ඔන්ලයින් බඩු ගෙන්වීම එපාම වෙන අවස්ථා

“ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ, බඩු ගන්නයි විකුණන්නයි පොළටයි ආවේ… අද පොළටයි ආවේ.” කියල එදා බෙග් මහත්මයා සින්දු කියපු කාලේ බඩු ගන්න පොළට ගියාට, දැන් නම් ඔන්ලයින් බඩු ඕඩර් කරන එක සිම්පල් දෙයක් වෙලා. ඊබේ, ඇමසන්, අලි එක්ස්ප්‍රස් වගේ රට සයිට් වගේම ලංකාවෙත් දැන් ෆේස්බුක් එකේ පවා පොඩි පොඩි ස්ටෝරු වල බඩු විකුණන්නට තියෙනවා. ඔන්ලයින් බඩු ඇනවුම් කිරීම ඒ ස්ටෝර් වල අය කියන විදියට නම් අපේ ආච්චි අම්මටත් කරන්න පුළුවන් බොහොම සිම්පල් වැඩක්. අපි බලමු මේ ඔන්ලයින් ඇනවුම් වලදි වෙන්න පුළුවන් අවුල් දේවල් මොනවද කියලා. ඒවා දැනගත්තට පස්සේ වඩාත් විශ්වාසයකින් ඔන්ලයින් ඕඩර් එකක් දාන්න අපිට පුළුවන්.

 

 

1. බඩුව අතට එද්දි කල් ගතවෙලා, ආසාව නැතිවෙලා

Image Source – carpalfleet.com

ලංකාව කියන්නේ වර්ජන, ස්ට්‍රයික් එකපාර ඇතිවෙන රටක්. ඉතින් බඩුවක් ඕඩර් කරලා ඔන්න ලංකාවට සැපත් වෙද්දි තැපැල් ස්ට්‍රයික් කරන්න අරගෙන. භාණ්ඩය නැවතිලා තියෙනවා ගොඩක් කල් තැපැල් කන්තෝරු වල. ඊට අමතරව චීන ස්ටෝරු වලින් බඩු ඇනවුම් කළාම ඒව එන්න කල් යනවා. මොකද ලාබම ශිපින් රූට් එකකින් බඩු එවන්න තමයි එයාල උත්සාහ ගන්නේ. සමහර වෙලාවට අපි ඇනවුම් කරන බඩු තියෙන්නේ චීනයේ ශෙන්සෙන් වල ස්ටෝරුවක වුනත්, ඒක ජර්මනියටත් ගිහින් තවත් රට වලට ගිහින් එන බවක් තමයි ට්‍රැක් කළාම පේන්නේ. එතකොට කොහොමත් කල් ගතවෙනවා එද්දි. අපි දැකලා ආසාවට බඩුවක් ඕඩර් කළාම එන්න කල් ගතවෙනවා කියන්නේ එපා වෙන වැඩක්. සති තුනකින්වත් ආවේ නැතොත් ඇත්තටම ඒකට තියෙන ආසාව අඩුවෙන වෙලාවල් තියෙනවා.

 

2. පේ කළා… පේමන්ට් එක කොහෙද නෑ… හොයාගන්න බෑ

Image Source – giphy.com

මේක නම් ටිකක් කලාතුරකින් වෙන වැඩක්. අපේ සල්ලි අපි ඔන්ලයින් එකවුන්ට් වලට දාන්නේ ක්‍රෙඩිට් කාඩ් හරහා. ලංකාවේ තැනකින් බඩුවක් ඇනවුම් කරත් එක්කෝ අපි බැංකු එකවුන්ට් එකට සල්ලි දාන්න ඕනා නැතිනම් කාඩ් වලින් පේමන්ට් කරන්නට ඕනා. මෙහෙම කාඩ් පේමන්ට් වලදි කලාතුරකින් අපි සල්ලි ගෙවලා කාඩ් එකෙන් සල්ලි කැපිලා වුනත් ඇනවුම එන්නේ නැහැ. ඒ වගේ වෙලාවට වෙලාව සටහන් කරගෙන, ස්ක්‍රීන් ශොට් එකක් අරගෙන ඒ ඇනවුම් කරපු අඩවියට යවන්නට ඕනා. එතකොට එයාල ඔන්ලයින් එයාලගේ ඇනවුම් ගිය ඒ දිනයට, වෙලාවට අදාළ ලැයිස්තුව චෙක් කරලා බලලා, අපේ අය කෙරුණ මුදල් වලට සාධාරණයක් කරන්න උත්සාහ ගන්නවා.

 

3. බඩුව නම් ආවා… ඒත් හිතපු එක නෙමෙයි

Image Source – rd.com

අපි කඩේකට සෙරෙප්පු දෙකක් ගන්න ගියාම දාල බලනවා. ඒකේ පාට, හැඩය සහ නිමාව ගැන හොඳ අයිඩියාවක් බඩුව බලලා ගද්දි අපිට ලැබෙනවා. ඒත් බඩුවක් ඇනවුම් කරද්දි අපි දකින්නේ හොඳ කැමරාවකින් සීරුවෙන් ගත්ත ඒකෙ ඡායාරූප කිහිපයක් විතරයි. ඉතින් අපි ඇනවුම් කළ බඩුවේ ඡායාරූපයේ තිබුණ ලස්සන සහ පාට එද්දි නැතිවෙලා. එතකොට බඩුව ආවේ නැහැ කියලා කම්ප්ලේන් කරන්නත් බැහැ. මේකට හොඳම දෙයක් තමයි ඒ බඩුව ගත්ත අය දාපු රිවීව්ස් සහ ඒවායේ තියෙන ෆොටෝ බලන එක. ඒ වගේම ඒ විදිහෙ අවුල් බඩුවක් ආව අවස්ථාවකදී අපි හිතුව තරම් ආව බඩුව හැඩ නැහැ කියලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම්, ඊළඟට ඒ භාණ්ඩය ඇනවුම් කරන කෙනාට ඒක වාසියක් වෙනවා.

 

4. ෂිහ්! ඕඩරේ චේන්ජ් කරගන්න විදියක් නෑ… නූලෙන් මිස්වෙලා නේ

Image Source – macrumors.com

ඔන්න අපි ඕඩර් එක දාල එන්න හදද්දි හරි ඕඩරේ දාල ඉවරවෙලා යාලුවෙක්ට කිව්වාම හරි අපිට හම්බෙනවා ඊට වඩා පට්ට භාණ්ඩයක්. ඒත් ඉතිං ඇනවුම කරලා ඉවරයි නේ. ඒ නිසා අපිට අර කලින් ඕඩරේ එනකල් ඉන්න වෙනවා. පස්සෙ හිත යන භාණ්ඩය කලින් එක ඕඩර් කරපු සෙලර්ගෙම ස්ටෝර් එකේ භාණ්ඩයක් නම්, සමහරවිට චැට් එකක් දාලා මාරුකරගන්න අවස්ථාවක් ලබාගන්න පුළුවන්. බඩුවක් ගනිද්දි ඔන්ලයින් ස්ටෝරු දෙක තුනකම ටිකක් හොයලා බලලාම ඕඩර් කළොත් පසුතැවීම ටිකක් හරි අඩුකරගන්න පුළුවන් වේවි.

 

5. අතට නම් ආවා… ඒත් හිතුව තරම් කොලිටි නැහැ

Image Source – youtube.com

ලස්සනම ලස්සන ඔරලෝසුවක් හෙම පිංතූර වලින් දැකලා ඕඩර් කරනවා. ඇත්තටම ඔරලෝසුව ඒ වගේම තමයි. ඒත් නියපොත්තෙන් හීරුවත් හීරෙන මට්ටමට කොලිටි එක අඩුයි. පොඩි පොඩි ඉලෙක්ට්‍රික් ගැජට් අවුරුද්දක් වොරන්ටි කිව්වට දවස් තුන හතර යද්දි කැඩිලා යනවා. චාජර්, ෆෝන් බැටරි බැකප්, ෆෝන් කවර වගේ ගොඩක් දේවල් ගොඩාක්ම අඩු මිලට තියෙද්දි භාණ්ඩයේ කොලිටිය ගැන පොඩ්ඩක් බලන්නට ඕනා. අපිට ලොකු වාසියක් දීලා කවදාවත් වෙළෙන්දා පාඩු විඳින්නේ නැහැ. ඒ නිසා නොවටිනා තරම් අඩු මිලට බඩු ඇනවුම් කරද්දි කොලිටි එකත් ඒ හා සමානවම අඩුවෙන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනා.

 

6. ක්ලියර් කරගන්න කස්ටම් එකට සහ වටේ යන්න වුනා

Image Source – eiainvestigator.wordpress.com

ලංකාවේ ෆෝන්, වෝකි ටෝකි, ඩ්‍රෝන යානා ආදිය ගේන්න නීතියෙන් තහනම්. ඒ වගේම බීජ, පැළ සහ මත්ද්‍රව්‍ය ආදියත් ගේන්න බැහැ. ඉතින් මෙහෙම ඒවා ගෙන්නුවොත් අපිට රස්තියාදු වෙන්න වෙනවා. ෆෝන් එකක් නම් ටී ආර් සී එකට ගිහින් ඇපෲවල් එකක් අරන්, කස්ටම් එකට අදාළ බදු ගෙවලා රිලීස් කරගන්න පුලුවන්. මෙතැනදී හැම බඩුවක්ම චෙක් වෙන්නේ නැහැ. ඒත් මත්ද්‍රව්‍ය වගේ දෙයක් වැරදිලා හෝ ඔබට එන පාර්සලයක තිබිලා හමුවුනොත්, තත්ත්වය ලේසි නැහැ. ඒ නිසා යාලුවෙක් හෝ ළඟපාත ඔෆිස් එකේ කෙනෙක් ඔබේ ලිපිනයට බඩුවක් එවන්නට හදන විට එය සුළුවෙන් තකන්නට එපා. ඒ මොනවද? කොහෙන්ද එන්නේ කියලා පොඩ්ඩක් හොයා බලන්නට ඕනා.

 

7. ඩිලිවර් කරද්දි කෑලි පන්නලා හෝ බිඳලා…

Image Source – videoblocks.com

අපිට බඩුව ගෙනත් දෙන පියුන් මහත්තයා හෝ කුරියර් සේවාවේ කෙනා අපි ඉස්සරහදි මල් වට්ටියක් දෙන්න වගේ අත් දෙකින්ම භාණ්ඩය අතට දෙනවා. ඒත් ඉතිං අතර මග තියෙන ට්‍රාන්සිට් වලදි ඔය ඩබු බාහිරාදිය විසික් කරන හැටි දැක්කොත් අනේ අපොයි කියලා හිතෙනවා. තැපෑලේ හෙම බඩු ගෙනයනවාට වඩා ඒ ඇතුළේ අය විසික් කරන්න ආසයි වගේ. ඒ නිසා අපිට රටින් හෝ ලංකාවෙන් මොනාහරි ගැජට්ටුවක් හරි විසිතුරු බඩුවක් හරි එනවා නම් බිඳෙන සුළු බව සඳහන් කරලා, හොඳට ඇසුරුම් කරලා එවන්න කියලා දන්වන්න පුුළුවන් නම් හොඳයි. රටින් ෆෝන් එහෙම එද්දි හොඳට පුම්බපු පොලිතීන් මල්ලක අවුලක් නැතුව එනවා. ඒත්  අපේ ලංකාවේ කස්ටියගේ හැටි දන්න නිසා පොඩ්ඩක් වටින, බිඳෙන සුළු බඩුවක් නම් ඇනවුම දාද්දිම පොඩි මැසේජ් එකක් දාලා හොඳට පැක් කරලා එවන්න කියලා දැනුම් දෙන එක වටිනවා.

Cover Image Source – medium.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *