක්ම අපිට හමුවෙනවා. ඒ අතරින් කුප්‍රකටම මිනීමරුවා තමයි මිල්වෝකි කැනිබල් නමින් හඳුන්වපු ජෙෆ්රි ඩාමර්. ඩාමර් තමන් කරපු සමහර මිනීමැරුම් වලදී ඒ් මළසිරුරු වල කොටස් ආහාරයට අරගෙන තියනවා. එහෙම කරහම මියගිය අය තමන්ගේ කොටසක් විදිහට දැනෙනවා කියලයි ඩාමර් කියලා තියෙන්නේ. ඒ් වගේම තවත් හිත්පිත් නැති මිනීමස් කන දාම මිනීමරුවෙක් තමයි ඇල්බර්ට් ෆිෂ් කියන්නෙ. ග්‍රේස් නැමැති 8 හැවිරිදි දැරියක්ව ඝාතනය කරන ෆිෂ් සතියක විතර කාලයක් පුරාවට ඇගේ කොටස් ආහාරයට ගන්නවා. ඔහු එතනින් නොනැවතී ඒ දැරියගේ මවට ලියුමකුත් ලියනවා ග්‍රේස්ව මරා දැම්ම හැටි සහ ආහාරයට ගත්ත හැටි ගැන පුළුල් විස්තර සහිතව. මේ දෙන්නට අමතරව සැබෑ ජීවිතයේ හැනිබල් ලෙක්ටර් හැටියට නම් දරාපු රොබර්ට් මෝඩ්ස්ලි මිනීමස් කෑම නිසා අදටත් දශක ගණනාවක් තිස්සේ හුදෙකලා සිරකුටියක සිරගතව ඉන්නවා.

 

2. මිනී මස් ඉල්ලා දැන්වීමක් පළකළ ආර්මින් මේවස්

Image Source – thestar.com

විශ්වාස කරන්නටත් අමාරු විදිහේ මේ සිද්ධිය වාර්තා වෙන්නේ 2001 අවුරුද්දෙදියි. ආර්මින් මේවස් නැමැති පරිගණක කාර්මිකයෙක් The Cannibal Cafe කියන (මේක Cannibal ආශාවන් සහිත අය ඒකතුවෙන වෙබ් අඩවියක්) වෙබ් අඩවියේ එක් භයානක දැන්වීමක් පළ කරනවා. ඒ දැන්වීම මගින් ඔහු කියන්නේ මරාදැමීමට සහ ආහාරයට ගැනීම පිණිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කෙනෙක්ව හොයනවා කියලයි. මේ දැන්වීමට ප්‍රතිචාරයක් දක්වනවා ආර්මන්ඩෝ බ්‍රැන්ඩෙස් නම් ඉංජිනේරුවරයෙක්. ඉන් පස්සේ සිද්ධ වෙන්නෙ සංවේදීකම ලාවට වත් ගෑවිලා තියන කෙනෙක්ට අහන් ඉන්නත් අමාරු කතාවක්. බ්‍රැන්ඩෙස්ගේ ලිංගේන්ද්‍රිය ඔහුගේ කැමැත්ත ඇතුව ශරීරයෙන් වෙන් කරන ආර්මින් මේවස්, බ්‍රැන්ඩෙසුත් එක්ක එකතු වෙලා එය ආහාරයට ගන්න උත්සාහ කරනවා. මේ සියල්ල වීඩියෝගත කරන්නටත් ආර්මින් මේවස් කටයුතු කරනවා. අන්තිමේදි පැය හතරකුත් පුරාවට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අමානුෂික සහ පිළිකුල් සහගත සිදුවීම් පෙළක් ඔහු රූගත කරනවා. ශරීරය විච්ඡේදනය කිරීම හේතුවෙන් ටික වේලාවකින්ම බ්‍රැන්ඩස් මරු තුරුළට යනවා. ආර්මින් මේවස් කාලයක් තිස්සේ බ්‍රැන්ඩෙස්ගේ කොටස් අනුභව කරනවා. පස්සෙ කාලෙකදි මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වෙන මේවස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා. මේ වෙද්දි ඔහු නිර්මාංශික ජීවිතේකට හුරුවෙලා කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.

 

3. රත්නවල්ලී කුමරියගේ කතාව

Image Source – wasithaya.blogspot.com

අපි හැඳින්වීමෙදිත් සඳහන් කරපු මේ කතාව ගැන ඓතිහාසික සාක්ෂි නැතත් ජනප්‍රවාදයෙන් පැවත එන ප්‍රකට කතාවක් මේක. ඒ තමයි රොඩී කුලයේ ආරම්භයටත් මූලික වුණා යැයි කියන රත්නවල්ලී කුමරියගෙ කතාව. රත්නවල්ලී කුමරිය මහා පැරකුම්බා රජුගේ දියණියය කියලත් සමහරු විශ්වාස කරනවා. කොහොමහරි කතාවේ හැටියට රජ වාසලට මස් සපයන පුද්ගලයාට එක පෝය දවසක දඩ මස් සපයන්න බැරි වෙනවලු. ඉතින් රාජ උදහසට ලක්වේවි කියන බයෙන් මේ මනුස්සයා කරන්නෙ සුසාන භූමියකට ගිහින් අලුතින් වළදාපු මළසිරුරක් ගොඩ අරන් දඩමස් විදිහට සකස් කරලා දෙන එකලු. මේ මස් වල රසයෙන් රජුත්, රත්නවල්ලී කුමරියත් පිනාගිහින් දිගින් දිගටම මේ මසම ඉල්ලනවලු. පස්සෙ කාලෙක රත්නවල්ලී කුමරිය තමන් මේ ආහාරයට ගන්නේ මිනීමස් බව දැනගත්තත් අධික ගිජුකම නිසා ඒ බව පිය රජතුමාගෙන් සඟවනවලු. අන්තිමේදි රජතුමාට මේ බව දැනගන්නට ලැබිලා රත්නවල්ලී කුමරියවත්, මාලිගාවට මස් සැපයූ පුද්ගලයාවත් පිටුවහල් කරනවා. ඒ විදිහට රජවාසලෙන් පිටමං කළ මේ දෙන්නාගෙන් රොඩී කුලය ඇරඹුනා කියල පුරාකතාවක් තියනවා.

 

4. උරුගුවේ Flight 571 ගුවන් අනතුර

Image Source – reddit.com

මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවෙන්නෙ 1972 අවුරුද්දෙදි. උරුගුවේහි රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ හිතවතුන් ඇතුළු මගීන් 45 දෙනෙක් ගමන් ගත්ත මේ 571 යානය ඇන්ඩීස් කඳු පන්තියේ හුදෙකලා ඉසවුවකදි අනතුරට ලක්වෙනව. අනතුරෙන් සෑහෙන පිරිසක් එතනම මියයනවා. තවත් පිරිසක් දරුණු විදිහට තුවාල ලබල පසුව මියයනව. මේ අයව සොයාගැනීමේ මෙහෙයුමුත් අසාර්ථක වෙද්දි අධික ශීතලත්, කුසගින්නත් නිසා අතරමංවූ මගීන් පිරිස අන්ත අසරණ වෙනවා. තමන්ගේ හිතවතුන් එකින් එක මියයද්දී ජීවත්වීම උදෙසා එක අසීරු තීරණයක් ගන්න මේ අයට සිද්ධ වෙනවා. ඒ් තමයි මරණයට පත්වෙන අයව ආහාරයට අරගෙන දිවි රැකගන්න එක. හැමෝම මේ අදහසට අකමැත්තෙන් වුනත් එකඟ වෙනවා. අන්තිමේදි මාස දෙකක විතර කාලයකට පස්සේ මේ පිරිසව ගලවාගන්න තෙක් මිනීමස් බුදිමින් අසීරුවෙන් පණ ගැටගහගෙන ඉන්න මේ අයගෙන් 16 දෙනෙක්ට හැකියාව ලැබෙනවා. මේ සංවේදී සිදුවීම පාදක කරගෙන Alive නමින් චිත්‍රපටයකුත් 1993දි තිරගත වෙනව.

 

5. මිනී මස් හැදූ කුකරි ෂෝ එක

Image Source – tvtime.com

2011 තරම් මෑත අවධියේදි සිදුවුණ මේ සිද්ධිය වාර්තා වුණේ නෙදර්ලන්තයෙන්. Proefkonijnen කියන්නේ ඒ රටේ විකාශය වෙන ඉවුම් පිහුම් වැඩසටහනක්. මේකෙ නිවේදකයො දෙන්නා වෙන්නෙ ඩෙනිස් ස්ටෝර්ම් සහ වැලරියෝ සීනෝ කියන දෙන්නා. මේ දෙන්නා එක වැඩසටහනකදි කවුරුත් නොහිතන විදිහේ වැඩක් කරන්න පෙළඹෙනව. ඒ තමයි සැත්කමක් මගින් ඉවත් කරන ලද තම තමන්ගේ ශරීර කොටස් දෙකක් බැදලා ආහාරයට ගන්න එක. උදර සහ පසුපස ප්‍රදේශවලින් අරගත්තු මේ මස් කැබලි බැදලා ආහාරයට ගන්න බවක් පෙන්වන මේ වැඩසටහනේ ට්‍රේලර් එකක් විකාශය වීමත් සමගම සමහර ප්‍රේක්ෂකයෝ තැති ගන්නවා. ප්‍රබල විරෝධතාවයකුත් මේකට එල්ල වෙනවා. මේ අප්‍රසන්න සිදුවීම් ඇතුළත් වීඩියෝවකුත් අන්තර්ජාලයේ දැකගන්න හැකියාව තියනවා.

 

6. මිනීමස් කෑ පාකිස්ථානු සහෝදරයෝ

Image Source – bizarrepedia.com

මිනීමස් කෑම කියලා වරදක් හෝ ඊට දඬුවමක් පාකිස්ථානයේ නීති පොත්වල ලියැවිලා නැහැ. එහෙම අවධියක තමයි පාකිස්ථානයෙන් මිනීමස් ලෝලී සහෝදරයන් දෙන්නෙක්ව හමුවන්නේ. 2011 අවුරුද්දේ තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ. මොහෙමඩ් ෆර්මාන් අලී සහ මොහමඩ් අරීෆ් අලි කියන මේ සහෝදරයන් දෙදෙනා මිනී වළවල් වලින් මිනී ගොඩ ගෙන ආහාරයට ගන්න පුරුදු වෙලා හිටපු දෙන්නෙක්. 2011 වර්ෂයේදි භූමදාන කරපු කාන්තා මළසිරුරක්  මිනී වලෙන් ඉවත් කරලා තියෙන බව දැනගන්න ඇගේ ඥාතීන් මේ බව පොලීසියට දන්වනවා. පොලීසිය මේ ගැන කරපු විමර්ෂණය කෙළවර වෙන්නේ මිනී මස් උයමින් හිටපු ෆර්මාන් සහ අරීෆ් අලීව අත්අඩංගුවට පත්වීමෙන්. වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී තමන් මිනී 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගෙන ආහාරයට ගත් බවට මේ සහෝදරවරු පාපොච්ඡාරණය කරනවා. මේ සඳහා ඔවුන්ට වසර 2ක සිර දඬුවම් නියම වෙනවා. කොහොම වෙතත් නිදහස ලබා පැමිණීමෙන් පස්සෙත් මේ දෙදෙනා තමන්ගේ මිනීමස් ලෝලී බවින් මිදෙන්නේ නැහැ. 2014දී නැවතත් දෙවැනි වතාවට මිනීමස් කෑම හසුවීම හේතුවෙන් ඔවුන්ට වසර 12ක සිර දඬුවමක් නියම වෙනවා.

 

7. තමන්ගේ ලිංගේන්ද්‍රය පිස පිළිගැන්වූ ජපන් තරුණයා

Image Source – sott.net

මාඕ සුගියාමා කියන්නේ Asexual පුද්ගලයෙක්. තවත් තේරුම් කරනවානම් ඔහු ලිංගික හැඟීම් හෝ ආකර්ෂණයන්ගෙන් තොර පුද්ගලයෙක්. 22 හැවිරිදි වියේ සිටිද්දී සුගියාමා අමුතුම වැඩක් කරන්න පෙළඹෙනව. ඒ් තමයි තමන් ලිංගේන්ද්‍රිය සැත්කමකින් ඉවත්කොට, එය පසුව ආහාරයක් හැටියට පිසින්න. මුලදී ඔහු අදහස් කරන්නේ තමන් විසින්ම එය ආහාරයට ගන්නයි. ඒත් පස්සෙ ඔහු තීරණය කරනවා එය මුදලට විකුණන්න. ඊට පස්සේ සුගියාමා කරන්නේ තමන්ගේ පිසින ලද ලිඟුව ආහාරයට ගන්න කැමති කෙනෙක්ට එය පවුම් 800කට ලබාගන්න හැකිය කියල ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එක. පස්සෙ කොහොමින් හරි 5 දෙනෙක්ට එකතු වෙලා ඒ මුදලට එය මිලදී ගන්න සුගියාමා අවස්ථාව ලබා දෙනවා. හතු සහ පාස්ලි දමා පිසින ලද සුගියාමාගේ ලිංගේන්ද්‍රිය ආහාරයට ගැනීමේ උත්සවයට 70 පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා.

Cover Image Source – en.wikipedia.org/ youtube.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *