කටට රස, බඩට පහසු ඉඳියප්පම් ගැන දැනගමු

තවමත් ගමේ ගෙවල් වල මේකට කියන්නේ ඉඳියප්පන් කියලා. ඒත් යම්තාක් නාගරික වටපිටාවකට යද්දි “ශික් ඉඳියප්පන්. ඒක දෙමළ වගෙ නෙ. නියම නම ඉඳිආප්ප” කියලා කියන්න කියලා කට්ටිය කියනවා. මේක කොළඹ පොශ් වටපිටාවට එද්දි ස්ට්‍රින්ග් හොපර්ස් වෙනවා. තවත් ලේසියට ස්ට්‍රින්ග්ස් කියලත් කියනවා. ඉතින් ඉඳිආප්ප ගැන අපි දන්න තොරතුරු ටිකක්ම ආයේම කියවලා බලමු මගහැරුණු අලුත් මොනාහරි තියෙනවද කියලා.

 

1. ඉඳිආප්ප හදන හැටි

ඉඳිආප්ප හදන්න දැන් නම් කඩේ පිටි පැකට් තියෙනවා. ඒත් ඒ පැකට් ඉඳිආප්ප සහ ඇත්තටම අපි ගෙදර කොටලා හදන ඉඳිආප්ප රසයේ සෑහෙන වෙනසක් තියෙනවා. ඉඳිආප්ප හදන්න කලින් හාල්පිටි කොටල හොඳින් හලාගන්න ඕනි. මේ හලාගත් පිටි ටික ආයේ වතාවක් එක්කෝ ස්ටීම් කරන්න ඕනි, නැතිනම් හොඳින් කබලේ දාලා බැදගන්න ඕනි. එහෙම කරලා ආයෙත් පිටි ටික හලාගන්න ඕනි.  මේ වරක් උයාගත් පිටි වලට උණු වතුර ටික ටික දාලා තමයි ඉඳිආප්ප සාම්ප්‍රදායික විදිහට හදන්නේ. වෙනත් රටවල ඉන්න අයට නම් දකුණු ඉන්දීය කඩයකින් ඉඳිආප්ප වංගෙඩිය හා සමාන උපකරණ මිලදී ගන්නට පුළුවන්. 

 

 

2. ඉඳිආප්ප හදන්න ගන්න බඩු මුට්ටු

ඉදියප්පන් කියන කේරළ සහ දකුණු ඉන්දීය කෑම ජාතිය ජාත්‍යන්තර වශයෙන් හඳුන්වන්නේ රයිස් නූඩ්ල්ස් එහෙම නැතිනම් සහල්පිටි වලින් හැදුන නූඩ්ල්ස් වර්ගයක් විදිහට. අපිට ගෙදරදි ඉඳිආප්ප හදන්න නම් ගැඹුරු ස්ටීමර් එකක් උවමනා වෙනවා. ඩම්ප්ලින්, මොමෝ වගේ චීන කෑම හදනකොට ගන්න ස්ටීමර් එකට වඩා ගැඹුරු සහ ගොඩක් ඉඩ තියෙන ස්ටීමර් එකක් ඉඳිආප්ප දාන්න වැදගත් වෙනවා. ඉන්දියාවේදී නම් විශාල තට්ටු වලට ඉඳිආප්ප වක්කරලා ඉඳිආප්ප විශාල ගාණක් සහිත ඒ තට්ටු ස්ටීම් කරලා ගන්නවා. ලංකාවේ අපි වෙන වෙනම වට්ටි වලට වක්කරලා ස්ටීම් කරගන්නවා. ඉඳිආප්ප වංගෙඩිත් ආකාර කිහිපයක් තියෙනවා. ඉඳිආප්ප පිටි මිශ්‍රණය පිටි හලලා අරගෙන හොඳට මිශ්‍ර කරගත්තේ නැත්නම් ඉඳිආප්ප වක්කරන්න අමාරු වෙනවා.

 

 

3. ඉඳිආප්ප එක්ක කෑමට

ඉන්දියාවේ පාතරාසය එහෙම නැතිනම් උදේ ආහාර වේලට පිටි වලින් හදපු කෑම ගොඩක් තියෙනවා. ඉඩ්ලි, වඩ, තෝසෙ, පිට්ටු වගේම ඉඳිආප්පත් මේ දකුණු ඉන්දියානු පාතරාසයේ තියෙනවා. ඉතින් මේ ඉඳිආප්ප කන්න කේරළයේ කට්ටිය නම් පොල් පාවිච්චි කරනවා. පොඩි ළමයින් නම් පොල් කිරි වලට සීනි ටිකක් දාලා කිරි එකතු කරලා ඉඳිආප්ප කනවා. ලංකාවේ අපි නම් කිරි හොදි, පරිප්පු, මාළු හොදි ආදියත් එක්ක තමයි ඉඳිආප්ප කන්නේ.

 

 

4. අමතර කෑම

ඉඳිආප්ප වක්කරන විදිහටම වක්කරලා ලැවරියා හදාගන්නට පුළුවන්. ඉඳිආප්ප විශාල වට්ටි වලට වක් කරගෙන ඉන් පසුව ඒවා මැදට පැණිපොල් තියලා තමයි ලැවරියා හදන්නේ. සහල් පිටි ඉඳිආප්ප වැඩි වුණොත් කරන්න පුළුවන් සුපිරි වැඩක් තමයි ක්‍රිස්පි ඉඳිආප්ප හදන එක. ඒකෙදි ඉතුරු වෙච්චි ඉඳිආප්ප හොඳින් වේලා ගන්නවා. වේලාගත් ඉඳිආප්ප රත්වූ තෙලට දාලා බැදගත්තාම ආස්මී වගේ හොඳ ක්‍රිස්පි රසක් තියෙන බැදපු ඉඳිආප්පය එනවා. ඒවා එක්කෝ ලුණු, ගම්මිරිස්, මිරිස් එකතු කරලා ස්පයිසි විදිහටත් එහෙම නැතිනම් සීනි උණුකරලා පැණි එකතු කරලා කන්නත් පුළුවන්.

 

 

5. ඉඳිආප්ප කල්චර් එක

අපේ කෑම අතරින් ඒ කාලේ ඉඳිආප්ප කියන්නේ හදන්න අමාරු කෑමක්. මහන්සියෙන් වංගෙඩියේ පිටි කොටලා, ඒවා හලලා, ආයේ නැවත කොටලා පිටි සකස් කරගන්නවා. ඉන් පස්සේ ආයේ පිටි බදින්න ඕනි. පිටි බැදලා ඒවා නිවුනාට පස්සේ ඉඳිආප්ප පිටි එක අනලා වක්කරන්න ඕනි. ඉන් පස්සේ ඒවා නැවත හුමාලයේ තම්බන්න ඕනි. ටිකක් දිග වැඩක්. ඒ නිසාම ඉඳිආප්ප ගෙවල් වල හදනවා වගේම මිලදී ගන්නත් කට්ටිය පෙළඹිලා ඉන්නවා. අපේ ගම්වල වගේම ටවුන් වලත් කෑම කඩවල උදේට රෑට ඉඳිආප්ප තියෙනවා. ඒ වගේම ගම්වල ඉඳිආප්ප හදන ගෙදරක් සෑම ගමකම පාහේ සොයාගන්නට තියෙනවා. මේ ඉඳිආප්ප හැදීම අමාරු නිසාදෝ හෝ ඉන්දියානු කාන්තාවන්ගේ ගෘහ ජීවිතයේ කටුක බව ඇතුළත් ඉදියප්පන් කියලා කෙටි චිත්‍රපටයක් තියෙනවා. ඒ වගේම මෑතකදී නැසීගිය සුනිල් පෙරේරාගේ “පිටිකොටපන් නෝනේ” ගීතය ඉඳිආප්ප ගැන කියවෙන ජනප්‍රිය ගීතයක් වුණා.

 

 

6. ඉන්දියානු ඉඳිඅප්පන්

ඉඳිආප්ප සිංහල කඩ වලට වඩා දෙමළ කඩවල වෙනස් විදිහට තියන්නේ. ලංකාවේ නම් පාන්පිටි ඉඳිආප්පත් තියෙනවා. ඉන්දියාවේ කේරළය සහ දකුණු ඉන්දියාවෙත් උදේ කෑමක් විදිහට ඉඳිආප්ප තියෙනවා. මේ ඉඳිආප්ප වලට එහේදි මෙහේ පොල්සම්බෝල වගේ පොල් චට්නියක් සහ කිරි හොද්දක් එනවා. නැත්නම් වෙනත් සාම්බාරු ආකාරයේ දියාරු හොද්දක් එනවා. සයිවර් කඩයකින් දවල්ට කන විට එන රසම් එක, පැණිරස සවු එක හෝ මෝරු එක ආදී සයිඩ් ඩිශ් ගණනාවක් එක්කත් ඉඳිආප්ප දකුණු ඉන්දියාවෙදි සහ කේරළයේදි පිළිගන්නවා.

 

 

7. සැමට කත හැකි ඉඳිආප්ප 

මේ කෑම වර්ගයට වයස් භේදයක් නැහැ. ඉඳිආප්ප ඉස්පිරිතාල ළඟ පවා කඩවල ගන්න තියෙනවා. මොකද ක්‍රියාවලියේදි දෙවරක් පිසින නිසා ඉඳිආප්ප කන්න මොන අමාරුව තියෙන කෙනෙක්ට වුණත් ලේසියි. කන්න අකමැති නම් සීනි ටිකක් පොල් ටිකක් එක්ක දුන්නොත් පොඩි අයත් ඉඳිආප්ප කන්න ආසයි. ඉඳිආප්ප කොත්තු විදිහට නයිට් කඩේ තියෙන්නේ නම් ගොඩක් වෙලාවට දවල් ඉතිරි ඉඳිආප්ප. ඒ වුණත් රොටි වලින් ගහන කොත්තුවට වඩා ඉඳිආප්ප කොත්තුව අපිට ලේසියෙන් කන්න පුළුවන්. දිරවීමත් ලේසියි.

 

ලේසි කරගන්න ගිහින් රසය අඩු වුණු එක කෑම ජාතියක් තමයි ඉඳිආප්ප කියන්නේ. නිවාඩු දවසකවත් පැරණි ක්‍රමයට හාල් පිටි පමණක් අරගෙන ඉදිආප්ප ටිකක් හදාගන්න උත්සාහ කළොත් ඒ රස ඉඳිආප්ප වලින් දිව පිනා යාවි. ඉඳිආප්ප කියන්නේ ලංකාවේ ග්‍රාමීයව කරන හොඳ ස්වයං රැකියාවක් . ඉතින් කේක්, චීස්, බටර් හදන හැටි ගැන දහස් වාරයක් වීඩියෝ සහ රෙසිපි බලන අපි පැරණි රසට එහෙම නැතිනම් කේරළ විදිහට, තමිල්නාඩු විදිහට ඉඳිආප්ප හදලා රස බලමුද? 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *