රසම රස බිරියානි වර්ග 3ක් ගෙදරදීම හදාගමුද?

Biriyani recipe

බිරියානි, බුරියානි, බිර්යානි… ඔය කොයි නමින් කිව්වත් මේ බත කන්න අකමැති කෙනෙක් නෑ. පර්සියානු සම්භවයකින් පැවතෙනවයි කියන බිරියානියට ඉතිහාස කතා ගොඩක් තියෙනව. මේ හදන්නෙ බිරියානියේ ඉතිහාසය කියල දෙන්න නම් නෙවෙයි. අද අපි හදන්නෙ ඉන්දියාවෙ එක එක ප්‍රාන්ත වල එක එක විදියට රස ගැන්වෙන බිරියානි වර්ග තුනක් හදන හැටි කියල දෙන්නයි.

බිරියානි එක්ක සාම්ප්‍රදායිකව පිලිගැන්වෙන දේවල් අතරට මිංචි සම්බෝලය, තම්බලා බැදගත් බිත්තරය, රායිතා, චට්නි වගේ දේවල් තියෙනව. මීට අමතරව ලංකාවෙ නම් කජු කරියක්, මැලේ පිකල් එකක් වගේ දේවලුත් පිලිගැන්වෙනව, ඒක තමන්ගෙ කැමැත්ත සහ පහසුව පරිදි හදාගන්න පුළුවන්. මේ මුකුත් නැතත් බිරියානි එක නිකම්ම කන්න පුළුවන් බත් එකක්.

 

1. බොම්බෙ චිකන් බිරියානි

Biriyani recipe

Image Source – youtube.com

මේකට චිකන් හැර වෙන කැමති මස් වර්ගයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බාස්මති හාල් 1kg
  2. චිකන් 700g
  3. ගරම් මසාලා 20g
  4. තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 2
  5. බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 3
  6. යෝගට් හෝ මීකිරි මෙශරින් කප් 1
  7. මිරිස් කුඩු මේස හැඳි 2
  8. සූදුරු කුඩු තේ හැන්දයි
  9. කහ තේ හැන්දයි
  10. අල 1kg
  11. චිකන් ස්ටොක්
  12. ලුණු
  13. කොත්තමල්ලි කොළ
  14. ගැඹුරු තෙලේ බැදගත් ළූණු කප් 1/4
  15. පෙති කපාගත් තක්කාලි සහ දෙහි ගෙඩියක්
  16. ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4ක් සහ කහ කලරින් බින්දු දෙක තුනක්

 

  • භාජනයකට වතුර දමා එයට සෝදාගත් සහල් එක් කරගෙන විනාඩි 15ක් විතර පෙඟෙන්න හරින්න. පෙඟෙන්න තියාගත් සහල් වලට චිකන් ස්ටොක් එක් කර බත 80%ක් පමණ ඉදෙන්නට පිසගන්න.
  • වෙනම බඳුනක් ලිපේ තියල ඒකට තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න දාල, ඉඟුරු, සුදුළූණු පේස්ට්, යෝගට්, ගරම් මසාලා, සූදුරු කුඩු, මිරිස් කුඩු, ලුණු, තක්කාලි පේස්ට්, චිකන් සහ කපාගත් අල එක් කර හොඳින් මිශ්‍ර කර මදගින්නේ පිසගන්න.
  • ගී තවරාගත් වෙනම බඳුනක් ගෙන ඒකට පිසගත් මස් සහ අල මිශ්‍රණයෙන් කොටසක් තට්ටුවක් විදියට අතුර ගන්න. ඒකට උඩින් බත් තට්ටුවක්, බැදගත් ළූණු, කොත්තමල්ලි කොළ, දෙහි සහ තක්කාලි පෙති අතුරා එයට උඩින් ඉතිරි මස් මිශ්‍රණය නැවත අතුරා පෙර පරිදිම බත් තට්ටුවක් එක් කරගන්න.
  • අවසානයට කහ කලරින් එක් කරගත් ෆ්‍රෙශ් මිල්ක් තැනින් තැනට ඉස, පියනකින් වසා අඩුම ගින්දරේ මිනිත්තු කීපයක් පිසගන්න.

 

2. හයිද්‍රාබාද් එග් බිරියානි

Biriyani recipe

Image Source – cookingwithsweta.com

මස් මාළු නොකන අයට කියාපු බිරියානියක්.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර මැරිනේට් කිරීම සඳහා

  1. තම්බා කටු ඉවත් කරගත් බිත්තර 4
  2. රස අනුව ලුණු
  3. මිරිස් කුඩු තේ හැඳි 1/2
  4. කහ තේ හැඳි 1/4
  5. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දයි
  6. ගරම් මසාලා තේ හැඳි 1/2
  7. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  8. තලාගත් කරදමුංගු 2ක්
  9. චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  10. චොප් කරගත් මිංචි කොළ මේස හැඳි 2
  11. පලාගත් අමුමිරිස් කරල් තුන හතරක්
  12. යෝගට් හෝ මීකිරි මෙශරින් කප් 1
  13. ගැඹුරු තෙලේ බැදගෙන කපාගත් ළූණු ගෙඩි 2
  14. දෙහි යුශ තේ හැඳි 1/2
  15. තෙල් මේස හැන්දක්

බත් එක සඳහා

  1. විනාඩි 30ක් පොඟවාගත් බාස්මතී හාල් 500g
  2. කරදමුංගු කරලක්
  3. කුරුඳු අඟලක්
  4. කරාබු නැටි දෙක තුනක්
  5. බේ ලීෆ් එකක්
  6. ගම්මිරිස් ඇට දෙක තුනක්
  7. රස අනුව ලුණු

ගානිශ් එක සඳහා

  1. ගැඹුරු තෙලේ බැදගත් ළූණු මේස හැන්දක්
  2. මිංචි කොළ මේස හැන්දක්
  3. කොත්තමල්ලි කොළ මේස හැන්දක්
  4. කහ පාට කලරින් හෝ සැෆ්‍රන් මිශ්‍ර කරගත් කිරි මේස හැඳි 2
  5. ගී තේ හැන්දයි තෙල් මේස හැඳි 1

 

  • බිත්තර මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වල කොත්තමල්ලි, මිංචි සහ අමු මිරිස් එකට අඹරා පේස්ට් එකක් සාදාගන්න. බිත්තර හැර අනිත් සියල්ලම එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර වල තැනින් තැන කහමදය වන තෙක් කපා, සාදාගත් මිශ්‍රණයට දමා, පැය බාගයක් මැරිනේට් කරගන්න.
  • බතට අවශ්‍ය හාල් හැර අනෙක් සියළු ද්‍රව්‍ය වතුර භාජනයකට දමා හොඳින් වතුර උතුරුවාගන්න. එයට හාල් ටික එක් කර, බත 80%ක් පමණ ඉදවාගෙන, අමතර වතුර පෙරා හරින්න.
  • බටර් හෝ ගී තවරාගත් භාජනයක් ගෙන එහි අඩියට සාදාගත් බිත්තර මැරිනේට් එක දමාගන්න. එයට උඩින් බත් තට්ටුවක් ලෙස අතුරාගන්න. ඊට උඩින් ගානිශ් එක සඳහා තිබූ සියල්ලම ඉසගන්න.
  • තෝසේ තැටියක් ලිප මත තබා, ඒ මත මේ භාජනය තබා, හොඳින් පියනකින් තද වෙන්න වසා විනාඩි 20ක් පමණ පිසගන්න.

 

3. සවුත් ඉන්දියන් ඉස්සො බිරියානි

Biriyani recipe

Image Source – myerecipecorner.blogspot.com

නමේම තියෙනවනෙ මේක දකුණු ඉන්දියානු තාලෙට හදන බිරියානි එකක් කියලා. ඉස්සො වෙනුවට වෙන මසක් මාළුවක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොතු ඉවත් කරගත් ඉස්සො 300g
  2. කහ තේ හැඳි 1/2
  3. මිරිස් කුඩු තේ හැන්දයි
  4. ලුණු තේ හැන්දයි
  5. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දයි
  6. බ්ලෙන්ඩ් කරගත්ත ළූණු කප් 1/2
  7. ගරම් මසාලා තේ හැඳි 1/4
  8. යෝගට් හෝ මීකිරි මෙශරින් කප් 1
  9. චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  10. ගැඹුරු තෙලේ බැදගත් ළූණු කප් 1/4
  11. බෙරි නොවෙන්න පිස ගත් බාස්මතී බත් කප් 1 1/2

 

  • කහ, ලුණු, මිරිස්, ගරම් මසාලා, ඉඟුරු, සුදුළූණු, ළූණු පේස්ට් සහ මීකිරි කප් එකෙන් භාගයක් ඉස්සන් හා මිශ්‍ර කර, පැයක් පමණ මැරිනේට් වෙන්න තියාගන්න.
  • තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියල, ඒකට මැරිනේට් කරගත්ත ඉස්සන් මිශ්‍රණය එකතු කරල, රන්වන් පාට වෙනකම් පිසගන්න.
  • පසුව ලිපෙන් ඉවත් කර ඉතිරි මීකිරි භාගය, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණුවලින් භාගයක් එක් කරල මිශ්‍ර කරගන්න.
  • බටර් තවරාගත් භාජනයකට බත් වලින් කොටසක් ලේයර් කර, ඊට උඩින් සාදාගත් ඉස්සන් මිශ්‍රණය දමාගෙන, ඉතිරි ළූණු ටික ඉසගන්න. එයට උඩින් අනිත් බත් ටික දමා හොඳින් හැන්දකින් තද කර, විනාඩි 8ක් පමණ අඩුම ගින්දරේ පියනකින් වසා පිසගන්න.

Cover Image Source – hungryforever.com/youtube.com/whitbitskitchen.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *