හරි, දැන් මෙතන ඉන්නවද ජීවිතේට බොරුවක් කියලා නැති අය? නැහැනේ. ඒක ඇත්ත, අපි හැමෝම ජීවිතේට කීප පාරක් හරි බොරුවක් කියලා තියෙනවා. හරි, ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් මිනිස්සු බොහෝමයක් එදිනෙදා ජීවිතේදී දිනපතාම පුරුද්දට බොරු කියන්නෙ නෑ. මොකක් හරි තැනකදී බොරුවක් කියවෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් බොරුවෙන්ම ජීවත් වෙන්නෙ නෑ. හැබැයි සමහරක් පුරුද්දට බොරු කියන, ජීවිකාවට බොරු කියන, ආතල් එකට බොරු කියන, පොර වෙන්න බොරු කියන උන්දැලත් අපි අතරේ ඕන තරම් ඉන්නවා. හරි, ඒකත් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඉතින් බොරු කියන එකේ ආදීනව තියෙනවා. මේ කියන්නේ අපි පුංචි කාලේ අම්මලා කියපු විදියට “බොරු කිව්වොත් අපායේ යයි” වගේ කතන්දරයක් නෙවෙයි. බොරු කියන එකෙන් ප්‍රායෝගිකව අපිට සිද්ධවෙන්න පුළුවන්, මේ ලෝකෙදීම පළ දෙන අකරතැබ්බ තියෙනවා. ආන්න ඒවෑයින් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
1. ක්‍රෙඩිබිලිටිය ඉවරයි!
ඇත්තටම වෘත්තිමය වශයෙන් බොරු කියන කෙනෙක් වුනත් තේරුම් ගන්න ඕන සරල කාරණාව තමයි, බොරු කියන එක ලේසි වැඩක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ බොරුවක් කොයි තරම් හිතලා මතලා වටේම කවර් කරලා කිව්වත් අහුවෙන්න සෑහෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් මෙහෙම බොරුවක් කියලා අපිව පොදුජනතාව අතරේ චාටර් වුණහම මොකද වෙන්නේ? අපේ ක්‍රෙඩිබිලිටිය එතනින් හමාර වෙනවා. වෙනත් විදියකට කිව්වොත්, එතනින් එහාට අපි ඇත්තක් කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නෙ නැති ලෙවල් එකකට යනවා. එහෙම අපි ගැන තියෙන විශ්වාසය නැතිවුනාට පස්සේ ඒක හදාගන්න සෑහෙන්න අමාරුයි.
2. සම්බන්ධතා ඉවරයි!
මේක ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕන නැති දෙයක්නේ. බොරු කියන්න ලේසියි. බොරු විශ්වාස කරන්නත් ලේසියි. හැබැයි කෙනෙක්ට තේරුණොත් අපි එයාට කියලා තියෙන්නේ බොරුවක් කියලා, ආන්න එතකොට අපිට සමාව දෙන්න අමාරුයි කියලා ඒ කෙනා තේරුම් ගනීවි. ඇත්තටම අපි ඕන තරම් දකිනවනේ බොරු කීම් නිසා සම්බන්ධතා කැඩිලා යන හැටි. ඒකට ඔය උඩින් කියපු එකත් ලොකු හේතුවක්. අපිට බොරුවක් කියන්න ලේසි වුණත්, බොරුව අහුවුණහම නැතිවෙලා යන විශ්වාසය හදාගන්න එක සෑහෙන්න අමාරු වැඩක්.
3. බොරු කියන එක වෙහෙසකරයි!
ඇත්තටම කෙනෙක් බොරු නොකිවිය යුතු හේතු අතරට මේකත් ඇතුළත් වෙනවා. බොරුවක් කියන්නේ ප්රබන්ධයක්නේ. හැබැයි ප්‍රබන්ධයක් ලියනවට වඩා අමාරුයි, ඇත්ත විදියටම හිටින්න තවත් කෙනෙක්ට කියන එක. එතනදී සාමාන්‍යයෙන් එක බොරුවක් නෙවෙයි කියන්න වෙන්නේ. බොරුවක් කියන්නේ ඇත්තටම බොරු කීපයක ක්ලස්ටර් එකක්නේ. ඇයි, බොරුවක් ඇත්ත විදියට පේන්න කියන්න නම්, ඒකට සක්ක ගහන්නත් තව බොරු කීපයක්වත් කියන්න වෙනවා. ඒ කියන බොරු, ඒවල ඕඩර් එක, ඒවල ස්ථාන නාම, පුද්ගල නාම, කාල රාමු අනං මනං මතක තියාගෙන ඉන්නත් වෙනවා. මොන තරම් වෙහෙසක්ද?
4. ඇත්තේ ජීවත් වෙන්න බැරි වෙනවා
උදාහරණයක් ගමු. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඔය පොර වෙන්න බොරු කියන මනුස්සයෝ. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ට නැති දේවල්, තමන් අත්නොවිඳපු දේවල්, තමන් නොකරපු දේවල් පණ පිහිටුවලා කියනවා. සමහර වෙලාවට එව්වා කවදාවත් එළි වෙන එකකුත් නෑ. හැබැයි ඉතින් තමන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේම බොරුවක් ඇතුළෙනේ. උදාහරණයක් විදියට ගත්තොත්, බරසාර පොත් කියවනවා කියලා පච ගහන මනුස්සයෙක්ට ඇත්ත ජීවිතේදී අර පොත් ඇත්තටම කියෝලා ගන්න ආතල් එක, ඒ සැබෑ අත්දැකීම ලැබෙන්නෙ නෑ. තියෙන්නේ ලොකු පොත් කියෙව්වා කියලා තමන්වත් අනුන්වත් රවට්ටා ගන්න හැඟීම විතරයි.
5. නිදහසේ ජීවත් වෙන්න අමාරුයි!
ඔව්, බොරුකාරයෙක්ට නිදහසේ ජීවත් වෙන්න අමාරුයි. අපි කලිනුත් කියපු විදියට බොරු කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. කියපු බොරුව මතක තියාගන්න ඕන. ඒ බොරුවට සක්ක ගහන්න කියපු පොඩි පොඩි අහළ පහළ බොරුත් මතක තියාගන්න ඕන. කොයි තරම් දෛනිකව බොරු කියන මනුස්සයෙක්ට වුනත්, තමන් කියපු සීරියස් බොරු අහුවෙයි කියලා සැකයක්, විචිකිච්ඡාවක් හැමවෙලේම හිතේ තියෙනවා. ඕක හැමදාමත් හිතේ තියාගෙන ඉන්න පුළුවන් බයක්, බරක් නෙවෙයි. ඉතින් කොහොමැයි බොරුකාරයෙක් නිදහසේ ජීවත් වෙන්නේ?
6. තමන්ගේ අවංකකම ෂුවර්ද?
සාමාන්‍යයෙන් ඕනම වැරැද්දක් කරන බහුතරයක් දෙනා, තමන්ගේ හිතෙන් ඒ වැරැද්ද සාධාරනීකරණය කරගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, බොරු කියන මනුස්සයෙක් වුනත්, ඒ බොරු කීම ගොඩක් වෙලාවට හිතෙන් සාධාරණීකරණය කරගනීවි. හැබැයි බොරු කියන මනුස්සයෙක් ඒක කොයි තරම් ස්වයං සාධාරණීකරණයකට ලක් කරගත්තත්, තමන්ගේ හිතට බොරු කරන්න ටිකක් අමාරුයි. අන්න ඒ නිසා, තමන් සෘජු, අවංක පුද්ගලයෙක් කියලා මුළු හදවතින්ම කවදාවත් හිතාගන්න බෑ. අන්න ඒකත් බොරු කියන එකේ අප්සට් අතුරු ඵලයක්.
7. නීති ප්‍රශ්නත් එන්න පුළුවන්!
මෙන්න මේක සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ නැති දෙයක්. දැන් ඔය කාටවත් හානියක් නොවෙන කරුණු කාරණා වලට බොරු කියන අයට නීතියෙන් බයවෙන්න දෙයක් නෑ. හැබැයි නීතියට අදාළ කරුණු කාරණා වලදී බොරු කියන එක බොහොම බරපතළ වරදක් විදියට නීතිය විසින් දකින බවත් මතක තියාගන්න ඕන. ඔය perjury කියලා හඳුන්වන්නේ ආන්න ඒක තමයි. මෙතනදී බොරු සාක්කි වල ඉඳලා, වෙනත් කෙනෙක්ට හානිදායක වෙන, නොමග යැවීමට හැකි බොරු කීම දක්වා සෑහෙන්න බොරු අයිති වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔය රජ බොරු කාරයෙක් බොරු වලින් ගස් වලට කොටාගෙන කොටාගෙන ගිහිල්ලා දවසකදී නීති කෙහෙල්ගහේ පටලැවෙන්නත් පුළුවන්!
Leave a Reply