අපි හින්දි ෆිලුමක් ගැන හිතුවම මතක් වෙන්නේ මල් ගස් වටේ දුවන් යන ඒවයි කොච්චර වෙඩි කෑවත් අන්තිමේ නැගිටින වීරයාගේ ගොන් පාර්ට් වගේ දේවල්. නමුත් ඒ ප්‍රසිද්ධ ධාරාවේ සිනමාවෙන් අයින් වුණ ගුණාත්මක සිනමාවකුත් ඉන්දියාවේ තියනවා. ඒවා එච්චර ජනප්‍රිය වෙන්නේ නෑ. ඉතින් මේ චිත්‍රපට භාරගන්න නළුනිළියන් කරන්නේ හැබෑම වැඩක් තමයි. නියම වැඩකරුවන් ඔවුන්. හැරුණත් රංගනය තියන මේ උදවිය ගැන දැන කියාගමු.
1. මනෝජ් බජ්පායි
මනෝජ් බජ්පායි ගැන මේ දවස්වල කතා වෙනවා වැඩියි. ඒ ඇමසෝන් ප්‍රයිම් ඔරිජිනල් ටීවි සීරිස් එකක් වෙන The Family Man නිසා. ඒකත් ඇති මනෝජ් කියන්නේ මොන වගේ දක්ෂයෙක් ද කියලා හිතාගන්න. ඔහු චරිතාංග නළුවෙක්. ඕනි එකකට ඔට්ටුයි. හැබැයි මුල් කාලේ චිත්‍රපටවල රඟපාන්න සෑහෙන කට්ටක් කාලා තියෙනවා. අවසානයේ පද්ම ශ්‍රී සම්මානයත් ලබලයි පස්ස බැලුවේ. ෆිල්ම් ෆෙයාර් සම්මාන පවා ලැබුවා. මේ බජ්පායිට නළුවෙක් වශයෙන් හොඳ කාලයක්. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් විදියට අපටත් හොඳයි කියන එක. ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවලත් මොහු පොඩිවට රඟපෑවා. Veer-Zara ඒකට උදාහරණයක්. මනෝජ් කියන්නේ රඟපානකොට මේ නම් නළුවෙක් නෙවෙයි ඇත්ත ම චරිතයක් කියලා හිතෙන විදියට රඟපාන නළුවෙක්. Satya, Satyameva Jayate, Missing, Naam Shabana, Chittgong, Gangs of Wasseypur වගේ චිත්‍රපටවල ඔහුගේ දක්ෂතාව කැපී පෙනුණා.
2. විද්‍යා බාලන්
ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවලටත් අමුතු ම පණක් එකතු කළ නිළියක් තමයි විද්‍යා. අපි හිතනවා බොලිවුඩ් නිළියක් කිව්වම ඉඟ සුඟ ගත හැකි මිටින සිද්ධියක් තියෙන්න ඕනි කියලා. ඒත් විද්‍යා ඒක එහෙම නොවේ කියා ඔප්පු කරා. විද්‍යා කියන්නේ බොලිවුඩ් නිළියක් ගැන අපේ හිතේ මැවෙන විදියේ කෙනෙක් නෙවෙයි ඊට එහා ගිය මහපොළවේ රූප සුන්දරියක්. ඒ නිසාම පද්ම ශ්‍රී සම්මානයත් ෆිල්ම්ෆෙයාර් සම්මාන හයකුත් දිනාගත්තා. Parineeta, Bhool Bhulaiyya, Paa, No One Killed Jessica, The Dirty Picture, Kahaani, Hamari Adhuri Kahani, Begum Jaan, Tumhari Sulu, Mission Mangal කියන චිත්‍රපට ඇගේ රංගනයේ තියන අපූර්වත්වය පෙන්වන චිත්‍රපට කීපයක්.
3. නවාස්සුදීන් සිද්ධික්
කඩවසම් බවක් ගෑවිලාවත් නැති අයටත් නළුවෝ වෙන්න පුළුවන්. රූපයේ නැති කඩවසම් බව රංගනයෙන් පෙන්වන්න පුළුවන්. මේකට හොඳට ම ගැලපෙන කෙනා තමයි සිද්ධික්. ෆිල්ම්ෆෙයාර් සම්මාන කීපයක් ම දිනාගන්නවා හොඳම සහාය නළුවා විදියට. ඊට අමතර වෙනත් සම්මාන උළෙලවල හොඳම නළුවා වෙනවා. මේ තවත් මනෝජ් කෙනෙක්. රඟපානවා කියලා පේන්නේ නෑ. ජීවත් වෙනවා කියලයි පේන්නේ. Kahaani, Gangs of Wasseypur, Chittagong, Talaash, The Lunchbox, Bajrangi Bhaijaan, Manjhi – The Mountain Man, Mom, Photograph කියන චිත්‍රපට ඔහුගේ හොඳම ඒවා.
4. රත්නා පතක් ෂාහ්
සමහර නිළියන්ට තමන් රඟ පෑ චිත්‍රපට මෙච්චරයි කියලා පෙන්වන්න මාගලක් තරම් දිග ලැයිස්තුවක් නෑ. හැබැයි රඟපාපු චිත්‍රපට පොඩ්ඩෙන් මම මගේ චරිතයට උපරිම සාධාරණයක් කරා කියලා පෙන්වන්න ඔවුන්ට පුළුවන්. රත්නා එහෙම කෙනෙක්. ඇය රඟපානකොට මුහුණේ හැඟීම් ටික නම් රත්තරන්. Jaane Tu Ya Jaane Na, Ek Main Aur Ekk Tu, Khoobsurat, Kapoor and Sons, Love Per Square Foot කියන චිත්‍රපටවල අම්මා කියන චරිතය ඇය පෙන්වන විදිය එදා මෙදා තුර හින්දි සිනමාව අම්මාව පෙන්වුවාට වඩා හැමතින් ම වෙනස්. Lipstick Under My Burkha චිත්‍රපටය ඇය කරපු ආන්දෝලනාත්මක චරිතයට ලන්ඩන් සහ කැනඩා චිත්‍රපට උළෙලවල පවා සම්මාන හිමි වුණා.
5. ඉර්ෆාන් ඛාන්
තවත් සුපිරිම නළුවෙක්. වැඩේ කියන්නේ මේ සුපිරි නළුවෝ කවුරුවත් සික්ස් පැක් තියෙන මචෝ නළුවෝ නෙවෙයි. එයාලා දන්නේ රංගනය විතරයි. මේ තවත් පද්ම ශ්‍රී සම්මානයක හිමිකාරයෙක්. විදේශීය චිත්‍රපටවල පවා රඟ පෑ ඉන්දියානුවෙක් (Life of Pi, Jurassic World). ෆිල්ම්ෆෙයාර් ඇතුළු වෙනත් සම්මාන තිහකට ආසන්න ප්‍රමාණයක් ඔහු තමන්ගේ කරගෙන තියනවා. The Namesake, Life in a… Metro, Slumdog Millionaire, 7 Khoon Maaf, Paan Singh Tomar, The Lunchbox, Haider, Talvar, Piku, Hindi Medium, Qarib Qarib Singlle ඔහුගේ අනිවාර්‍යයෙන් ම නැරඹිය යුතු චිත්‍රපට. තමන් රඟපාපු හැම චිත්‍රපටයට ම වගේ අඩුම ගානේ නිර්දේශිත නාමයකට හරි තේරුණ (බොහෝ විට සම්මානය තමන්ගේ කරගත්) මේ වගේ නළුවෙක් ඉන්දියාවේ නැති තරම්.
6. නන්දිතා දාස්
නිළියක් වෙන්න සුදු පුයර බබෙක් වෙන්න ඕනිම ද? ප්‍රශ්නෙට පිළිතුර තමයි නන්දිතා. දුඹුරු පාට හමේ තියෙන ලස්සන මීට වඩා වෙන කාගෙන්වත් දකින්න අමාරුයි. එහෙම දෙවියන්ගෙන් ලද ලස්සන සාමාන්‍ය චිත්‍රපටවලට හිලව් තියන්න නන්දිතාට කිසිම වුවමනාවක් තිබ්බේ නෑ. රඟපෑමෙන් ෆිල්ම්ෆෙයාර් ඇතුළුව සම්මාන හතකුත් අධ්‍යක්ෂණයෙන් සම්මාන පහක් පමණත් දිනාගත්ත නන්දිතා ඇත්තට ම ඉන්දියාවට ලෝකයට ම පෙන්විය හැකි දක්ෂ කලාකාරිනියක්. Fire චිත්‍රපටය ම ඇති මහපොළවේ ඇගේ නිර්භීත රංගනය බලන්න.
7. රාජ්කුමාර් රාඕ
රාජ්කුමාර් රාඕ මෑතකාලයේ මේ විකල්ප ධාරාවේ චිත්‍රපටවලට සම්බන්ධ වුණ දක්ෂයෙක්. තවමත් තිස්පස් වියැති මොහු මේ වෙනකොට ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළුව සම්මාන 19ක් තමන්ගේ කරගෙන තියනවා. Gangs of Wasseypur, Chittagong, Talaash, Kai Po Che!, Shahid, Queen, CityLights, Trapped, Newton, Stree, Ek Ladki Ko Dekha Toh Aisa Laga, Judgemental Hai Kya වගේ චිත්‍රපට ඔහුගේ නැරඹිය යුතු ම චිත්‍රපට කියා කියන්න පුළුවන්.
Leave a Reply