මේක ටිකක් විතර අමුතු කතාවක්. අපි මේ නම් කරන භාණ්ඩ මුලින්ම නිෂ්පාදනය වෙන්නෙ වෙනත් අරමුණු වෙනුවෙන්. පස්සෙ කාලෙක පෙර අරමුණුවලින් මිදිලා අලුත් වෙළඳ අරමුණු සහ උපයෝගී අරමුණු ඒවාට හිමිවෙනවා. මේ කතාව එවැනි වූ ප්‍රසිද්ධ නිෂ්පාදන කිහිපයක් සම්බන්ධවයි. කොකාකෝලා පළමුවෙන්ම නිෂ්පාදනය කළේ කුමක් වෙනුවෙන්ද කියා ඔබ දන්නවාද?
1. ලිස්ටරීන්
ඩ්‍රින්ක් එකක් දාලා යන උදවිය වාහනේට නැග්ග ගමන් ලිස්ටරීන් ටිකකින් කට හෝදගන්නෙ වයිෆ්ට බයේ විතරක්ම නෙමෙයි. ඒ වගේම මිනිසුන් මුණගැසෙන රැකියා කරන බොහෝදෙනෙකුගේ උදෑසන පුරුද්දක් වන ලිස්ටරීන් මගින් මුව කැලතීම ගැන මේ සටහනෙන් පස්සෙ දෙවරක් හිතන්නට ඉඩ තියෙන තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ ලිස්ටරීන් මුලින්ම වෙළඳපොලට එන්නෙ පොළොව පිරිසුදු කරන ද්‍රවයක් විදියට නිසායි. ඒ වගේම නොයෙකුත් ශල්‍යකර්මවලදීත් විෂබීජ නාශකයක් ලෙසට මෙය භාවිතා කර තිබෙනවා. අනෙක් ප්‍රයෝජනය වී ඇත්තේ සමාජ රෝගයක් වන ගොනෝරියාව මැඩලීමට භාවිතා කිරීමයි. කොහොමවුනත් මේ නිල් පැහැ දියරය අලෙවිය අතින් සාර්ථකත්වය ලබන්නේ මුවේ දුගඳ නසන ක්‍රමවේදයක් ලෙසින් කරළියට ආ පසුවයි.
2. බබ්ල්රැප්
මේ කියන්න යන්නෙනං පුංචි කාලෙ අපි ආසම කරපු දෙයක් ගැන. ඒ තමයි බබ්ල් රැප්. කොච්චර ආසයිද කියනවනං ගෙදරට අලුතෙන් බඩුවක් අරගන්න එකේ වටිනම දේ වෙන්නෙ ඒ එක්ක ඒ අදාළ භාණ්ඩයේ ආරක්ෂාවට ඔතලා එන බබ්ල්රැප් එක අරගන්න එක තමයි. ඔය බෝල ටික පුපුරවලා ඉවර වෙනකං නින්ද නොයන අපි තාමත් නොදන්න දේ තමයි බබ්ල් රැප් මුලින්ම යොදාගැනෙන්නෙ භාණ්ඩ ආරක්ෂාකාරීව ප්‍රවාහනයට නෙමෙයි කියන එක. බබ්ල්රැප් මුලින්ම එන්නෙ බිත්තියට අලවන වෝල්පේපර් එකක් විදියට. 1959දි IBM සමාගම සිය පරිගණකය ආරක්ෂා සහිතව ප්‍රවාහනයට බබ්ල්රැප් පාවිච්චි කරන තෙක්ම එය වෝල්පේපර් එකක් විතරයි.
3. කොකාකෝලා
ලෝකයේ ප්‍රසිද්ධම පානය කියල බැලූ බැල්මටම කියන්න පුළුවන්, ලෝකයේ සෑම ප්‍රකට ඉසවුවකම පාහේ පෙනෙන්නට තියෙන දෙයක් තමයි කොකාකෝලා කියන්නෙ. මෝෆීන් කියන මත්ද්‍රව්‍යයට වෙන ඇබ්බැහිය අවම කිරීම තමයි කොකාකෝලාවල මුල් පරමාර්ථය වෙන්නෙ. පසුකාලීනව ලෝකය පුරා ප්‍රචලිත බීම වර්ගයක් වගේම මත්පැන් සමග හරිහරියට මුසු කරන ද්‍රාවණයක් වුණත්, මුලින්ම එය භාවිතාවෙන්නෙ මත් ඇබ්බැහියක් නවත්වන්න කියල කිවුවම පොඩ්ඩක් ගැස්සිලා ගියා නේද?
4. ව්‍යාඝ්‍රා
මේ වෙද්දි නම් ව්‍යාඝ්‍රා කියන්නෙ කවුරුත් නොදන්න දෙයක් නෙමෙයි. ලිංගිකව එක්වීමේදී සංසර්ග කටයුත්ත නොනවත්වා දිගුකාලයක් පුරාවට සපුරන්නට භාවිතා කරන ඖෂධයක් විදියට ව්‍යාඝ්‍රා හඳුන්වන්න පුළුවන්. හෘද රෝගයකට සහ අධි රුධිර පීඩනයට ඔසුවක් ලෙසින් මුලින්ම නිපදවන ව්‍යාඝ්‍රා පෙත්තේ ප්‍රධානම අතුරු ඵලයක් ඉස්මතුවීමත් සමග එය භාවිතා කරන අවශ්‍යතාවය වෙනස් වූ බවක් තමයි පෙනෙන්නට තියෙන්නෙ.
5. සෙවන්අප්
7Up කියන්නෙත් ලෝකය පුරා ප්‍රසිද්ධ පානයක්. Bib-Label Lithiated Lemon-Lime Soda කියලයි සෙවන්අප් කරලියට එන්නෙ. ලිතියම් කියන්නෙ බයිපෝලාර් ඩිසෝඩර් නොහොත් මූඩ් ශිෆ්ට් වෙන අසනීපයට දෙන බෙහෙතක්. ඉතිං ලිතියම් අඩංගු මේ පානය මුලින්ම භාවිතා වෙන්නෙ මූඩ් එක වෙනස් නොවී ස්ථාවරව පවත්වාගන්න උදවු වෙන බීමක් විදියට තමයි. පස්සෙනෙ කොල්ලො හන්දියෙ ඉඳන් බොන බීමක් විදියට රෙජිස්ටර් වෙන්නෙ. 1950 වෙනකංම සෙවන්අප්වල ලිතියම් තිබුණු බවයි කියන්නෙ.
6. ෆ්‍රිස්බී
ටික කාලයකට පෙර ෆ්‍රිස්බී කියන්නෙ විනෝදාංශයක් විදියට ඈතට විසි කරලා ඒ යන රටාව දිහා ආසාවෙන් බලාඉන්න පුරුදු වෙලා හිටපු අතීතකාමී සෙල්ලම් බඩුවක්. දැන් ෆ්‍රිස්බී කියන්නෙ ලෝක ප්‍රසිද්ධ ස්පෝට් එකක්. නමුත් 19 වැනි සියවසේදී සුප්‍රසිද්ධ ඇපල් පයිස් ඇතුළු පයිස් වර්ග බෙදාහරින්න යොදාගන්න තැටියක් විදියට තමයි මේක නිපදවන්නෙ. පස්සෙයි මිනිස්සු සෙල්ලං කරන්න පටන්ගන්නෙ.
7. චේන්සෝ
ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ගස් කොටං ඉරන අවස්ථාවක අනිවාර්යයෙන් භාවිතා වන දෙයක්. හැබැයි ඉතිං අපි චේන්සෝ තව දැකපු අවස්ථාවක් තියෙනවා. ඒ ඔය ලේ පිරිච්ච ෆිල්ම්වල අනිවා අංගයක් විදියටයි. කොහොමවුනත් චේන්සෝවල මුල් භාවිතයත් එයමයි. ඒ කියන්නෙ සැත්කම්වලදි අස්ථි වෙන් කරන්න තමයි චේන් සෝ භාවිතා වෙලා තියෙන්නෙ.
Cover Image Source – youtube.com
Leave a Reply