සුන්දර සිනහවක් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ මුහුණට තවත් ලස්සනක් එක් කරන්නක්. හැබැයි අපේ සිනහවේ සුන්දරත්වය පිටතට පෙන්වන්න අපේ දත් දෙපළත් සෑහෙන කාර්යභාරයක් ඉටු කරනවා. දුර්වර්ණ, අපිළිවෙල දත් වලින් අපේ සිනහවේ සුන්දරත්වයට හානි පමුණනවා. ඒ වගේම පිරිසිදු, පිළිවෙල දත් දෙපළක් කියන්නේ කෙනෙක්ගේ පෞරුෂත්වයත් ඉහළ නංවන ආභරණයක් වගේ දෙයක්. හැබැයි උපතින්ම කොච්චර සුන්දර දත් දෙපළකට උරුමකම් කිවුවත්, අපේ සමහර වැරදි පුරුදු නිසා කාලයත් එක්ක අපේ දත් අවලස්සන වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ වැරදි පුරුදු කීපයක් ගැනයි අපි මේ ලිපියෙන් කියන්නේ. මේවායෙන් ඈත් වුණොත් ඔයාටත් මනා දත් දෙපළක් පවත්වාගෙන යන්න පුළුවන් වේවි!
1. මහපටැඟිලි ඉරීම සහ නියපොතු හැපීම
ඇඟිළි උරන පුරුද්දනම් තියෙන්නේ ළදරුවන් අතර තමයි. දත් එන කාලය වෙනකොට එයාලා අතේ මහපටැඟිල්ල උරන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒත් මේ පුරුද්ද වයස අවුරුදු 5 පහුවෙලත් තියනවනම් ඒක වහාම නවත්වාගන්න ඕන තත්ත්වයක්. මොකද දිගින් දිගටම ඇඟිලි ඉරීමෙන් දත් ඉදිරියට ඒම වගේම දත්වල පිහිටීම අපිළිවෙල වෙන්නත්, සමහර කථන දුර්වලතාවලටත් හේතු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ කුඩා දරුවා හරි වෙනත් දන්නා කියන දරුවෙක් හරි මෙහෙම දේකට පුරුදු වෙලා ඉන්නවානම් ඒක වළක්වාගන්න කටයුතු කරන්න.
ඒ වගේම අපේ දත් අවලස්සන කරන තවත් පුරුද්දක් තමයි නියපොතු සැපීම. මේ පුරුද්දටනම් ලොකු පොඩි භේදයක් නැහැ. දත් කඩතොළු වෙන්න, ගෙවී යන්න වගේම හනුවල පිහිටීම වෙනස් කරන්නත් මේ පුරුද්ද දායක වෙනවා. ඒත් එක්කම අහිතකර බැක්ටීරියා ශරීරගත කරවලා අපිව ලෙඩ කරන්නත් මේ පුරුද්ද හේතු වෙනවා.
2. දත් වලින් අනවශ්‍ය වැඩ ගැනීම
මේ පුරුද්ද නම් අපි බොහෝ දෙනෙක්ට තියන එකක්. මොකක් හරි පැකට් එකක් කඩන්න ඕන වුණොත් ඔන්න ඒක දත් අස්සේ හිර කරගෙන ඇදලා තමයි කඩාගන්නේ. ස්ටයිල් එකට බීම බෝතලේ කඩන්නෙත් දත් වලින්. තද මූඩියක් ගලවගන්න ඕන වුණොත් ඒක ගලවන්නේ දත් අස්සේ හිර කරගෙන. නැවිච්ච හීනි ලෝහයක් කෙලින් කරගන්න, හයිය දෙයක් කඩන්න වගේ තවත් වැඩ ගොඩකට සමහරු තමන්ගේ දත් ප්‍රයෝජනයට ගන්නවා. ඒ වැඩේ වහාම නවත්වන්න. ඒ වෙනුවට තමයි කතුරු, අඬු, පිහි වගේ උපකරණ නිපදවලා තියෙන්නේ. මෙහෙම කරන එකෙන් දත් කැඩිලා, පතුරු ගිහින් හානි වෙන්න ඉඩ තියනවා. නිකන් ඉන්න ගමන් අතේ තියන පැන්සල්, පෑන් වගේ දේවල් හපන්න පුරුදු වෙලා ඉන්න අයත් ඉන්නවා. ඒ විදිහේ පුරුදු තියන අයත් ඒවා වළක්වාගන්න කටයුතු කරන්න.
3. අයිස් කැට හැපීම
සමහරු මේක විනෝදාංශයක් හැටියටත් කරනවා. ඒ නැතත් තමන් මිලදීගන්න බීම වර්ගයක අඩියේ ඉතුරුවෙන අයිස් කැට හපලා කන්න ගොඩක් අය නිකනුත් පෙළඹිලා ඉන්නවා. මේක කාලයත් එක්ක දත්වලට දැඩි ලෙස හානි කරන්න පුළුවන් පුරුද්දක්. දත් පතුරු යන්න වගේම, ඇසට නොපෙනෙන තරමට දත් වලට හානි සිද්ධ වෙලා, කාලයත් එක්ක දත් දිරා යන්නත් මේ පුරුද්ද බලපානවා. ඒ වගේම අනාගතයේදී දත් කැක්කුම් ඇති වෙන්නත් මේ පුරුද්ද නිසා ඉඩ සැලසෙනවා.
4. අධික ලෙස ටූත්පික් භාවිතය
ආහාරයක් ගත්තාට පස්සේ දත් අතර රැඳෙන ආහාර කැබලි ඉවත් කරන්න සමහරු ටූත් පික්ස් භාවිතා කරනවා. නමුත් මේ ටූත්පික් ඕනෑවට වඩා භාවිතා කිරීම දත්වල පෙනුමට සහ සෞඛ්‍යයට හානි කරන්න පුළුවන්. ටූත්පික්වලින් නිතර දත් හෑරීමෙන් දත්වල එනමලයට වගේම විදුරුමස්වලටත් හානි සිදු වෙන්න ඉඩ තියනවා. විදුරුමස් තුවාළ වෙලා ආසාදන තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ටූත්පික් අධික ලෙස භාවිතා කිරීම නිසා දත් අතර සිදුරු ඇති වෙන්නටත් ඉඩ තියනවා. ඒ නිසා නිතරම සහ වැඩි වේලාවක් ටූත්පික්වලින් දත් සාරන්නේ නැතුව දත් අතර රැඳෙන දේවල් ඉවත් කරන්න ඩෙන්ටල් ෆ්ලොස් (Dental Floss) එකක් භාවිතා කරන්න.
5. දත් කූරු ගෑම
දත් එකිනෙක අතර ඇතිල්ලීම, එහෙමත් නැත්නම් Grinding කියලත් මේක හඳුන්වනවා. ගොඩක් දෙනෙක් අවිඥාණිකව මේ විදිහට දත් කූරු ගාන්න පුරුදු වෙලා ඉන්නවා. නින්දේදී තමයි මේ තත්ත්වය ගොඩක්ම දකින්න ලැබෙන්නේ. මේ විදිහට දත් කූරු ගාන්න ආතතිය සහ නින්දේ නොයෙකුත් අක්‍රමිකතාත් බලපානවා. කාලයත් එක්ක මේ තත්ත්වය නිසා දත්වල පළුදුවීම්, දත් ඇද වීම් වගේම මුහුණට විකෘතිතාවයන් පවා එකතු කරන්න පුළුවන්. මේ සඳහා එක් විකල්පයක් තමයි නිදාගනිද්දී දත්වලට මවුත්ගාඩ් (Mouth Guard) එකක් වෛද්‍ය උපදෙස් මත පැළඳීම.
6. දුම්පානය සහ මත්පැන් පානය
දුම්පානය කියන්නේ පිළිකාවලට අත වැනීමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ පුරුද්ද දත් වලටත් ඉතාම අහිතකර විදිහට බලපානවා. දුම්කොළ දුම් නිසා දත්වල කහට පැල්ලම් බැඳෙනවා, විදුරුමස්වල ආසාදන ඇති වෙනවා, ඒ වගේම දත් අකලට හැලෙන්නත් මේ අධික දුම්බීම හේතු වෙන්න පුළුවන්. ඒ වගේම වයින් වගේ මත්පැන්වලිනුත් දත්වල පැල්ලම් ඇති වෙලා දත් අවලස්සන වෙන්න කටයුතු සැළසෙනවා. මේවාට අමතරව අධික ලෙස කෝපි බීමත් දත්වල පැල්ලම් ඇති වෙන්න හේතු වෙනවා. ඒ නිසා වයින් හෝ කෝපි බිවුවාට පස්සේ වතුරෙන් කට හේදීම හෝ දත් මැදීම සිදු කරන එක වඩාත් හොඳයි. දුම්පානය නම් නවත්වන තරමට තමයි හැම අතින්ම හොඳ.
7. ක්ෂණික ආහාර සහ සීනි අධික පාන වර්ග නිතර ගැනීම
දවස තිස්සේම ක්ෂණික ආහාර සහ සීනි අධික පාන වර්ග ගැනීමත් ඉක්මනින්ම දත් දිරායන්නත්, දත් දුර්වර්ණ කරන්නත් මග පාදනවා. සීනි අධික පාන වර්ග කිවුවම කෝලා වැනි කාබනීකෘත බීම වර්ග විතරක් නෙමෙයි, සමහර සීනි අධික පළතුරු යුෂත් මේවාට අයිති වෙනවා. මේ විදිහේ ආහාර සහ පාන වර්ග නිතරම දත්වල ස්පර්ෂ වෙලා, දත් අතර රැඳිලා තියන එකෙන් දත්වලට ඉක්මනටම හානි වෙන්න, දිරා යන්න මග පාදනවා. ඒ නිසා මේ විදිහේ ආහාර ගත්තාට පස්සේ හැකි සෑම අවස්ථාවකදීම වතුර ටිකකින් කට සෝදන්න හෝ මුඛය සේදී යන සේ වතුර ටිකක් පානය කරන්නවත් උත්සාහ කරන්න.
දවසට දෙවරක්වත් දත් මැදීමෙන් ඔබට ඔබේ දත් දෙපළ මැනවින් ආරක්ෂා කරගන්න පුළුවන්. මේ දත් මැදීමත් බොහොම රළුවට නොකර, සියුම් කෙඳි සහිත බුරුසුවකින් පරිස්සමින් කරන්න වග බලාගන්නට ඕනෑ. ඒ වගේම දත් අතර ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්නට දිනටක වරක් දත් ෆ්ලොස් කිරීමත් දත්වල සුන්දරත්වයට වගේම දන්ත සෞඛ්‍යයටත් යහපත් විදිහට බලපානවා.
Leave a Reply