අඩු ගාණක් වියදම් කරලා පටන් ගන්න පුළුවන් පොඩි රැකියා සහ ව්‍යාපා​ර

උණ, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ රෝග ලක්ෂණ තමයි කෝවිඩ් නිසා අපිට හැදෙන්නේ. එත් කාලයක් තියෙන කොවිඩ් නිසා රැකියා නැති වීමේ අවදානමකුත් ලොව පුරා ඇතිවෙලා තියෙනවා. රැකියා තියෙන ඒවා නැතිවෙනවා, පඩි කැපෙනවා, ඒ වගේම අලුත් දේකට යොදවන්න කියලා අපිට තියෙන කාසි පනම් ආදියත් මේ කාලයේදි අඩියටම හිඳීගෙන යනවා. ඉතින් තවදුරටත් නැති බව විශ්ලේෂණය කළා කියලා අපිට ඇති වැඩක් නැහැ. එනිසා අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් අලුත් වැඩ කිඩ කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්න අපි හිතුවා.

 

1. ඉගැන්වීම

ඉගැන්වීමට කලින් අපි සතුව යම් අයෙකුට මිලදී ගන්නට පුළුවන් ස්කිල් එකක් තිබෙන්නට ඕනි. ක්‍රමානුකූල ඉගැන්වීම් වලට වගේම ටියුෂන් සහ නිවෙස් වලට ගොස් දෙයක් ඉගැන්වීමත් ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ දිනවල කොවිඩ් තත්ත්වය එක්ක ඉගැන්වීමත් දැන් ඔන්ලයින් මට්ටමට ඇවිත්. ඔබ සතුව යම් කුසලතාවයක් තිබෙනවා නම්, ඒ කුසලතාවය හොඳින් කියාදෙන්නත් ඔබට පුළුවන් නම්, ඉගැන්වීමට ඔබට පිවිසෙන්නට පුළුවන්. ඉගැන්වීම කියන්නේ හුදෙක් ගණිත, විද්‍යා ඉංග්‍රීසි ඉගැන්වීම පමණක් නෙමෙයි, ගෙවතු වගා කටයුතු වල නිරත වෙන අයෙක්, අන්තර්ජාලයේ විවිධ රටවල දේ ගැන අධ්‍යයනය කරලා හොඳ කරුණු ටිකක් එක්කාසු කරගෙන ඒ වගාව සාර්ථක කරගන්නවා යැයි සිතමු. ඒ වගේ අවස්ථාවක ඔහුට/ඇයට අන්තර්ජාලය හරහා වුවත් ගෙවතු වගාවේ ඒ ඒ බෝග වගාවන් ගැන දේශන, උපදේශන පැවැත්විය හැකියි.

 

2. අලුත්වැඩියා කොට නැවත විකිණීම 

ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයේ අලුත් බඩු වගේම පරණ බඩු කියන්නෙත් සෑහෙන ගැටළුවක්.  නිවසේ පාවිච්චි කරන බඩු වර්ග වුණත් ඉක්මන් එකේ එහෙම නිතර හමු වෙනවා. මේ බඩු බාහිරාදිය රැගෙන හිමිහිට ඒවා අලුත්වැඩියා කොට, නැවත සකසා, නැවත විකිණීම හොඳ බිස්නස් එකක්. ඇතැම් අය පරණ බඩු හෝල් සේල් විකුණන අවස්ථාවන් ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නවා. ඉන් පසු ඔවුන් ඒවා මිලදී ගෙන නැවත සකසා හොඳ ලාභයක් තියාගෙන විකුණනවා. වාහන සම්බන්ධයෙනුත් බොහෝ අය මේ කාර්යය රැකියාවක් විදිහට කරනවා.

 

3. ගොවිතැනක් පටන් ගැනීම

ඉඩමක් කඩමක් තියෙනවා නම් ළඟපාතින් බද්දට හරි ගන්න පුළුවන් නම් සහ මහන්සි වෙලා වැඩකරන්න කැමති නම් ගොවිතැන කියන්නේ හොඳ ව්‍යාපාරයක්. පොඩියට අක්කර බාගෙක වගේ ඉඩකින් වුණත් තාක්ෂණය පාවිච්චි කළොත් සරු අස්වැන්නක් ලබාගන්න පුළුවන්. අනෙක් හැමෝම කරන විදිහට නොකර අලුත් විදිහට වෙළඳපොලේ විකුණන්න පුළුවන් දේවල් ඉහළ තත්ත්වයෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණොත් බොහොම අඩු මූලික වියදමකින් පටන් ගන්න ගොවිතැනක් වුණත් සාර්ථක කරගන්න පුළුවන්.

 

4. ආහාර වර්ග සැකසීම

ගස් යට වැටිලා තියෙන දෙහි දකින එක කාන්තාවක් ඒවා ඇහිඳලා ලුණු දෙහි දැම්මා. කවුරුත් ඇයට දෙහි නොමිලේම දුන්නා. පසුව ඇය කොපමණ දියුණු වුණාද කියනවා නම් ඇයට ඇමරිකාවේ සිටින ලංකාවේ අයටත් ලුණු දෙහි හදලා යවන්න පුළුවන් වුණා. අපි නොහිතන මේ විදිහේ ආහාර සැකසීම් තියෙනවා. රටකජු ටිකක් බැදලා විකිණීම, අටුකොස් සකසා විකිණීම, ගොරකා, ගම්මිරිස්, කුරුඳු ආදිය හොඳට පිරිසිදුවට විකිණීම, සම්බෝල, චට්නි, ජෑම් වර්ග සකසා විකිණීම වගේ දේවල් කුඩාවට පටන් ගන්න පුළුවන්. හොඳ තත්ත්වයක් සහිත දේවල් අඩු මිලට දෙන්න පුළුවන් නම් ගෙවල්වල සකසන, රසකාරක ජාති අඩු, සැකසූ ආහාර වලට වෙළඳපොලක් ගෙවල් අහල පහලින්ම හදාගන්න ඔයාලට පුළුවන්.

 

5. ඔන්ලයින් ස්ටෝරුවක් පටන් ගැනීම

ඔයයි, යාළුවොයි, පුතාල දුවලයි හොයන යම් බඩුවක් ගැන හිතමු. අපි හිතමු සරලව ඔයාල හොයනවා මොනාහරි ලස්සන වතුර බෝතලයක්. ඔයාට ඒක අන්තර්ජාලයේදි අඩුවට හමු වෙනවා. ඒක විකුණගන්නත් පුළුවන් වගේ ලේසියෙන්ම. ඒ වගේ වෙලාවක ෆේස්බුක් හරහා ඇඩ් එකක් දමලා බෝතල ටිකක් තොග වශයෙන් ගෙනල්ලා විකුණන්න අපිට පුළුවන්. දැන් ලංකාවේ නිවෙසට බඩු ගෙනගොස් දී නැවත මුදල් අයකර ගන්න සේවාවනුත් තියෙනවා. යම් මූලික පිරිවැයක් ගියත් ෆේස්බුක් ඇඩ් දැමීම, කුඩා වෙබ් අඩවියක් සාදාගැනීම, අලුත් සහ ප්‍රයෝජනවත් භාණ්ඩ කිහිපයක් ඇතුළත් කිරීම හරහා කෙනෙක්ට ඔන්ලයින් ස්ටෝරුවක් කුඩාවට පටන් ගන්නට පුළුවන්. හැමෝම චීනෙන් ගෙන්නන බඩු විකුණන්න උත්සාහ ගනිද්දි ලංකාවේ අය හදන ලී සෙල්ලම් බඩු, අලුත් මෝස්තරයේ ඇඳුම් පැළඳුම් ආදිය එහෙම ඔන්ලයින් සේල් කළොත් හොඳ තත්ත්වයක් හදාගන්න පුළුවන් වේවි.

 

6. ආයතනවල විකුණුම් කටයුතු වලට දායක වීම

රක්ෂණ ඔප්පු විකිණීම කියන්නේ පාපකාරී රැකියාවක් නෙමෙයි. විදෙස් රටවල ඇතැම් විටක පුරවැසියන්ට රක්ෂණ ඔප්පුවක් තිබීම අනිවාර්යය වෙනවා. කුමක් හෝ කාරණාවකට රක්ෂණ ඔප්පු වෙළෙන්දන් අවමානයට ලක් වුවත්, ඔවුන් රක්ෂණ ක්ෂේත්‍රයට වගේම අදාළ ඔප්පු හිමියන්ට උදාකර දෙන අවස්ථාව සුළුපටු නැහැ. ඒ ආකාරයෙන් විවිධ අයිතම ජනතාව අතරට ගෙනියන එක සැබැවින්ම සමාගම් වලට ගැටළුවක්. ඉතින් දුරකතන සමාගම් වගේම ඇතැම් ගෙදර දොර උපකරණ විකුණන සමාගම් වලිනුත් මේ විදිහේ මාකටින් කොන්ත්‍රාත්තු හොයාගන්න ලොකු අමාරුවක් නැහැ. ඉතින් ඒ වගේ වැඩක් වුණත් ලෑල්ලටම හිඳිලා ඉන්න කෙනෙක්ට ලේසියෙන් පටන් ගන්න පුළුවන්.

 

7. තාක්ෂණික සේවා සැපයීම

අපේ ගෙදරක ඉලෙක්ට්‍රික් බඩුවක් කැඩුණාම අපි ඒක උස්සගෙන ටවුමට යන එක තමයි කලක පටන් සිද්ද වුණේ. ඒත් දම්රෝ ආයතනය නිවසට විත් බඩු රෙපෙයාර් කිරීමත් සමග පිහිය මුවාත් කතුරු මුවාත් වගේ ගෙයින් ගෙට යන තාක්ෂණික අය බිහිවෙලා තියෙනවා. දැන් ලැප්ටොප් කොම්පියුටර් අලුත්වැඩියා කරන එහෙම අයත් ඉන්නවා. ඒ විදිහේ හැකියාවන් තියෙනවා නම් තාක්ෂණික සේවාවන් සැපයීම කියන්නේ හොඳ තෝරාගැනීමක්. මුල් අවස්ථාවලදී වැඩක් හොයාගන්න ටිකක් කට්ට කන්නට ඕනි. ඒත් මහන්සි වුණොත් අමාරුවෙන් සයිඩ් ජොබ් එකක් විදිහටවත් වැඩ ටිකක් හොයාගන්න දක්ෂයෙක්ට අමාරු නැහැ.

 

ගස් නැගීම, බෙර වැයීම, රෙදි ඇපිල්ලීම, නිවෙස් පිරිසිදු කිරීම ආදී කාර්යයන්ට වෙනමම කුල වල ජනතාව එදා සිටියා. ඒ අනුව කල සේවය වැදගත් වුවත් ඇතැම්  රැකියාවන් හි නිරත වූ ජනයා කුල විදිහට පහතට වැටුණා. ඒත් අද තත්ත්වය වෙනස්. ආදායමක් ගන්නට හිතන මනුෂ්‍යයෙක් අනුන්ගේ දෙයක් කඩාවඩාගන්නේ නැතිව කරන ඕනාම රැකියාවක් උසස් රැකියාවක්. ඉතින් ආදායමක් ගන්න අලුත් දෙයක් පටන් ගද්දි බොහෝවිට මුලින් එන අත්දැකීම් සුන්දර ඒවා වෙන්නේ නැහැ. ඒත් අමාරුවෙන් කාගෙන, වැරදි හදාගෙන ඉස්සරහට ගියොත් අඩුගාණේ අලුත්ම අත්දැකීම් ටිකක් හරි ජීවිතයට එකතු කරගන්න උත්සාහවන්ත ඔයාලට පුළුවන් වේවි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *