නකල්ස් වලට කෑම්පින් ට්‍රිප් එකක් යමුද? එහෙමනම් මේ උපදෙස් අමතක කරන්න එපා!

කෑම්පින් කියන්නේ එළිමහනේ කරන ක්‍රියාකාරකම් වලට කැමති අයට බොහොමත්ම ආතල් අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එළිමහනේ ටෙන්ට් එකක් ගහලා, සොබා අසිරිය එක්ක රාත්‍රියක සුන්දරත්වය විඳින එක ජීවිතේ එක පාරක් හරි කෙනෙක් ලබන්න ඕන අත්දැකීමක් කියන එක නිවැරදියි. ඉතින් ලංකාවේ කෑම්පින් වලට නම් දරාපු ප්‍රදේශයක් තමයි දුම්බර කඳුකරය නැතිනම් නකල්ස් රක්ෂිතය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ. ඉතින් මේ කාලේ ගොඩක් අය කෑම්පින් වලට නකල්ස් පැත්තට යන නිසාත් අපි හිතුවා නකල්ස් කෑම්පින්ග් සම්බන්ධ ටිප්ස් ටිකක් අරගෙන එන්න.

 

1. කොහෙද කෑම්පින්ග් කරන්නේ?

දුම්බර කඳුකරය ඇත්තටම මහනුවර සහ මාතලේ කියන දිස්ත්‍රික්ක දෙකේම පැතිරිලා තියෙනවා. මෙතනදී ඕන නම් අපිට කෑම්පින් සයිට් වලට කෑම්පින් කරන්න පුළුවන්. මේකේ වාසිය තමයි, වැසිකිළි කැසිකිළි පහසුකම් එහෙම සපයලා දීලා තිබීම. එතකොට කෑම්පින් සයිට් එක වුනත් උදළු ගාලා, බොරලු දාලා, කූඩැල්ලන්ට එන්න බැරි විදියට සකසලා තිබීම. හැබැයි එහෙම නැතුව නියම විදියට අමුවෙන්ම කෑම්පින් අත්දැකීමක් ලබාගන්න ඕන නම් කන්ද නැගලා, වනාන්තරේ එළිමහනක කෑම්පින් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් එහෙම වැඩක් කරන්න නම් ප්‍රදේශය දන්න, පළපුරුද්ද තියෙන කෙනෙක් දෙන්නෙක් නඩේ ඉන්න ඕන. මොකද නකල්ස් කඳුකරය සහ වනාන්තරය කියන්නේ අනතුරු වලින් තොර ප්‍රදේශයක් නොවෙන නිසා.

 

2. කොහොමද යන්නේ?

අන්න හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කොහොමද යන්නේ කියන එක තීරණය වෙන්නේ කොහෙද කෑම්පින් කරන්නේ කියන කාරණයත් එක්ක තමයි. ඔය කඳුකරය තරණය කරලා, වනාන්තරයේ කෑම්පින් කරනවා නම් සැලකිය යුතු දුරක් කැලේ මැදින්, කඳු නැගගෙන යන්න වෙනවා. එතකොට ඕන නම් අවසාන මිනිස් වාසය හරියට බස් එකේ හරි වෙනත් ක්‍රමේකින් හරි ඇවිදිල්ලා, එතන ඉඳන් පාද චාරිකා කරන්න පුළුවන්. එහෙම නැතුව කෙලින්ම කෑම්පින් සයිට් එකකට යනවා නම් බස් එකේ ඇවිත් උනත් යන්න පුළුවන්. එහෙම නැතිනම් වාහනේක වුනත් යන්න පුළුවන්. බයික් වලින් වගේ යනවා නම් වැඩේ තවත් ආතල්.

 

3. කූඩැල්ලෝ!

ගොඩක් දෙනෙක් බය සතෙක් තමයි කූඩැල්ලා. ගොඩක් දෙනෙක් ඇත්තටම කූඩැල්ලට බය වෙන්නේ ඌ ලේ උරා බොන නිසාම නෙවෙයි. ඌ ඉතාම කුඩා සතෙක් වීම නිසා සහ අපට නොදැනීම අපේ ඇඟට ගොඩවෙන්න ඌට පුළුවන් නිසා, ඌ ගිහින් කොහේ නතරවෙයිද කියන සැකයත් එක්ක තමයි කූඩැල්ලට තියෙන බය නිර්මාණය වෙන්නේ. ඉතින් කූඩැල්ලන්ට බය නම් හොඳම දේ තමයි යනකොට ආරක්ෂිත ඇඳුම් පැළඳුම් හැඳගෙන යැම සහ, කූඩැල්ලන්ට ඔරොත්තු දෙන සබන් වතුර බෝතලයක් එහෙම අරගෙන යෑම. එහෙම නැතුව ඉතින් කූඩැල්ලා නැග්ගට පස්සේ ඌව තලන්න, පුච්චන්න යන්න එපා. උනුත් මේ පරිසරයේ ඉන්න සත්තුනේ.

කෑම්පින් කරනකොට ලේසියෙන් කූඩැල්ලන්ට එන්න බැරි තැනක් ටෙන්ට් එක ගහන්න තෝරගන්න එක සුදුසුයි. එහෙම නැතුව කූඩලු විමාන වල ටෙන්ට් එක ගහලා, කූඩැල්ලොත් අරගෙන ටෙන්ට් එක ඇතුළට ගිහින් කනෝ කනෝ කියන එක හරියන්නෙ නැහැනේ!

 

4. ආරක්ෂාව

මේ කියන්නේ නිකම්ම ෂෝටක් ගහගෙන, රබර් සෙරෙප්පු දාගෙන නකල්ස් යන්න එපා කියන එක තමයි. විශේෂයෙන්ම කඳු තරණය කරන්න යනවා නම්, ඒකට ගැලපෙන අඩිය ලිස්සන්නේ නැති සපත්තු දෙකක් දාගෙන යන එක යෝග්‍යයි. එතකොට දිගට තියෙන කලිසමක් ඇඳලා, බූට්ස් දාලා ගියොත් කූඩලු කරදරෙන් සෑහෙන පමණකට බේරෙන්න පුළුවන්. ඒ වගේම බයික් වල යනවා නම් අනිවාර්‍යයෙන්ම දණිස් ආවරණ කාරිය පැළඳගෙන යන එක ශරීරයට ගුණදායකයි. අවදානමට පෙර සූදානම තමයි තියෙන්න ඕන.

ඒ වගේම මතක තියාගන්න. මහපාරෙන් ගියත් නකල්ස් කියන්නේ කඳුකර ප්‍රදේශයක්. මේ පාරවල් කාපට් කරලා ගාණට හදලා නෑ. සමහර තැන් පට්ටෙට ලිස්සනවා. ගල් ගැලවිලා. එතකොට පොඩ්ඩක් හරි එහෙ මෙහේ වුනොත් බිම වැටිලා නතර වෙන්නෙ නෑ. කෙලින්ම ප්‍රපාතෙට තමයි. ඒ වගේම දවල් වරුවට වුනත් සමහර වෙලාවට අඩි දෙකකට එහා පාර පේන්නේ නැති ගාණට මීදුම බානවා. ඒ නිසා අතිශයින්ම ප්‍රවේසමින් තමයි වාහනේක ගියත්, පයින් ගියත් නකල්ස් තරණය කරන්න ඕන.

 

5. කෑම බීම

කෑම්පින් යන එකේ ආතල් එක තියෙන්නේ තමන්ම කෑම බීම හදාගෙන කාලා බීලා එන එකනේ. ඒක බැරිකමක් නෑ. හැබැයි ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හැමදෙයක්ම අරගෙන යන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය කෑම්පින් සයිට් වල නම් බාබක්‍යු වලට එහෙම පහසුකම් සපයලා දීලා තියෙනවා. සමහර කෑම්පින් සයිට් වල කුක් ලත් ඉන්නවා. හැබැයි ඔය මොකක් වුනත්, කෑම බීම අමුද්‍රව්‍ය නුවරින් හරි මාතලෙන් හරි එහෙම නැතිනම් අඩු ගාණේ වෙනත් ආසන්න ටවුමකින් හරි අරගෙන යන්න වෙනවා. බාබක්‍යු එහෙම දාන්න හිතනවා නම් ගල් අඟුරු පවා අරගෙන යන එක ඇඟට ගුණයි. එහෙම උයාගෙන කාලා දඟලන්න බැහැයි කියලා හිතෙනවා නම්, සමහරු කරනවා වගේ ඔය බිස්කට්, චීස් වගේ ඒවා අරගෙන ගියත් කාරියක් නෑ.

 

6. ටිකක් සීතලයි

මතක තියාගන්න. නකල්ස් කඳුකරය උඩට යන්න යන්න පට්ට සීතලයි. රෑට තමයි සුපිරියටම සීතල සෙට් වෙන්නේ. තමුන්ට සීතල දරන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් කෝකටත් ස්ලීපින් බෑග් එකක් එහෙම අරගෙන යන එක නුවණට හුරුයි. ස්ලීපින් බෑග්ස් බැරි නම් අඩු තරමින් හොඳ බ්ලැන්කට් එකක් හරි ගෙනියන්න. ඒකෙන් සීතලට රාත්‍රියේදී සාර්ථකව ඔරොත්තු දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් සීතල පොඩ්ඩක් වත් දරන්න බැරි කෙනෙක් නම්, නකල්ස් පාමුල ඉඳලාම ස්වේටර් එකක් එහෙම දාගෙන ගියාට කමක් නෑ. 

 

7. පරිසරය සුරැකීම

මෙන්න වැදගත්ම කාරණාව. නකල්ස් රක්ෂිතය සහ දුම්බර කඳුකරය කියන්නේ අතිශයින්ම වැදගත් පරිසර පද්ධතියක්. එතකොට අපි කෑම්පින් යනවා කියලා ගිහින් ඔක්කොම ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු බෝතල් ඒ පරිසර පද්ධතියට අත ඇරලා එනවා කියන්නේ දැවැන්ත ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඔය පහසුකම් තියෙන කෑම්පින් සයිට් වල නම් කුණු කසල බැහැර කරන්න ක්‍රම සහ විධි හදලා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම එහෙම නැතුව කඳුකරයේ කෑම්පින් කරන්න යන අය සිහිතබා ගන්න ඕන කාරණාව තමයි, තමන් අරගෙන යන හැමදෙයක්ම ආපිට අරගෙන එන්න ඕන කියන එක. විශේෂයෙන්ම ආපිට එන්න කලින් කෑම්පින් සයිට් එක පවා හොඳට සුද්ධ බුද්ද කරලා තිබුණු විදියට තියලා එන එක තමයි වගකීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *