කාලයක් සෑහෙන සුළු පිරිසකට විතරක් සීමා වෙලා තිබුණට දැන් පඳුරකට ගැහුවත් දිග හොම්බක් තියෙන කැමරාවක් හිමි අයියලා විස්සක් විසිපහක් විතර විසි වෙනවා. එහෙමයි කියලා බිස්නස් කෙරුවාවෙන් ඒ කාටවත් කිසිම අහේනියක් නෑ. ෆොටෝග්‍රැෆි කියන්නේ අද කාලේ හොඳට ඉගෙනගත්තොත් ගොඩ යන්න පුළුවන් වෘත්තියක්. මොඩල් ෂූට් අරවා මේවා කරාට හැමෝටම බැහැ ලස්සනට වෙඩින් ෆොටෝග්‍රැෆි කරන්න. ඒකට මෙන්න මේ කටු කෑමට ඇති නිපුණතාවෙත් හේතු වෙනවා.
1. වෙඩිමේ නිල නොවන ෆොටෝග්‍රැෆර්ස්ලාගෙන් වන හිරිහැරය
ලංකාවේ අපට වෙඩිං කියන්නේ එහෙම පිටින්ම මැජික් එකක්. පොල් ගෙඩිය බිඳින එකේ ඉඳන් අවසානේ දක්වා අතේ තියන චයිනීස් කට්ටෙන් හරි හැම ඉලව්වෙම ෆොටෝස් ගන්න යන්නේ ඒකයි. සෑහෙන අමාරුවෙන් ලස්සන ෂොට් එකක් ගන්න ෆෝකස් එක ගත්ත ගමන් කවුරුන් ම හරි වෙන්ඩ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ නැත්තම් කීප දෙනෙක්ගේ අත් එහෙට මෙහෙට පාවෙන්න ගන්නවා. එතකොට ෆොටෝ එකේ කපල් එකට අමතරව මේ නිල නොලත් සෙට් එකේ අංගෝපාංගත් වැදෙනව. ඒ අයට එපා කියන්නත් බෑ. ඒත් ෂොට් එක ගන්න ඕනි.
2. ෆොටෝග්‍රැෆර්ට වඩා කලාකාමී තෙවැනි ඇසක් ඇති කපල් සෙට් වීම
සාමාන්‍යයෙන් වෙඩිමක් කරන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක් එන්නේ මොකක් හරි දැක්මක් තියාගෙන. ඒ කිව්වේ කපල් එකට ඉන්න කියන්න ඕනි විදිය ගැන. නානාප්‍රකාර මැගසින්වල එතකොට ටීවී ප්‍රෝග්‍රෑම්වල ඉඟ සුඟ ගත හැකි මිටින ටයිප් එකේ මොඩල් ඉන්න විදිය හැමෝටම සෙට් වෙන්නේ නෑ. ඒත් කපල් එක බකපණ්ඩිතකමට ඒ විදියට ඉන්න දඟලනකොට අපහසුතාවෙට පත් වෙන්නේ ෆොටෝග්‍රැෆර් තමයි. අපතයි කියලත් දන්නවා ඒත් පණ්ඩිතකම් එක්ක හැරෙන්නවත් බැහැ.
3. ෆොටෝග්‍රැෆර් කියන විදියට කපල් එකට ඉන්න බැරි වීම
නිකාන් ඔහේ නංචි අතු හිටවනවා වගේ පෝළිමට හිටවලා ෆොටෝ ගන්න නම් ආයේ මක්කටැයි වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ලක්ෂ ගාණක් දීල එහෙම මනුස්සයෙක් ගෙන්න ගන්නේ ඒ යකාගෙන් මොනයම්ම හරි වැඩක් වෙයි, ලස්සනට අවුට්පුට් එක එයි, හැමදාටම මතක හිටින ලස්සන මතකයක් වෙයි වගේ කතන්දර නිසානේ. ඉතින් ෆොටෝ ගන්න ආපු මනුස්සයා තමන්ගේ පළපුරුද්ද අනුව දෙන්නට ඉන්න කියන පෝසස්වලට ඉන්නේ නැතුව ජවුසන් නටනකොට මල පනින්නැද්ද සාන්ත!
4. යාළු ෆිට් එකක් ගැන කියවාගෙන මිල ගණන් අඩු කරගැනීමේ උත්සාහය
මිනිස්සු හරි දක්ෂයි පූර්ව නිගමනවලට විනිශ්චයන්ට එන්න. වෙඩිමක ෆොටෝ ගන්නවා කියන්නේ සූපින් වැඩක් ය කියන එකත් ඒ වගේ එකක්. දවස් ගණන් නිදි මරන්න වෙන එක, අජපල් නොකර එඩිට් කරන එක, හොඳ ඇල්බම් එකක් හදලා දෙන තැනට වැඩ කරන එක වගේ දේවල් එක්ක බලද්දී ඒක හෙන අමාරු වැඩක්. එහෙම තියෙද්දී ඒකට තියෙන වටිනාකම අඩු කරගන්න යාළුකම් කියවන් එන එක මානසික වශයෙන් පුදුමාකාර කට්ටක්.
5. කපල් එක පැත්තක සිටිද්දී DSLR උණෙන් පෙළෙන්නන් හා කදේ දා ගැනීමට සිදු වීම
හොම්බ දිග කැමරා එක්ක ලංකාවේ අපේ තියෙන බැඳියාව හොඳට දිගහැරෙන තැනක් තමයි වෙඩිමක් කියන්නේ. පාර්ශ්ව දෙකෙන් DSLR උණ තියන අය කරන්නේ දැවටි දැවටි කැම් එක ගැන කතා කරන එක. ඒකේ තියෙන ෆීචර්ස්, ඉස්සරහට මාකට් එකට එන ඒවා වගේ දේවල් ගැන. ඒ අතරතුරේ වෙන්න ඕනි සියලු විශේෂ දේවල් ඉවර වෙලා තියෙන්නත් පුළුවන්.
6. බඩගින්න සහ ශරීර කෘත්‍යයේ අවශ්‍යතාව
දොළහා නැත්තම් දොළහා හමාර වෙනකොට සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට දවල් කෑමේ අවශ්‍යතාව එනවා. වෙඩිමේ කපල් එක, නෑදෑ සනුහරේ, යාළුමිත්‍රාදීන් කියන අය කාලා අහවර වෙනකන් හැබෑ ඇස් දෙකින් කෑම දිහා බලන්නවත් බෑ. ඒ බලන්න ඕනිත් කැමරා කාචයකින්. ඒ අස්සේ පරිසරයට විනාඩියක් හෙම කරගන්න ඕනි වුණාම යන්න අවසරයක් නෑ. යන්න පුළුවන් වුණත් හොඳම අවස්ථාවක් මග හැරෙන්න පුළුවන්.
7. නැකැත් කතන්දරය
වෙඩිම දවසේ උදේ ෆොටෝස් ගන්නවනේ පෝරුවට නගින්න කලියෙන්. ඒ ටික ලස්සනට ගන්නත් ඕනි. වෙලාවට චාරිත්‍රවලටත් එන්න ඕනි. ඒත් වැඩි වෙලාවක් යන්නේ මනමාලිට ඇඳුම් අන්දවන්න. කොහොම හරි තැන්ක් යූ කාඩ් ටික ගහන්න ෆොටෝස් ටික ලස්සනටත් ඕනි. වෙලාවේ ප්‍රශ්නෙත් තියනවා.
බඳින දවසට කවදාවත් අහිංසකයෙක්ට මේ කටු දෙන්න එපා…
Cover Image Source – .reverent.tv/ lindseyfordphotographyblog.com
Leave a Reply