අපි බලන සමහර චිත්‍රපටි තියනවා ටිකක් විතර ඔලුව කල්පනා කරල, ප්‍රහේලිකා විසඳමින් තමයි ඒවා බලන්න ඕනෙ. ඔය ගොඩක් ප්ලොට් ට්විස්ට් සහිත කුතුහලාත්මක චිත්‍රපට වැටෙන්නේ ඒ වර්ගයටයි. හැබැයි අපි මේ ලිපියෙන් කියන්නෙ ඒ විදිහෙ චිත්‍රපට ගැන නම් නෙමෙයි. අපි කියන්න යන්නේ ඊටත් වඩා තේරුම් ගන්න අමාරු, සමහර විට දෙතුන් වතාවක් බලලවත් සියට සීයක් තේරුම් ගන්න අමාරු විදිහේ චිත්‍රපට සෙට් එකක් ගැනයි. මේ චිත්‍රපට වලින් කීපයක් හරි බලපු මුල් පාරින්ම තේරුම් ගත්තානම් ඔයා සිරා වැඩ්ඩෙක් තමයි. ඒ වගේම මේ ෆිල්ම් සෙට් එකෙන් භාගයක් වත් බලල තියනවනම් ඔයා නියම සිනමා ලෝලියෙක් කියලත් අපි කියනවා.
1. Lost Highway (1997)

Source – behance.net
ඩේවිඩ් ලින්ච් ගේ නම සඳහන් කරන්නේ නැතිව තේරුම් ගන්න අමාරු ෆිල්ම් ලිස්ට් එකක් හදන එක කරන්නම බැරි වැඩක්. ඒ තරම් අමුතු විදිහේ චිත්‍රපට හදන අධ්‍යක්ෂකවරයෙක් තමයි ලින්ච්. තමන්ගෙ චිත්‍රපට ඇතුළේ මායාව සහ යථාර්තය පටලවල දැවැන්ත ප්රහේලිකාවන් මවන්න ලින්ච් සමත්. ලොස්ට් හයිවේ චිත්‍රපටයෙත් ඒ ගති ලක්ෂණය උපරිමයට තියනවා. එක්තරා යුවලකට අභිරහස් විදිහට තමන්වත්, තමන්ගෙ නිවස ඇතුළතත් වීඩියෝ කරන ලද ටේප්ස් ලැබෙන්න පටන් ගන්නවා. නොබෝ දිනකින් මේ පවුලේ බිරිඳව මරා දැමීමට වරදකරු කරලා සැමියාව සිරගත කරනවා. නමුත් හිරේ දාන සැමියා නෙමෙයි පහුවදා හිර කූඩුව ඇතුළෙ ඉන්නෙ, වෙනත් පුද්ගලයෙක්…
මේ කිවුවෙ කතාවෙන් බොහොම ටිකක් විතරයි. තව ඔලුව අවුල් වෙලා යන විදිහේ සිදුවීම් ගොඩකින් මේ චිත්‍රපටය පිරිලයි තියෙන්නේ.
ආ තව එකක්… තේරුම් ගන්න අමාරු චිත්‍රපට ගැන කතා කරද්දි ලින්ච් ගේ චිත්‍රපටම ලැයිස්තුවට පුරවන්න බැරි නිසා තමයි අපි ලොස්ට් හයිවේ පමණක් තෝරාගත්තේ. මීට අමතරව ඔහුගේ Mulholland Drive, Inland Empire, Eraserhead වගේ චිත්‍රපටත් තේරුම් ගන්න ඉතාම අපහසු චිත්‍රපට තමයි.
2. Donnie Darko (2001)

Source – filmonpaper.com
ඩොනී ඩාර්කෝ කියන්නේ එක පාරක් බැලුවට කිසිසේත්ම තේරුම් ගන්න බැරි, නරඹන්නන්ව අතරමං කරල දාන විදිහේ චිත්‍රපටයක්. නින්දෙන් ඇවිදින්න හුරුවෙලා ඉන්න ඩොනී නැමැති තරුණයෙකුත්. ඔහුට හමුවෙන, ලෝක විනාශය ගැන කියන ෆ්රෑන්ක් නැමැති අද්භූත හාවෙකුත් එක්ක ඩොනී ඩාර්කෝ දිග හැරෙන්නෙ ප්‍රේක්ෂකයා අන්දමන්ද කරමින්. චිත්‍රපටය පුරා සිද්ධ වෙන ඩොනීගේ අමුතු හැසිරීමට හේතුව හොයාගන්න නම් කාලය සහ විශ්වය ගැන වෙනමම හැදෑරීමක් කරලා, නැවත ඩොනී ඩාර්කෝ චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා. චිත්‍රපටය බලලා ඉවර වෙලා, මේ ලිපිය කියෙවුවොත් ඊළඟ නැරඹීම වඩාත් ලේසි වෙයි.
3. Vanilla Sky (2001)

Source – pinterest.com
ටොම් කෲස් ප්‍රධාන චරිතය රඟපාපු වැනිලා ස්කයි චිත්‍රපටය කියන්නෙත් පැටළිලි ලෝකයක්. මේ චිත්‍රපටය හැදෙන්නේ 1997දි තිරගත කරපු Abre los ojos නම් ස්පාඤ්ඤ චිත්‍රපටය ඇසුරිනුයි. මේකෙ ටොම් කෲස් රඟපාන්නෙ මිනීමැරුම් චෝදනාවකට සිරගතව ඉන්න ව්‍යාපාරිකයෙක්ගේ චරිතයක්. හදිසි අනතුරක් නිසා මුහුණ විරූපී වෙලා ඉන්න මේ ව්‍යාපාරිකයා ප්‍රොස්තෙටික් වෙස් මුහුණක් පැළඳගෙනයි ඉන්නේ. මේ පුද්ගලයා මනෝ වෛද්‍යවරයෙක් එක්ක තමන්ගේ අතීත ජීවිතය ගැන කියද්දී තමයි චිත්‍රපටය අවුල් ජාලයක් වෙන්න පටන්ගන්නේ. මේ ව්‍යාපාරිකයා මානසික රෝගයකින් පෙළෙන්නෙක්ද? එහෙමත් නැතිනම් ඔහුට මුහුණ දෙන්නට වුණ සිදුවීම් පැහැදිළි කරන්න වෙනත් ක්‍රමයක් තියනවද? ඒ ගැන දැනගන්න නම් අමාරුවෙන් හරි බොහොම අවධානයෙන් යුතුව වැනිලා ස්කයි නරඹන්න වෙනවා.
4. No Smoking (2007)

Source – youtube.com
මේ කියන්න යන්නේ අපේ අල්ලපු රටේ චිත්‍රපටයක් වන නෝ ස්මෝකින් ගැන. මේකෙ අධ්‍යක්ෂකවරයා තමයි අනුරාග් කාශ්‍යප්. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඒබ්‍රහම් රඟපාන්නේ දුම් පානයට දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච K නැමැති ව්‍යාපාරිකයෙක්ගේ චරිතයක්. මේ දුම්බීමේ ඇබ්බැහිය නිසා K ගේ පවුල් ජීවිතේත් කඩා ඉහිරවෙන තැනට වැඩ සැලැස්වෙද්දි ඔහු තීරණය කරනවා දුම් බීමේ ඇබ්බැහියෙන් මිනිස්සුන්ව ගලවා ගන්නා ප්රයෝග්ශාලා නැමැති ආයතනයක් හොයාගෙන යන්න. එතැනදී දුම් බීමේ ඇබ්බැහියෙන් K ව ගලවගන්න ප්‍රතිකාර පටන්ගන්නවා. ඒත් එක්කම තමයි චිත්‍රපටය තේරුම් ගැනීම එන්න එන්නම දුෂ්කර වෙන්න පටන් ගන්නේ.
තේරුම් ගන්න නම් අනිවාර්යයෙන් එක වරකට වඩා නැරඹිය යුතු, බොලිවුඩයෙන් බිහිවුණ අමුතුම වර්ගයේ චිත්‍රපටයක් හැටියට නෝ ස්මෝකින් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
5. Memento (2000)

Source – pastposters.com
අමීර් ඛාන්ගේ ගජිණි චිත්‍රපටය බලපු අය සමහරු හිතනවා ඇති ඒකෙ ඔරිජිනල් චිත්‍රපටය වෙන නෝලන්ගෙ මෙමෙන්ටෝ එකත් ඒ කතාවමය කියලා. එහෙම හිතන් ඉන්නවනම් ඔයාලට ලොකු වැරදීමක්. මොකද ගජිණි එක වගේ ආදර කතාවක් මූලික කරගත්ත ඇක්ෂන් චිත්‍රපටයක් නෙමෙයි මෙමෙන්ටෝ කියන්නේ, මෙමෙන්ටෝ එක දාන්න පුළුවන් සයිකොලොජිකල් ත්‍රිලර් කැටගරියටයි. තමන්ගේ බිරිඳව දූෂණය කොට මරාදමපු මිනීමරුවන් සොයාගෙන යන, ඇම්නීසියා තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක්ම තමයි මේකෙ ප්‍රධාන චරිතයත්. හැබැයි මේකෙ කතාව පෙන්වන ආකාරය සහ ඒකෙ ට්විස්ට් ටික නරඹන්නන්ව පඹ ගාලක අතරමං කරන්න සමත්. ඒ නිසා මෙතෙක් නරඹලා නැතිනම් අනිවාර්යයෙන් මෙමෙන්ටෝ ඔබේ ලැයිස්තුවට එකතු කරගන්න අමතක කරන්න එපා.
6. The Fountain (2006)

Source – merginghearts.org
ඩැරන් අරොනෝෆ්ස්කිගේ ෆෞන්ටන් චිත්‍රපටය කියන්නේ තේරුම් ගන්න තියන අසීරු බව නිසාම නැරඹීම අපහසු කරවන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ විවිධ කාල වකවානුවල සිද්ධ වෙන කතා තුනක් පෙන්නනවා. වර්තමාන, අනාගත සහ අතීත කාල යන තුනේදී සිද්ධ වෙන මේ කතා තුනේදී තාරුණ්‍යයේ උල්පතක් සොයායන තෝමස් නැමැත්තෙක්වත්, තමන්ගේ බිරිඳගේ පිළිකාව සුව කරගන්නට උත්සාහ කරන ටොම් නැමැති විද්‍යාඥයෙක්වත්, ටොමී නැමැති අනාගත ගගනගාමියෙක්වත් පෙන්නනවා. මේ කතා තුනම එකිනෙක හා සම්බන්ධධ නැද්ද? එහෙමත් නැත්නම් පැටලි පැටලී ගලායන මේ කතා තුනෙන් දෙන්නේ වෙනත් සැඟවුණු පණිවුඩයක්ද යන්න තේරුම් ගන්න නම් ඔබට ෆෞන්ටන් චිත්‍රපටය එක් වරකට වඩා නරඹන්න සිද්ධ වේවි.
7. Inception (2010)

Source – gctnetwork.com
මෙමෙන්ටෝ හදපු ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ තවත් සංකීර්ණම චිත්‍රපටයක් තමයි ඉන්සෙප්ෂන්. මේ චිත්‍රපටයනම් ලංකාවෙත් වැඩි දෙනෙක් නරඹලා ඇතුවාට සැකයක් නැහැ. සිහින හරහා කෙනෙක්ගෙ මනසට ඇතුළත් වෙලා ඔවුන් සතු තොරතුරු හොරකම් කරන පිරිසක් වටායි මේ කතාව ගෙතෙන්නේ. හැමදාම අනුන්ගේ මනසට රිංගලා රහස් හොරකම් කරන මේ අයට පැවරෙන අලුත්ම රාජකාරිය වෙනස් එකක්. ඒක තමයි කෙනෙක්ගේ මනසට යම් අදහසක් හොරෙන් ඇතුළත් කරන එක. කොබ්, ආතර් ඇතුළු පිරිස ෆිෂර් නැමැති පුද්ගලයාගේ මනසට ඇතුළු වෙන්න සටන් කරන්න පටන් ගනිද්දි, ඉන්සෙප්ෂන් නරඹන ප්‍රේක්ෂකයෝ සිහින සහ මායාවන්ගේ නොයෙකුත් ස්ථරයන් අතරේ අතරමං වෙලා යන තරමට කතාව සංකීර්ණ වෙන්න පටන් ගන්නවා.
8. Naked Lunch (1991)

Source – filmonpaper.com
මොනවයින් මොනවා වෙනවද කියල හිතාගන්න බැරි, අරුම පුදුම, විකාර රූපී කතා වස්තුවක් සහිත චිත්‍රපටයක් තමයි ක්‍රොනන්බර්ග් ගේ නේකඩ් ලන්ච් කියන්නේ. මේ චිත්‍රපටය නවකතාවක් ඇසුරින් සිනමාවට නගන ලද එකක්. තමන්ගෙ බිරිඳව මරාදමන බිල් නැමැති පුද්ගලයෙක්ට අත් විඳින්න වෙන අද්භූත අත්දැකීම් රැසක් එක්ක තමයි නේකඩ් ලන්ච් චිත්‍රපටය ගලාගෙන යන්නෙ. කෘමියෙක්ගෙ හැඩේට නිර්මාණය වෙච්ච, කතා කරන ටයිප් රයිටර, ඒලියන්ස්ලා එක්ක සිද්ධ වෙන හැලහැප්පිලි සමගින් මේ චිත්‍රපටය නරඹද්දි මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා හිතෙන අවස්ථා බොහොමයක් එනවා. කෙනෙක්ට කම්මැලි හිතෙන්න වුණත් පුළුවන් මේ චිත්‍රපටය නරඹගෙන යද්දි. එහෙම වුණත් නේකඩ් ලන්ච් කියන්නෙත් සිනමා රසිකයෙක් අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්.
9. Enemy (2013)

Source – shoton35.com
එනමි චිත්‍රපටය ඇරඹෙන්නේ සහ අවසන් වෙන්නේ මකුළුවන් සම්බන්ධ අමුතුම ජවනිකා දෙකකින්. චිත්‍රපටය බලල අවසන් වුනාට පස්සේ හිතෙන්නත් පුළුවන් මොකක්ද මේ බලපු එකේ තේරුම කියලා. එක වගේ පෙනුම තියෙන ඉතිහාස ගුරුවරයෙක් සහ නළුවෙක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතාව. මේ දෙන්නාගෙ පෞද්ගලික ජීවිත වල සිද්ධ වෙන අවුල් වියවුල් සමගින් චිත්‍රපටය ඉදිරියට යන්නේ බොහෝ අභිරහස් ඉතිරි කරමින්. එක වගේ පෙනුම තියන මේ පුද්ගලයන් දෙන්නා නිවුන් සොයුරන්ද? නැතිනම් එකම පුද්ගලයාගෙ මනස වැඩ කරන ආකාරයද මේ පෙන්නන්නේ කියන එකට සමහරවිට චිත්‍රපටය නිමවෙන තුරුම ඔබට උත්තර නොලැබේවි. කොහොම උනත් මේ චිත්‍රපටයේ දෙබස් සහ පසුබිම් දර්ශන වලට වැඩි අවධානයක් යොමු කරමින් බැලුවොත් චිත්‍රපටය යම් පමණකට හෝ තේරුම් ගන්නට උදවුවකුත් ලැබේවි.
10. Primer (2004)

Source – deviantart.com
මිතුරන් දෙදෙනෙක් කරමින් ඉන්න පරීක්ෂණයක් අතරතුරදී අහම්බෙන් කාලය හරහා යාමට හැකි ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේ හරහා ගමන් කරමින් නොයෙකුත් දේ අත්හදා බලන්න මේ අය කටයුතු කරද්දී තත්ත්වය එන්න එන්න අවුල් සහගත වෙනවා…
අපේ මේ ලැයිස්තුවේ ඇතුළත් චිත්‍රපට අතරින් තේරුම් ගන්න අමාරුම චිත්‍රපටය ප්‍රයිමර් වෙන්න බොහෝ විට ඉඩ තියනවා. ටයිම් ට්‍රැවලිං පැත්ත අල්ලපු විද්‍යා ප්‍රබන්ධ කතාවක් වෙන මේ චිත්‍රපටයේ ලොකුවට වියදම් කරල කරපු සෝබන දර්ශන නැහැ. එහෙම වුණත් ඉතාම බුද්ධිමත් කතා වස්තුවකින් සමන්විත චිත්‍රපටයක්. එක දර්ශන වාරයකින් මේ චිත්‍රපටය තේරුම් ගන්නට නම් කොහෙත්ම ඉඩක් නොලැබේවි.
Cover Image Source – Lifie Graphics
Leave a Reply