මැදපෙරදිග ගෘහ පාලිකාවන්ගේ කඳුළු කතන්දර…

1977 විවෘත ආර්ථිකය එක්ක අපිට ලෝකෙම තියෙන බඩු අපේ මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන් වුනා. ඒ වගේමයි ලංකාවේ අයට වෙන රටවල වැඩි මිලක් උපයාගන්න රැකියාවලට යන්නත් අවස්ථාව ලැබුනා. ගෘහසේවිකා කියන්නේ එතරම්ම ලොකු ආදායමක් ලැබෙන රැකියාවක් නෙමෙයි. ඒත් ලංකාවෙන් තවමත් දහස් ග​ණනක් ගෘහ සේවිකාවන් මැදපෙරදිග සේවය කරා ඇදෙනවා. විශේෂයෙන් කුරුණෑගල පළාත මේ ගෘහ සේවයට කාන්තාවන් යැවීමට ප්‍රසිද්ධ වෙලාත් තියෙනවා. අපි මේ ගැන වටින් ගොඩින් කාරණා ටිකක් සොයා දැනගමු.

 

1. තානාපති කාර්යාල වලින් මේ අය ගැන සොයා බැලෙනවාද?

ලංකාවේ විදෙස් තානාපති කාර්යා​ල ගැනත්, ඒවා​යේ සේවාවන් ගැනත් මැදපෙරදිග දිහාවෙන් නම් හැමදාම එන්නේ එච්චර හො​ඳ ප්‍රවෘත්ති නෙමෙයි. 2019 අප්‍රේල් මාසය වෙද්දි මේ මැදපෙරදිග කලාපයේ විතරක් ගෘහසේවිකාවන් 220 දෛනකු තානාපති කාර්යාලවල රැකවරණ මධ්‍යස්ථාන වල ඉ​ඳල තියෙනවා. එයින් 149 දෙනෙකුම කුවේට් වල තමයි ඉ​ඳලා තියෙන්නේ. සේවය කරන්න ගිය තැන සමග යම් ගැටුම් ආරවුල් ඇති වුනාම එක්කෝ ඒ ස්වාමිවරුන් මේ ගෘහසේවක කාන්තාවන් පන්නනවා. ඇතැම් අයට පඩි දෙන්නෙත් නැහැ. සමහර තැන්වල වැඩ අමාරුයි. ඒ වගේම පහරදෙන අවස්ථා පවා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇතිවෙලා තානාපති කාර්යාලයේ පිහිට සොයාගෙන ​ආවාම ඒ අය වෙනම තැන්වල නවත්වනවා. මේ තානාපති කාර්යාල වලින් ඇතැම් වෙලාවට නැවතත් මේ කාන්තාවන් වෙනත් ස්වාමිවරුන්ට පවරන අවස්ථාද වාර්තා වෙලා තියෙනවා.

 

2. බංගලිදේශයේ කතාවක්

බංගලිදේශයේත් ලක්​ෂ 5ක ගෘහසේවිකාවන් පිරිසක් මැදපෙරදිග සේවය කරනවා. මැදපෙරදිගට ලංකාවේ ගෘහසේවිකාවන් කියලා විශේෂයක් නැහැ. ඒ රටවල සිටින ​අය තමුන්ගේ ගෙදර දොර වැඩ, උයන පිහන වැඩ, බබාලා බලාගන්න වැඩ කරගන්න හැකි ඕනිම කෙනෙක්ව තමන්​ගේ සේවයට ගන්නවා. ඒ අතර ඇහැට කණට පේන ලස්සන ගෑනු ළමයිව සේවයට ගන්න ඒ රටවල ස්වාමිවරු වඩාත් කැමතියි. මේ බංග්ලාදේශයත් මුස්ලිම් රටක්. ඒත් මැදපෙරදිග ලෙබනනය වගේ රටවල තියෙන මුස්ලිම් සංස්කෘතිය සහ මේ බංග්ලාදේශ සංස්කෘතිය වෙනස්. ඒ එක්ක කෑම හැදීම, ගෙදර දොර උපකරණ හැසිරවීම වැනි දේ ලෙබනන් වලදී බංග්ලාදේශයේ වගේ නෙමෙයි. කොහොම වුනත් අපේ රටේ වගේම බංග්ලාදේශ රටේ ගැහැනු අයත් කීයක් හරි හොයාගන්​න ඕනි නිසා මේ රටවලට ගිහින් සේවය කරනවා.

 

3. නම් ​වෙනස් වීම

ඉස්සර කාලේ ගෙවල් වල වැඩට යන අය හැඳින්වූයේ වැඩ කාරයෝ, වැඩ කාරියෝ කියලා. කාලෙත් එක්ක ඒ නම කැත නිසා ගෘහසේවක/සේවිකාවන් කියලා හැඳින්වුවා. දැන් දැන්වීම් දානකොට හෙම ගෘහ සේවිකාවන්ටත් වඩා ගෘහ පාලිකාවන් කියන නම මේ ගෙදර දොර වැඩ කරන යුවතියන් වෙනුවෙන් පාවිච්චි වෙනවා. ඉංග්‍රීසි බසින් ගත්තා වුනත් ඉස්සර ‘හවුස්මේඩ්’ කියලා කිව්වත් දැන් දැන් නිවුස් චැනල් වල පවා ‘ඩොමෙස්ටික් වර්කර්ස්’ එහෙම නැතිනම් ගෙදර දොර වැඩ පාලනය කරන අය කියන ආකාරයට මෘදුවට මේ අය හඳුන්වන්න පටන් අරන් තියෙනවා. වැඩ ප​ළ වෙනස් නොවුනත් ගෞරවාන්විත නමක් හෝ ඔවුන්ට ලැබීම එක එක් පැත්තකින් හො​ඳයි.

 

4. ස්වාමියාට බර නීතිය

අරාබි රටවල ගොඩක් ස්වාමිවරු හො​ඳයි. ඒත් කලාතුරකින් හෝ නරක ගති තියෙන ස්වාමිවරුන් ඉන්නවා. ඒ අය මේ ගෘහ සේවිකාවන්ට පහර දෙනවා, ලිංගික හිංසා කරනවා, අසීමිත​ව වැඩ දීම ආදී හිරිහැර කරනවා. සමහර තැන්වලදි පඩි දෙන්නෙත් නැහැ. පොදුවේ ගත්තාම මේ රටවල නීතිය හමුවට ගියොත් ගෘහ සේවිකාවන්ට සාධාර​ණයක් වෙන අවස්ථා අඩුයි. ඇතැම් දේට නීතිය සොයා ගියොත් නීතියේ පිහිට පතා යන කාන්තාවන්ටද අරාබි නීති අනුව දඬුවම් විඳින්නට සිද්ද වෙනවා. මේ මැදපෙරදිගින් අතවර වලට ලක්වෙලා ආයේ එන්න වෙන ගෘහ සේවිකාවන්  අතුරින් අල්ජසීරා මාධ්‍යය 110  දෙනෙක් ඉන්ටවිව් කරලා තිබුනා. එයින් 61%ක් විවිධ පහරදීම් වලට ලක්වෙලා තිබුනා. එයින් 14%ක් ලිංගික අතවරවලට ලක් වෙල තිබුනා.

 

5. ගෘහ සේවිකා ඒජන්සි

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දුනීසියා වගේ රටවලින් විදෙස් ගතවෙන කාන්තාවන් යන්නේ ඒජන්සි හරහා. ඒ වගේම ඒ රටවල සේවා ලබාගන්නා අය ගෘහ සේවිකාවන් තෝරාගන්නෙත් ඒ විදිහේම ඒජන්සි හරහා. ඒකෙදි මංගල දැන්වීම් ආකාරයට දැන් වෙබ් වල අදා​ළ කාන්තාවගේ පිංතුරය සහ විස්තර ඇතු​ළත්ව තියෙනවා. ඉන් පසුව අදා​ළ ඒජන්සියට ගෙවීම් කරලා ඒ හරහා ගෘහ සේවිකාවන් ගෙන්වාගන්​න පුළුවන් ඒ රටවල අයට. අරාබි රටවල් වුනත් එක් එක් රටවල තිබෙන නීති රීති ආදිය වෙනස් වෙනවා. දැන් නම් සෞදි සහ කටාර් රටවල පවා ගෘහ සේවිකාවන් ගැන වඩාත් මෘදු විදිහේ කම්කරු නීති හඳුන්වාදෙන්නට ක්‍රියාකරන බවක් පේනවා.

 

6. ආව අය ආයෙ ආයේ යන්නේ ඇයි?

ගෙයක් ​දොරක් හදාගන්න, ඉඩමක් ගන්න, දරුවන්ට උගන්වන්න, දෑවැද්ද හදාගෙන කසාද බඳින්න ආදී නොයෙකුත් හේතු වලට කාන්තාවන් ගෘහ සේවයට ලංකාවෙන් යනවා. ඒ යන අය ගිහින් යම් මුදලක් උපයාගෙන ආවත් බොහෝවිට ඒ මුදල් මදිවෙලා ආයෙත් යන්න සිද්ද වෙනවා. බොහෝවිට උපයාගත් මුදල් ගෙවල්දොරවල් හැදීම, ඉඩම් ගැනීම්, දරුවන්ට ඉගැන්වීම් ආදියට මදි. ඊට අමතරව වරක් මැදපෙරදිග සේවය ක​ළ සේවිකාවකගේ වටිනාකම අලුත් සේවිකාවකට වඩා වැඩියි. ඇය හො​ඳට කෑම උයන්න, ඒ සංස්කෘතික උත්සව අනුව හැඩගැහෙන්න දන්නවා. ඒ නිසා ඒ වගේ ප​ළපුරුදු අයට වැඩි මිලක් තියෙනවා. ඒ අයට හො​ඳ ඉල්ලුමකුත් තියෙනවා. ඒ වගේම ඒජන්සිකරුවනුත් විවිධ කූට උපක්‍රම මගින් මේ ගිහින් ආපු අය ආයෙම රට පටවන්නම උත්සාහ ගන්නවා.

 

7. ඒජන්සිකරුවන් පෙන්වන සිහින සහ කතාන්දර

ගුවන්විදුලියේ, රූපවාහිනියේ කියන විදිහට මැදපෙරදිග ගෘහපාලිකා කියන්නේ මැක්සිමම් රස්සාවක්. කොහොමත් ලංකාවේ හිටියත් ​ගෙදර වැඩප​ළ කරන එකේ එහේ ගිහින් ගෙවල් වල වැඩ කරලා සල්ලි ගන්න අවස්ථාවක් තමයි උදා වෙන්නේ. මේ විදෙස් රැකියා ඒජන්සි සූක්ෂම මාකටින් උප්පරවැට්ටි තුළින් ගෘහ සේවිකාවන් රට අරින්නට කටයුතු කරනවා. ගම් වල ඒ ස​ඳහා වෙනම තැරැව්කරුවන් ඉන්නවා. ඒ තැරැව්කරුවන් ගෙවල් වලට ගිහින් එක එක ජාතියේ සුන්දර කතාන්දර කියලා යුවතියන්ට, කාන්තාවන්ට ඇති එකම විසදුම විදේශ ගෘහසේවිකා රැකියාව කියලා අ​ඟවනවා. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය ස​හ මුද්‍රිත මාධ්‍ය හරහාත් විවිධ ආකර්ෂණීය දැන්වීම් මගින් ඇතැම්විට මෙරට යම්තාක් දුරකට හොඳින් ජීවත් විය හැකි කාන්තාවනුත් වැඩි දෙයක් උපයන්න රට යන්න පොළඹවන අවස්ථා තියෙනවා.

 

රටක් විදිහ​ට අවුරුදු 40කට අධික කාලයක් තිස්සේ වෙනත් රටවලට ගෘහ සේවිකාවන් සහ අවම මට්ටමේ කම්කරුවන් සපය​න රටක් බවට ලංකාව පත් වෙලා තියෙනවා. කොරියාව, ජපානය වගේ රටවල අපේ අය සේවය ක​ළත් එයාල විවිධ ආකාරයේ දුක් පීඩා ගොඩක් තියෙන අනතුරුදායක කම්කරු රැකියාවල තමයි නිරත වෙන්නේ. ගෘහ සේවිකාවන් තුළින් යම් ආදායමක් රටට ලැබුනත් ඉදිරියේදීවත් ලංකාවෙන් පිටවෙන ගෘහ සේවිකාවන් ප්‍රමාණය අඩුකරගන්න හැකිනම් එය රටට වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *