Limitless ෆිල්ම් එකේ වගේ මොළය 100% ක් වැඩ කරන විදියට ඇත්තම ජීවිතේ වැඩ කරන්නේ මෙහෙමයි!

Make life like you are on NZT

කවුද Limitless ෆිල්ම් එක බලල තියෙන්නේ? ඇත්තටම මේ ආටිකල් එක කියවන්න කලින් ඒක බලලා නැතිනම්, මුලින් Limitless ෆිල්ම් එක හොයාගෙන බලලා එන්න. ඒක සෑහෙන්න ඉන්ටරෙස්ටින්ග් ෆිල්ම් එකක්. ඒකේ විදියට මොළේ 100% ක්ම උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුලුවන් බෙහෙතක් හොයාගැනෙනවා. ඒක ගත්තහම ආයෙ ජීවිතේ මෙච්චර කල් අපි නොදැන වුණත් ඉගෙන ගත්තු දේවල් උපරිම කාර්යක්ෂමතාවයකින් පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. ඕනම භාෂාවක් එහෙන් මෙහෙන් ඇහුම්කන් දුන්නත් ඉගෙන ගන්න පුලුවන් වෙනවා. අපි මෙච්චර කල් නොදැන හිටපු විෂයක් වුණත්, දවසෙන් දෙකෙන් එක්ස්පර්ට් ලෙවල් එකට ඉගෙන ගන්න පුලුවන් වෙනවා. කොටින්ම කියනවා නම්, අපේ මොළය 100% ක කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් කාටද එහෙම ජීවිතයක් ඕන නැත්තේ?

ඇත්තටම මේ මොළේ 100% ක් පාවිච්චිය ගැන කියන කතාව නම් සත්‍යයක් නෑ. මොකද, මොළේ විවිධ ප්‍රදේශ වෙන් වෙලා තියෙන්නේ විවිධ කාර්යයන් කරන්න. එතකොට අපි කවුරුත් එක මොහොතක 100% ක් මොළයේ ධාරිතාවය පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි මොළයේ පාවිච්චි නොකරන කොටසක් කියලා එකක් නෑ. මොළේ හැම කොටසක්ම විවිධ අවස්ථා වල පාවිච්චියට ගැනෙනවා.

හැබැයි, ඇත්තටම අපිට ඕනම දෙයක් වඩා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට, ඕනම දෙයක් දිහා බලලා තේරුම් ගන්න පුලුවන් විදියට මොළේට බූස්ට් එකක් ලබාදෙන්න, Limitless ජීවිතයක් ගත කරන්න බැරිද අපිට? ඒකෙන් අපිට කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද? ඇත්තටම එහෙම කරන්න පුලුවන් බෙහෙතක් නම් දැනට හොයාගෙන නෑ. හැබැයි අපිට දැන් ඉන්න ලෙවල් එකකට වඩා ඉහළ ලෙවල් එකක කාර්යක්ෂමතාවයකින් මොළය පාවිච්චි කරන්න පුලුවන් විදියට අපිව හැඩගස්වාගන්න පුලුවන්. මේ කියන්න යන්නේ එහෙම කරන්නේ කොහොමද කියන එක තමයි.

01. අලුත් අලුත් හැකියාවන් එකතු කරගන්න

Make life like you are on NZT

දැන් අර ලිමිට්ලස් ෆිල්ම් එකේ පොර ජපන් බාසාව, ප්‍රංස බාසාව වගේ එව්වා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ෂෙයාර් මාර්කට් ඉගෙන ගන්නවා, බිස්නස් ඇනලිටික්ස් ඉගෙන ගන්නවා. පියානෝ ගහන්න ඉගෙන ගන්නවා. අර පෙත්තේ පවර් එක නිසා මෙව්වා දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න පොරට පුළුවන්. දැන් අපිට ඔය NZT පෙති නැති නිසා ඔව්වා දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න බෑ තමයි. හැබැයි ඉතින් අපිටත් බැරි නැහැ නේද? තියෙන්න ඕන උනන්දුව සහ කැපවීම තමයි. ඇත්තටම  NZT ගත්තා වගේ තමන්ට බූස්ට් එකක් ලබාදෙන්න නම්, නිරන්තරයෙන් ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. එතනදී මතක තියාගන්න, තමන්ට හොඳ විනයකින්, ෆෝකස් වෙලා දෙයක් ඉගෙන ගන්න පුලුවන් නම්, පැය විස්සකින් ඕනම දෙයක් ඉගෙන ගන්න පුලුවන්!

හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා. නර්ස් කෙනෙක් විදියට ජොබ් එක කරන, නර්සින් වලින් ඉස්සරහට යන්න හිතන කෙනෙක්, ව්‍යාපාර සංඛ්‍යානය ඉගෙන ගෙන වැඩක් වෙන එකක් නෑ. ඩිජිටල් මාර්කටින් කරන කෙනෙක්, නර්ස් කෙනෙක් වෙන්න ඉගෙනගෙන වැඩක් නෑ. අන්න ඒ නිසා, මේ අලුත් හැකියාවන් එකතු කරගන්න පාට් එකට කලින් ඇත්තටම 4 වෙනි පොයින්ට් එකේ කියලා තියෙන දේවල් කළාට පස්සේ. එතනදී තමන්ට කරන්න ඕන දේ, යන්න ඕන මාර්ගය තේරුම් ගත්තට පස්සේ, අන්න ඒ මාර්ගයට අදාළ වෙන හැකියාවන් තමයි එකතු කරගන්න ඕන. ඒ කියන්නේ, ඩිජිටල් මාකටින් ඉගෙන ගන්න කෙනෙක් පයිතන් ඉගෙන ගන්න එක, ඩේටා සයන්ස් ඉගෙන ගන්න එක අවුලක් නෑ. ඒ අතරේ ඔය වෙනත් භාෂාවක් දෙකක් ඉගෙන ගන්න එකත් හොඳයි. මානසික නිදහස වෙනුවෙන් පියානෝ ගහනවා වගේ දෙයක් ඉගෙන ගන්න එකත් ප්‍රශ්නයක් නෑ.

02. තමන් ගැන විශ්වාසයෙන් පටන් ගන්න

Make life like you are on NZT

ඇත්තටම අලුත් හැකියාවක්, අලුත් දෙයක් පටන් ගන්න තමයි අමාරුම. හේතුව, අපි ඒ දිහා බලපු ගමන් බය වෙනවා. තමන්ට බැරි වෙයි කියලා හිතනවා. උදාහරණයක් ගමු. දැන් ජපන් භාෂාව හරි රුසියානු භාෂාව හරි ඉගෙන ගන්න හිතුවට, අපිට එක පාරටම හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා. මොකද, ජපන් හරි රුසියානු හරි අක්ෂර මාලාව දැකපු ගමන් අපි බය වෙනවා. හැබැයි ඔය භාෂා දෙකෙන් ඕන එකක අක්ෂර මාලාව සහ ඒ අක්ෂර ශබ්ද වෙන විදිය ඉගෙන ගත්තට පස්සේ, අපිට තේරෙන්න පටන් ගන්නවා, වැඩේ හිතපු තරම් අමාරු නෑ කියලා. තව උදාහරණයක් ගමු. දැන් පරිගණක ක්‍රමලේඛනය ගැන මෙලෝ අවබෝධයක් නැති මනුස්සයෙක්ට පුලුවන්ද පරිගණක භාෂාවක් ඉගෙන ගන්න. බලපු ගමන් ග්‍රීක් වගේ නෙවෙයිද පේන්නේ. ඇත්ත. හැබැයි අපි මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක පුලුවන් දෙයක් කියලා.

ආන්න ඒ නිසා, තමන් ගැන විශ්වාසයෙන් ආරම්භ කරන එක තමයි අමාරු කාරණාව. අන්න ඒක ජයගත්තොත්, කල්දාන්නේ නැතුව වැඩේ පටන් ගත්තොත්, ඇදගෙන යන්න බැරි කමක් නෑ!

03. වැඩ කල් දැමීමට එරෙහිව සටන් කරන්න

Make life like you are on NZT

දැන් NZT පෙත්තක් ඇත්තට ලැබිලා, මොළේ ක්‍රියාකාරීත්වය ඩබල් ට්‍රිබල් වුණත් වැඩක් නෑ, වැඩ කල්දානවා නම්. ආන්න ඒ නිසා, NZT නැතත් NZT අරගෙන වගේ උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න නම්, මේ වැඩ කල්දැමීමේ නරක පුරුද්ද, එහෙම නැතිනම් procrastination වලට එරෙහිව සටන් කරන්න ඕන. මේ වැඩ කල්දැමීම කියලා කියන්නේ, තමන්ට කරන්න තියෙන වැඩ නොකර සෝෂල් මීඩියා වල උඩ පහළ යන්න, ෆිල්ම් එකක් බලන්න වගේ විනෝදය ලබන දේකට කාලය ගත කරන එක. ඇත්තටම මේ වැඩ කල්දැමීම නිසා හිතාගන්න බැරි විදියට තමන්ගේ කාලය නාස්ති වෙනවා සහ වැඩ අතපහු වෙනවා.

දැන් මේ ජීවිතේ සාර්ථකත්වය අඩාල කරව​න, වැඩ කල්දාන පුරුද්ද අත් හැර ගන්න ක්‍රම ගැන, ඊටත් කලින් වැඩ කල්දාන පුරුද්ද තමන්ටත් තියෙනවද කියලා හොයාගන්න ක්‍රම ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ඇත්තටම මේ ආටිකල් කියෙව්වහම තමන්ගේ වැඩ කල්දාන පුරුද්ද නැති කරගන්න, තමන්ට ගැලපෙන ක්‍රම සහ විධි හොයාගන්න පුලුවන්. අපි කියන්නේ ඒකත් කල්දාන්නේ නැතුව මේ දැන්මම ඒකට වැඩ කරන්න පටන් ගන්න කියලා.

04. සැලසුම් කරන්න, ප්‍රමුඛතාවයන් සකස් කරගන්න

Make life like you are on NZT

අපි පළවෙනි පොයින්ට් එකේදිම කතා කලා, ජීවිතේට අලුත් අලුත් හැකියාවන් එකතු කරගන්න ඕන, හැබැයි ඒක පටන් ගන්න ඕන හරියට සැලසුමක් හදලා, හරියට ප්‍රමුඛතාවයන් සකස් කරගත්තට පස්සේ. දැන් මේ ප්‍රමුඛතාවයන් හරියට සකස් කරගැනීම කියන්නෙත් NZT පෙත්ත ගත්තා වගේ ජීවිතේට බූස්ට් එකක් දෙන්න අත්‍යවශ්‍ය කාරණයක්. මොකද, ගොඩක් අයට ගොඩක් දේවල් කරන්න අවශ්‍යයි. හැබැයි ඒ හැමදේම කරන්න අපිට තියෙන්නේ දවසකට පැය 24 යි, අවුරුද්දකට දවස් 365 යි. එතකොට වෙන්නේ, එකක්වත් හරියට නොකෙරෙන එක. අන්න ඒ නිසා, අපිට තියෙන කාලය, සම්පත් සහ අපේ ජවය එක්ක, අපි මුලින්ම කරන්න ඕන දේවල් තීරණය කරගන්න ඕන. එතනදී ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න ඕන. කුසලතා ජීවිතේට එකතු කරගැනීමෙදීත්, කුසලතා දහයක් එක පාර ප්‍රැක්ටිස් කරන්න යන්නෙ නැතුව, එකක් පසුපස එකක් විදියට ප්‍රවීණතාවයට යන්න ඕන.

05. අසාර්ථකත්වයට බිය නොවන්න

Make life like you are on NZT

ඔන්න අපි කොහොම හරි NZT අරගත්තා කියමු. එතකොට අපිට යක්කු වගේ අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යන්න පුලුවන් වෙන එක හේතුවක් තමයි, අපිට දැනුමත් එක්ක ලැබෙන ආත්ම විශ්වාසය. ඒ කියන්නේ NZT පෙත්ත අරගෙන හැමදේම ක්ෂණයකින් ග්‍රහණය කරගන්න පුලුවන් වුණහම, ආයෙ වැරදීම් සිද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඉතින් ඇත්ත ජීවිතේ අපිට NZT නැහැනේ. එතකොට වැරදීම් වෙන්නෙ නෑ කියලා හිතන්නත් බෑ. හැබැයි ඇත්තටම ගොඩක් අය ජීවිතේ අතිසාර්ථක නොවෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි වැරදීම් වලට, අසාර්ථක වීම් වලට අතිශයින්ම බිය වීම. අන්න ඒ නිසා, අසාර්ථක වීම් වලට, ලෝකේ අය මොනවා කියයිද කියන එකට, සහ තවත් ඒ වගේ බාහිර විවේචන වලට බය නොවෙන්න ඕන. වැරදි වැරදී ඉස්සරහට යන්න ඕන. වරදිනවා කියන්නෙම අපි ඉන්නේ හරි ට්‍රැක් එකේ කියන එක.

06. අනවශ්‍ය පුරුදු හලා දමන්න, වැදගත් පුරුදු ඇති කරගන්න

Make life like you are on NZT

නිකමට තමන්ගේ මාසෙක කාලයක් අරගෙන බලන්න, කොයි තරම් කාලයක් අපි නාස්ති කරනවද කියලා. අපිට නින්දට, ආහාර පාන වලට, ගෙදරදොර කටයුතු වලට සහ පෞද්ගලික කටයුතු වලට යන කාලය කොහොමත් වෙන් කරන්න වෙනවා. හැබැයි ඒ කාලය අයින් කළත් අපිට වැඩ කරන්න කොයි තරම් කාලයක් මාසෙකින් ඉතුරු වෙන්න ඕනෙද? හැබැයි අපි ඒ සම්පූර්ණ කාලයෙන් ප්‍රයෝජනය ගන්නවද? අනවශ්‍ය, තේරුමක් නැති වැඩ වලට අපි කොයි තරම් වෙලාවක් නාස්ති කරනවද? ආන්න ඒක ගණන් හදලා බැලුවොත්, අපිට එතනින් එහාට අනවශ්‍ය දේවල් වලට නාස්ති කරන කාලයත්, ප්‍රයෝජනවත් වැඩට යොදවන්න පුලුවන්. උදාහරණයක් විදියට කොල්ලෝ නැතිනම් කෙල්ලෝ දෙතුන්දෙනෙක් එක්ක දවසකට පැය කීපයක් මල් කඩන්න වෙලාව ගත කරන මනුස්සයෙක්ට NZT ගත්තා වගේ බූස්ට් එකකින් ජීවිතේ දිනන්න බෑ. මොකද, අපිට NZT නැති නිසාම වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න සිද්ධ වෙනවා. එතකොට පෝර්න් බලන්න දවසකට පැයක් දෙකක් වෙන් කරන කෙනෙක් ගත්තත් එච්චරයි. අන්න ඒ නිසා, අපිට සිද්ධ වෙනවා මේ අනවශ්‍ය පුරුදු හලා දාලා වැදගත් පුරුදු ඇති කරගන්න. වැදගත් පුරුදු කියන්නේ අපේ වැඩ කාර්යක්ෂමව ඉටු කරගන්න, වැඩ වඩාත් පහසු කරගන්න, අපේ චිත්ත ඒකාග්‍රතාවය ඉහළ නංවන්න, අපේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්න, අපේ ශාරීරික මානසික යෝග්‍යතාවය ඉහළ නංවන්න වගේ දේවලට උදව් වෙන දේවල්.

07. ශාරීරික යෝග්‍යතාවය ලබාගන්න

Make life like you are on NZT

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. NZT ගත්තා වගේ ජීවිතේට බූස්ට් එකක් ලැබෙන්න නම්, අපිට තියෙන කාලය ඇතුළේ උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න වෙනවා. ඒ  කාර්යක්ෂමතාවය අත්පත් කරගන්න නම්, හොඳ ශාරීරික සහ මානසික යෝග්‍යතාවයක් තිබීමත් අනිවාර්යයි. අන්න ඒකට, අඩු තරමින් පැය 6 ක් හෝ 7 ක් වත් නිදාගැනීම, මහ රෑ වෙනකල් නිදි නොමැරීම, උදෑසන අවදිවීම, සමබල ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම් කිරීම, යෝගා, භාවනා වගේ දේවල් අනුගමනය කිරීම වගේ හැමදෙයක්ම අතිශයින්ම වැදගත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *