සියදිවි නසාගැනීමෙන් ජීවිතය කෙළවර කරගත් ප්‍රසිද්ධ පුද්ගලයෝ 11ක්

artists who committed suicide

ප්‍රසිද්ධ, ජනප්‍රිය අයට මොනවයින් අඩුවක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒ විදිහේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය සමහරුන්ගේ ජීවිත වලට ළං වෙලා බැලුවොත් ඒ අය සමහරවිට අපිටත් වඩා ජීවිතේ පවත්වාගෙන යෑමේ සටනක නිරතවෙනවා කියලා අපිට පෙනේවි. මේ කියන්න යන්නේ ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය ලැබුවත් ජීවිත ආශාව හීන වීම නිසා ජීවිතය අත හැරපු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ 11 දෙනෙක් ගැන.

 

1. මැර්ලින් මොන්රෝ

artists who committed suicide

Source – scmp.com

50 දශකයේ ප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක් සහ සරාගී සංකේතයක් වෙච්ච මැරිලින් මොන්රෝ සියදිවි නසාගන්නේ තරුණ අවධියේමයි. ඇගේ අනපේක්ෂිත මරණය ලෝකය පුරා කොතරම් ආන්දෝලනයක් ඇති කළාද කියනවනම් අදටත් මැරිලින්ගේ මරණය සිද්ධ වුණු ආකාරය ගැන නොයෙකුත් කොන්ස්පිරසි තියරි හැදෙනවා. 1962 අගෝස්තු 5 වැනිදා මරණයට පත්වන මැරිලින්ගේ මරණයට හේතුව හැටියට සඳහන් වෙන්නේ නිද්‍රාජනක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමයි. කෙසේ වෙතත් අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන තියරියක් වන්නේ මැරිලින් සියදිවි නසාගත්තා නොව, රොබර්ට් එෆ් කෙනඩි සමග පැවැත්වූ සම්බන්ධය නිසා CIA සංවිධානය විසින් ඇයව ඝාතනය කළ බවයි.

 

2. ක්‍රිස් බෙන්වා

artists who committed suicide

Source – sickchirpse.com

2007 අවුරුද්දෙ සිද්ධ වුණු ක්‍රිස් බෙන්වාගේ සිය දිවි නසාගැනීම රෙස්ලිංග් ලෝකයම කම්පාවට ලක් කරන්න සමත් වෙච්ච සිදුවීමක්. ක්‍රිස් බෙන්වා සියදිවි නසාගන්නේ ඔහුගේ බිරිඳවත් පුතාවත් අමානුෂික අන්දමින් ඝාතනය කිරීමෙන් පසුවයි. රෙස්ලිංග් ක්‍රීඩාවේදී දිගු කාලයක් තිස්සේ හිසට පහර එල්ල වීමෙන් මොළයට හානි වී තිබීමත්, ස්ටෙරොයිඩ් භාවිතාවේ අතුරු ඵලයක් ලෙස ඇතිවෙන කෝපයත් නිසා බෙන්වා මේ අපරාධය සිදු කරන්න පෙළඹුනා කියල තමයි පර්යේෂණ වලදී නිගමනය කළේ.

 

3. ක්ලියෝපැට්රා

artists who committed suicide

Source – visitcolombo.com/

ලෝකයේ එතෙක් මෙතෙක් හිටපු සුරූපීම කාන්තාවක් වූ ක්ලියෝපැට්රාත් සියදිවි නසාගැනීමෙන් තමයි ඇගේ ජීවිතය අවසන් කරගන්නේ. මිය යන විට ඇය 39 හැවිරිදියි. සමහරු නම් ඇගේ මරණය මිනීමැරුමක් වෙන්න පුළුවන් බවටත් සැක කරනවා. ක්ලියෝපැට්රා සියදිවි නසාගෙන ඇත්තේත් තරමක් අමුතු ක්‍රමයකටයි. ඒ අධික විෂ සහිත සර්පයෙක් ලවා තමන්ට දෂ්ට කරවා ගැනීමෙනුයි.

 

4. රොබින් විලියම්ස්

artists who committed suicide

Source – usatoday.com

තමන්ගේ රංගන ප්‍රතිභාවයෙන් සුවහසක් සිත් සැනසූ රොබින් විලියම්ස් රංගධරයාත් අවාසනාවකට සියදිවි නසාගන්න පෙළඹුන තැනැත්තෙක්. සියදිවි නසාගන්න විට විලියම්ස්ගේ වයස අවුරුදු 63ක්. ජීවිතයේ අවසාන කාලයේදී මොළය හා සම්බන්ධ දුර්ලභ රෝගී තත්ත්වයක් නිසා රොබින් විලියම්ස් දැඩි දේ වේදනා වින්ද බවටයි ඔහුගේ සමීපතමයන් පවසා තිබුණේ. පටියක් භාවිතා කර එල්ලී, හුස්ම හිරකර ගැනීමෙන් තමයි විලියම්ස් දිවි නසා ගන්නේ.

 

5. අර්නස්ට් හෙමිංග්වේ

artists who committed suicide

Source – biography.com

කීර්තිමත් අමෙරිකානු ගත්කතුවරයෙකු වූ අර්නස්ට් හෙමිංග්වේ ගැන සාහිත්‍ය ලෝලී ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. අතිශය ජනප්‍රිය ‘මහල්ලා සහ මුහුද’ කෘතිය ඔහුගේ රචනයක්. ඉතාම ශක්තිමත් පෞරුෂයක් හිමි තැනැත්තෙක් වුවත්, ජීවිතයේ මැදි විය පසුකරගෙන යත්ම විවිධ අනතුරු සහ රෝගාබාධ වලට මුහුණ දීමට සිදුවීම නිසා හෙමිංග්වේ පසුවී ඇත්තේ මානසික අසහනයෙනුයි. 1961 ජුලි 2 වැනි දා තමන්ගේ කානු දෙකේ තුවක්කුවෙන් හිසට වෙඩි තබාගෙන හෙමිංග්වේ සියදිවි නසාගන්නවා. මුලදී මෙය තුවක්කුව සුද්ධ කිරීමට යාමේදී සිදුවූ අනතුරක් ලෙස හුවා දැක්වුවත්, පසු කලෙකදී හෙමිංග්වේගේ පවුලේ අය විසින්ම ඔහුගේ සියදිවි නසාගැනීම පිළිගනු ලබනවා.

 

6. ඇලන් ටියුරින්

artists who committed suicide

Source – flavorwire.com

පරිගණක විද්‍යාවේ පියා ලෙසින් සැලකෙන ඇලන් ටියුරින් ඉතාම ඛේදජනක ඉරණමකට ගොදුරු වුණ තැනැත්තෙක්. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය පැරදවීමට ඉමහත් සේවයක් ඉටුකළ ටියුරින්ගේ ජීවිත කථාව අළලා තැනූ The Imitation Game චිත්‍රපටය සමහරවිට ඔබ නරඹලාත් ඇති. ඇලන් ටියුරින් සමලිංගික ඇසුර ප්‍රියකළ තැනැත්තෙක්. ඒ කාලයේ සමලිංගික සේවනය තහනම්වයි පැවතුනේ. තවත් පුරුෂයෙක් සමග ටියුරින් පැවැත්වූ සමලිංගික ඇසුරකට ටියුරින්ව නීතියෙන් වරදකරු බවට පත්වනවා. දඬුවම හැටියට ටියුරින්ට හෝමෝන එන්නත් ලබා දී ඔහුව ලිංගික බෙලහීනතාවයට පත් කරනු ලබනවා. මෙයින් කළකිරෙන ටියුරින් ඊට ටික කලෙකට පසු සයනයිඩ් ශරීරගත කරගනිමින් සියදිවි නසාගන්නවා.

 

7. කර්ට් කොබේන්

artists who committed suicide

Source – wikipedia.org

කර්ට් කොබේන් කියන්නේ රොක් ලෙජන්ඩ් කෙනෙක්. සුප්‍රකට නිර්වාණා සංගීත කණ්ඩායමේ ආරම්භකයා වන්නේත් කොබේනුයි. කර්ට් දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිව සිටි පුද්ගලයෙක්ද වනවා. 1994 අප්‍රේල් 8 වැනිදා 27 හැවිරිදි කෝබේන්ගේ ප්‍රාණය නිරුද්ධ මළසිරුර ඔහුගේ නිවසේදී හමුවෙනවා. වෙඩි පහරක් මගින් හිසට සිදුවූ තුවාල සහිතව තිබූ කොබේන්ගේ මළසිරුර අසලදී ෂොට් ගන් එකක්ද හමුවනවා. මරණ පරීක්ෂණ වාර්තාව මගින් කර්ට් කොබේන් හිසට වෙඩිතබාගෙන සියදිවි නසාගත් බවට තීරණය කරනවා. කෙසේ වෙතත් අදටත් මේ මරණය අභිරහසක් හැටියටයි බොහෝ දෙනෙක් සලකන්නේ.

 

8. ක්‍රිස් කෝනෙල්

artists who committed suicide

Source – pen.spotify.com

අමෙරිකානු රොක් සංගීතඥයෙක් වගේම ගීත රචකයෙක් වුන ක්‍රිස් කෝනෙල් සියදිවි හානි කරගත්තේ පහුගිය අවුරුද්දේ මැයි මාසේ දීයි. තරුණ අවදියේ පටන් මත්පැන් සහ වේදනා නාෂක ඖෂධ වලට ඇබ්බැහි වී සිටි ක්‍රිස් පසු කලෙකදී ඒ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නටද සමත් වෙනවා. කෙසේ නමුත් ඔහුගේ උරහිසේ ආබාධයකට නිර්දේශ කරන ලද වේදනා නාෂකයක් නිසා ක්‍රිස් නැවතත් එම ඖෂධ වලට ඇබ්බැහි වන්නට පටන් ගත් වගයි ඔහුගේ බිරිඳ කියන්නේ. ජීවිතයේ අවසාන කාලයේදී විෂාදයෙන්ද බැට කමින් සිටි ක්‍රිස් 2017 මැයි 18 වැනිදා ගෙල සිරකරගැනීමෙන් දිවි නසා ගන්නවා.

 

9. වින්සන්ට් වෑන් ගෝ

artists who committed suicide

Source – biography.com

වින්සන්ට් වෑන් ගෝ කියන්නේ සිතුවම් කලාව තුළ විප්ලවයක් කරපු ලන්දේසි ජාතික සිත්තරෙක්. ඔහුගේ සිතුවම් ලෝකය පුරාම ප්‍රසිද්ධයි වගේම ඉතාම වටිනාකමකින් යුක්තයි. වෑන් ගෝ සියදිවි නසාගන්නේ 37 වැනි වියේ පසු වෙද්දීයි. තිරිඟු යායක සිට සිතුවමක් අඳිමින් සිටියදී තමන්ගේ පපුවට ඔහු විසින් වෙඩි තබාගන්නවා. වෑන් ගෝ ඒ මොහොතේදීම මිය නොගියත්, තුවාලයට විෂ බීජ ඇතුළුවීම නිසා ඊට දින දෙකකට පසු ඔහු මෙළොව හැර යනවා. මිය යන්නට පෙර අවසාන වචන ලෙස ‘දුක සදාකල් පවතීවි’ යැයි වෑන් ගෝ පැවසූ වගටයි සඳහන් වෙන්නෙ.

 

10. චෙස්ටර් බෙනිංග්ටන්

artists who committed suicide

Source – billboard.com

ලෝ පුරා රොක් සංගීත ලෝලීන්ට 2017 අවුරුද්ද කියන්නේ ඉතාම ශෝකදායී වසරක්. 2017 අවුරුද්දෙ මැද භාගය වෙද්දී රොක් ලෝකයේ ජනප්‍රියම තරු දෙකක්ම මෙළොව හැර යනවා. ඉන් එක්කෙනෙක් තමයි අපි ඉහතින් කියපු ක්‍රිස් කෝනෙල්. අනෙකා තමයි ජනප්‍රිය ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක චෙස්ටර් බෙනිංටන්. 2017 ජුලි මස 20 වැනිදා ගෙල වැළලාගෙන දිවි හානි කරගත් චෙස්ටර් බෙනිංටන්ගේ සිරුර ඔහුගේ නිවසින් හමුවනවා. චෙස්ටර්ට තදබල ලෙස වධ දුන් විෂාදය ඔහුගේ මරණයට හේතුව වන්නට ඇතැයි යන්න තමයි වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ.

 

11. යූකියෝ මිෂිමා

artists who committed suicide

Source – legacy.com

යුකියෝ මිෂිමා කියන්නේ ජපන් ලේඛකයෙක්. සිඳුලෝලී සේලරුවා, රළ පෙරළිය වැනි ඔහුගේ කෘති සිංහලයටත් පරිවර්තනය වෙලා තියනවා. පසු කාලෙකදී මිෂිමා විසින් අතීත ජපන් සාරධර්ම ඉදිරියට ගෙනයනු පිණිස පුහුණු හමුදාවක්ද සංවිධානය කරනවා. 1970 නොවැම්බර් 25 වන දින මිෂිමා මේ හමුදා සාමාජිකයින් පිරිසක්ද සමග රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරන්නේ ටෝකියෝවේ ආරක්ෂක හමුදා මූලස්ථානය යටත් කරගැනීමට උත්සාහ කරමින්. මේ උත්සාහය සාර්ථක වුවත්, මිෂිමා බලාපොරොත්තු වූ සහයෝගය යටත් වූවන්ගෙන් නොලැබුණ තැනදී ඔහු විසින් හරාකිරි සම්ප්‍රදායට අනුව තමන්ගේ ජීවිතය නැති කරගෙන තිබෙනවා.

Cover Image Source – Lifie Graphics

Leave a Reply

Your email address will not be published. Required fields are marked *