දැන් ඔය ලෝකෙටම ලොක්කා, ලෝක පොලිස්කාරයා වගේ නම්වලින් හඳුන්වන ඇමරිකාව තියෙනවා නෙව. අපිට ඉතින් ඇමරිකාව ගැන කොහොමත් සතියකට සැරයක්වත් අහන්න ලැබෙනවාමයි. ඇයි ලංකාවට එරෙහිව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කොරනවා කියලා ඔය පාර්ලිමේන්තුවේ සමහරක් සතිපතාම ඇමරිකාවට චෝදනා එල්ල කරනවනේ. ඒ අය හතරවරං ගහලා කියා හිටිනවා ඇමරිකාව බලාගෙන ඉන්නේ මේ සිරිලංකාවට කෙලින්නමයි කියලා. ඕවෑ ඇත්ත බොරු අපි හොයන්ට යන්නෙ නෑ. හැබැයි ඉතින් ඔය ඇමරිකාවෙත් ඉන්න ලොකුම ලොක්කා ඉන්නවනේ. ඒ කිව්වේ ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා හෙවත් ජනාධිපතිතුමා. සාමාන්‍යයෙන් ලංකාවේ හාදයෙක් අල්ලපු රටේ ඉන්න ජනාධිපති හරි අගමැති හරි කවුද කියලා දැනගෙන නොහිටියත් ඇමරිකාවේ ජනාධිපති කවුද කියන එක නං කෙස්ගහට කියන්න දන්නවා. ඒ වගේම තමයි ඔය ඇමරිකානු ජනාධිපති හරි රෙස්පා ඩයල් එක. ආයි අවුස්සගත්තොත් පොළඟා වගේ තමයි. ත්‍රස්තවාදියෝ එක්ක නං මළාට ගනුදෙනු නෑ. ඔහොම කියන්නේ හොලිවුඩ් වලින් එන චිත්‍රපටි තමයි. හැබැයි ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිට තියෙන සුපර් පවර්ස් මොනවද? ආන්න ඒ ගැන හොයලා බලන්නයි මේ ලැහැස්ති වෙන්නේ!
1. නියුක්ලියර් ෆුට්බෝල්!

Source – youtube.com
හොලිවුඩ් ෆිල්ම් බලන කොල්ලෝ කෙල්ලෝ දන්නවා මේ කියන්නේ මොකක් ගැනද කියලා. අර ඇමරිකාවේ ජනාධිපති යන ඕනෑම තැනක ළඟින්ම ඉන්න හාදයෙක් අරගෙන යන ලෙදර් බෑග් එකක දාපු සූට්කේස් එක තමයි මේ. මේකේ විශේෂත්වය තමයි මේ බ්‍රීෆ්කේස් එකෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන්න විධිවිධාන ලබාදෙන්න ජනාධිපතිවරයාට පුලුවන් වීම.
දැන් ඔය හොලිවුඩ් ෆිල්ම් වල පෙන්නන විදියට ඇමරිකාවේ ජනාධිපතිගෙන් කවුරුහරි ගේම ඉල්ලුවොත් සුටුස් ගාලා බ්‍රීෆ්කේස් එක ඇරලා රිටර්න් එක දෙන්නනේ තියෙන්නේ. හැබැයි ඇත්තටම නම් එහෙම හිතෙන විදියට න්‍යෂ්ටික යුද්ධයක් දියත් කරන්න ජනාධිපතිවරයාට බෑ. ඒක ආරක්ෂක ලේකම්ගෙන් සහතික වෙන්නත් ඕන. හැබැයි ඉතින් ඇමරිකාවේ ජනාධිපති කියලා එහෙම හිතුමතේට යුද්ධ ප්‍රකාශ කරන්නත් බෑ. ඒවලට ප්‍රොටොකෝල් තියෙනවා.
2. බීස්ට්!

Source – huffingtonpost.com
හොලිවුඩ් පිචර් බලලා තියෙනවා නම් දන්නවනේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල රථය වෙන බීස්ට් ගැන, නිල හෙලිකොප්ටරය වෙන මෙරීන් වන් ගැන සහ නිල ගුවන් යානය වෙන එයාර් ෆෝර්ස් වන් ගැන. මීට අමතරව තව නිල වාහන ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. මේ බීස්ට් රථය කියන්නේ තවත් එක VIP වාහනයක් නම් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත් දැන් ඉන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල රථය ගත්තොත් ඒකේ තියෙන පහසුකම් සහ හැකියාවන් පිස්සු හදවන සුළුයි.
මූලිකවම මේ බීස්ට් රථය තවත් එක ආමර් ප්ලේට් හයි කරපු ලිමොසීන් රථයක් නෙවෙයි. මේක තාක්ෂණිකව සන්නද්ධ කරන්න අවුරුදු ගණනාවක් වෙනම පර්යේෂණ කෙරිලා තියෙනවා. කටකථා වලින් කියවෙන විදියට මේ පර්යේෂණ වෙනුවෙන් ඩොලර් මිලියන 15ක් විතර වැය වෙලත් තියෙනවා. අඟල් අටක වෙඩි නොවදින දොරවල්, වෙඩි නොවදින වීදුරු, අඟල් පහක මිලිටරි ග්‍රේඩ් ආමර් ප්ලේට් වලින් හදපු බඳක් තියෙන මේ බීස්ට් රථය ඇත්තටම යුද්ධ ටැංකියක් වගේ. ඒත් මේ බීස්ට් රථයට පැයට හැතැප්ම 60ක වේගයට ළඟා වෙන්න යන්නේ තත්පර 15ක් වගේ. හැබැයි ලොකු වේගයක් එක පාර ලබාගන්න බැරි වුනත් මේ රථය හසුරුවන්නේ අතිදක්ෂ රියදුරු වරයෙක්.
3. ජනාධිපතිවරුන්ගේ අබිරහස් පොත

Source – electricliterature.com
තොරතුරු බලය වේ කියනවනේ. එහෙම බලනකොට ඇමරිකානු ජනාධිපතිවරුන්ට විතරක් සුවිශේෂී තවත් පවර් එකක් තමයි අර ජනාධිපතිවරුන්ට විතරක් දකින්න පුලුවන් රහස් තියෙන ජර්නල් එක. ඔව්, නැෂනල් ට්‍රෙෂර්: බුක් ඔෆ් සීක්‍රට් වගේ ෆිල්ම් එකක් බැලුවනං දැනගන්න පුලුවන් එහෙම ජනාධිපතිගෙන් ජනාධිපතිට පැවතගෙන එන රහස් අඩංගු අබිරහස් පොතක් තියෙනවාය කියන එක. එතකොට ඒ ෆිල්ම් එකේ ඉඟි කරන විදියට ඔය පොතේ කෙනඩි ඝාතනය වගේ කවදාවත් නොවිසඳුණු අබිරහස්, ඒරියා 51 වගේ ඒලියන්ලා සම්බන්ධ අබිරහස් ඇතුළු ඇමරිකාවේ මෙතෙක් තිබුණු, අලුතින් එකතුවෙන හැම ජාතියේම අබිරහස් සහ රහස් තියෙනවාලු. හැබැයි ඉතින් මෙහෙම පොතක් තියෙනවා කියලා නිල වශයෙන් නම් කවුරුවත් ප්‍රකාශ කරලා නෑ. මෙහෙමයි, එහෙම පොතක් තියෙනවා කියලා රජයේ රහස් ඔත්තු සේවාවන් වලින්ම කියනවා. හැබැයි ඒ අය කියන්නේ ඒ ‘ජනාධිපතිට දකින්න විතරයි’ පොතේ තියෙන්නේ එදිනෙදා අති වැදගත් දේවල් මිසක් ඔය කියන විදියේ ඒලියන්ස්ලා ඇමරිකාවට ගොඩබැස්සද වගේ කථා නෙවෙයිලු.
4. ධවල මන්දිරයේ පොළව යට උමං සහ බංකරයන්

Source – electrospaces.blogspot.com
ඔය හොලිවුඩ් ෆිල්ම් සමහර ඒවල පෙන්නනවා ජනාධිපති නිල නිවස වුණු ධවල මන්දිරය යට තියෙන භූගත උමං මාර්ග. සමහර ෆිල්ම් වල කියනවා ජෝන් එෆ් කෙනඩි මැරිලින් මොන්රෝ එක්ක රහසිගත සම්බන්ධයක් තිබුණලු. එතකොට මැරිලින්ව හොරෙන් ධවල මන්දිරයට ගෙන්න ගන්න ඔය රහසිගත උමං මාර්ග පාවිච්චි කළාලු. ඊට අමතරව ධවල මන්දිරයේ බිත්ති අතර එහෙමත් රහස් මාර්ග තියෙනවා කියලා ඔය හොලිවුඩ් ෆිල්ම් වල පෙන්නනවා.
ඔය කතාවල ඇත්ත බොරු අපි දන්නෙ නෑ. හැබැයි ධවල මන්දිරය යට බෝම්බ වලට ඔරොත්තු දෙන අති නවීන බංකරයක් තියෙනවාය කියන එක නම් බොහොම ප්‍රසිද්ධ රහසක් කියලා තමයි අහන්න ලැබෙන්නේ. මේ බංකරය න්‍යෂ්ටික ප්‍රහාරයකට වුනත් ඔරොත්තු දෙනවලු. හැබැයි ඒකත් එහෙම නිල වශයෙන් නම් ප්‍රකාශ කරලා තියෙනවා කියලා නම් අපි දන්නෙ නෑ.
5. විධායක නියෝග

Source – theepochtimes.com
දැකලා තියෙනවද සමහර ෆිල්ම් වල එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කාගෙන්වත් අහ අහා ඉන්නෙ නැතුව රජයේ විශාල වෙනස්කම් වුනත් සිද්ධවෙන විදියේ නියෝග නිකුත් කරනවා? ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරයාට එහෙම බලයක් තියෙනවා. ඒවාට කියන්නේ Executive orders කියලා. මේවා බලපාන්නේ ෆෙඩරල් රජයේ ඕනෑම දෙයකට. මේ විධායක නියෝග දෙන්න ජනාධිපති කොංග්‍රස් එකෙන් අහ අහා ඉන්න ඕන නෑ. ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරු මේ විධායක නියෝග බර තොගයක් තමන්ගේ ධූර කාලය ඇතුලතදී නිකුත් කරනවා. උදාහරණයක් විදියට කිවුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 අවුරුද්ද ඇතුළතදී විතරක් මේ විදියේ විධායක නියෝග 38ක් නිකුත් කරලා තියෙනවා.
6. ව්‍යවස්ථාපිත බලය

Source – independent.co.uk
දැන් අපි කියමු කොංග්‍රස් එකෙන් මොකක් හරි පනතක් ඉදිරිපත් කළා කියලා ජනාධිපතිට. එයාට පුලුවන් එක්කෝ ඒක අත්සන් කරලා එකඟත්වය ප්‍රකාශ කරන්න. එතකොට දවස් දහයක් ඇතුළතදී ඒක ව්‍යවස්ථානුකූලව නීතිය බවට පත් වෙනවා. හැබැයි ජනාධිපති ඔය පනතට අකමැති නම් කරන්න තියෙන්නේ ඒක නිෂේධනය කරන එක. මේ නිෂේධන බලය ජනාධිපතිට හිමිවෙලා තියෙනවා. ඕකටම තමයි ප්‍රසිඩන්ට්ගේ Veto Power එක කියන්නේ. හැබැයි නිකම්ම “මං ඕකට කැමති නෑ” කියන්න බෑ. ඒ පනත නිෂේධනය කරන්නේ ඇයි කියන හේතු සහ එතකොට ඒ පනත වෙනස් කරන්න තමන්ගේ තියෙන යෝජනා ඇතුළත් පොඩි පණිවුඩයකුත් කොංග්‍රසයට ජනාධිපති විසින් දෙන්න වුවමනායි. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම පනතකට කැමති හෝ අකමැති වෙනවා මිසක්, පනතේ අර වගන්තියට මං කැමතියි හැබැයි මේ වගන්තියට අකමැතියි ඒ නිසා මේ වගන්තිය විතරක් මම බලාත්මක කරනවා වගේ සීන් බෑ.
7. පත්වීම් දෙන බලය

Source – psmag.com
ඕනෑම රටක ජනාධිපතිට තමන් කැමති අයට පත්වීම් දෙන්න පුලුවන්නේ. එහෙමනේ ඔය දරු මුණුපුරෝ, සහෝදර සහෝදරියෝ, හොඳම යාලුවෝ එහෙමත් කෙනෙක් ජනාධිපති වුණු ගමන් ලොකු පුටුවලට එන්නේ. නැද්ද?
කොහොම හරි ඇමරිකාවේ ජනාධිපතිටත් මේ බලය තියෙනවා. ඒ කියන්නේ රජයේ විශාල පරාසයක කාර්යාල වල සේවකයන් තෝරාගන්න බලය. මේ යටතට අයිති වෙනවා තානාපතිවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ෆෙඩරල් අධිකරණවල සාමාජිකයින් සහ කැබිනට් ලේකම් වරුන්. හැබැයි මේ තනතුරු වලින් දෙදාහකට අධික ප්‍රමාණයක් සඳහා සෙනේට් සභාවේ සහතික කිරීමත් අවශ්‍ය වෙනවා. මේ තනතුරු වලට පත් කරන අය ගැන සෙනේට් එකට උපදෙස් දෙන්න පුලුවන්.
8. කමාන්ඩර් ඉන් චීෆ්

Source – commons.wikimedia.org
ඇමරිකාව වගේ රටක තියෙන හමුදා බලය කියන එක සෙල්ලමක් නෙවෙයිනේ. න්‍යෂ්ටික ආයුධ පැත්තකින් තියමු. ඒත් ඇමරිකාව වගේ රටක යුධ බලයට පහසුවෙන්ම වෙනත් රටක් ආක්‍රමණය කරලා යටත් කරගන්න පුලුවන්. ඉතින් මේ වගේ හමුදාවක සේනාධිනායකවරයා කියන්නේ මොන වගේ බලතලයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපති හෙවත් සේනාධිනායක වරයා තමන්ට ඕනෑ ඕනෑ හැටියට හමුදාව මෙහෙයවන්නේ නෑ. ඒකට උපදෙස් ලබාගන්න සහ සාකච්ඡා කරන්න සෑහෙන පිරිසක් තමන් වටේ ඉන්නවනේ. හැබැයි අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පුලුවන් කොංග්‍රසයේ අනුමැතිය ගන්න බලාගෙන ඉන්නේ නැතුව යුධ වාතාවරණයකට ඇමරිකානු හමුදා යවන්න.
Cover Image Source – rewind108.com
Leave a Reply