ආදරේ ටිකක් වැඩිපුර එකතු කරලා සෙක්ස් ලයිෆ් එක තව සාර්ථක කරගන්න ටිප්ස්!

දැන් ඔය ගොඩක් අය කියන දෙයක් තමයි, සෙක්ස් කරන්න මට ආදරේ ඕන කියන එක. ඒක බොරුවක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට ශාරීරික සම්බන්ධතාවයකට යන්න නම් හොඳ මානසික සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව කිසිම මානසික සම්බන්ධතාවයක් නැතිව ශාරීරිකව එකතු වෙන්න නම් අපි එක්කෝ රොබෝවරු වගේ වෙන්න ඕන, එහෙම නැතිනම් නිකම්ම සෙක්ස් ටෝයි එකක් වෙන්න ඕන. හැබැයි ඒ මානසික සම්බන්ධතාවය ආදරේමද කියන එක සෑහෙන්න වාදවිවාද වලට පාත්‍ර වුණු දෙයක්. ඒ නිසා මේ මොහොතේ අපි ඒ ගැන කතා නොකරන ඉමු.

 

හැබැයි ඇත්තටම දෙන්නෙක් අතරේ ඉතාම හොඳ මානසික සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ, ඒ දෙන්නගේ සෙක්ස් ලයිෆ් එකත් වඩාත් හොඳින් එන්ජෝයි කරන්න පුලුවන් වෙනවා කියන එක තමයි. හැබැයි මේ කියන්නේ නීත්‍යානුකූල බැඳීම් ගැන නෙවෙයි. උදාහරණයක් විදියට කිව්වොත්, නීතියට අනුව හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වුණත්, ඒ දෙනා අතර ඉතාමත්ම හොඳ මානසික සම්බන්ධතාවයක් නැතිනම්, සෙක්ස් කිරීම ඒ තරම් එන්ජෝයි කරන්න පුලුවන් දෙයක් වෙන්නෙ නෑ. හැබැයි නීතියෙන් සම්බන්ධතාවයක් නැතත්, එකිනෙකා කෙරෙහි ආදරයක්, දෙන්නා අතර ඉහළ මානසික සම්බන්ධතාවයක් තියෙනවා නම් සෙක්ස් ලයිෆ් එක සෑහෙන්න තෘප්තිමත් එකක් වෙයි. ආන්න ඒ කාරණාව නිසා තමයි, කොහොමද දෙන්නෙක්ගේ සෙක්ස් ලයිෆ් එක තව රොමෑන්ටික් කරගන්න පුලුවන් වෙන්නේ, සෙක්ස් ලයිෆ් එකට තව ටිකක් ආදරේ එකතුකරගන්න පුලුවන් වෙන්නේ කියන එක ගැන අපි අවබෝධයෙන් ඉන්න වුවමනා.

 

මේ ඒකට ටිප්ස් කීපයක්!

 

01. දෙන්නට දෙන්නා ගැන දැනගන්න

සාමාන්‍යයෙන් දෙන්නෙක් මුණගැහුනට පස්සේ ඇඳට යන තැනට එන්න කලින් ෆ්ලර්ට් කරන, කතා බහ කරන කාලයක් තියෙනවනේ. ඒක හරියටම කිව්වොත් බොහොම සුන්දර කාලයක්. හැබැයි ඒක සුන්දර කාලයක් වෙන්නේ ඒක හරියට ග්‍රහණය කරගන්න පුලුවන් වුණොත් තමයි. ඒ කියන්නේ කෙනෙක් එක්ක අපි කතා බහ කරන්නේ ඇඳට නගින්නේ කොයි වෙලේද කියලා බලාගෙන නම්, අපිට ඒ කෙනාව හරියට අඳුනගන්න හොඳ චාන්ස් එකක් මිස් වෙන්නේ. අන්න ඒ නිසා, මේ කතා බහ කරන කාලේ දෙන්නට දෙන්නා හොඳින් අඳුනාගන්න වෙන් කරන එක හොඳ දෙයක්. ඒ කියන්නේ ගතිගුණ, ගතිලක්ෂණ ගැඹුරින් සයිකොඇනලිසිස් කරන ලෙවල් එකක් නෙවෙයි. හැබැයි එක් එක්කෙනා අකමැති දේවල්, කැමති දේවල් ගැන දැනගන්න, එයාට සතුටු හිතෙන දේවල්, දුක හිතෙන දේවල් දැනගන්න පුලුවන් මේ කතාබහෙන්. ආන්න ඒක රොමෑන්ටික් සෙක්ස්  වලට හොඳ ප්‍රවේශයක්.

 

02. සෙක්ස් කරන්න කලින් ඩේට් අවුට් කීපයක්

මේකත් උඩ කියපු කාරණාවට සම්බන්ධයි. දැන් සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව ඩේට් කරනකොට සිද්ධ වෙන්නේ මොකක්ද? ඔන්න අපි කෙනෙක්ව දැන හඳුනගන්නවා මොකක් හරි ක්‍රමයකින්. ඊට පස්සේ ඔන්න අපි ඒ කෙනා එක්ක අපි කතාබහ කරන්න පටන් ගන්නවා. ඒ කතාබහ එක්ක දෙන්නට දෙන්නා කම්ෆර්ටබල් කියලා තේරෙනවා නම්, දෙන්නට දෙන්නා කැමැත්තකුත් තියෙනවා නම්, ඔන්න එක්කෙනෙක්ට පුලුවන් අනික් කෙනාට ඩේට් අවුට් එකකට ආරාධනා කරන්න. ඊට පස්සේ ඩේට් අවුට් එකකට ගිහින් දෙන්නට එකිනෙකා එක්ක කාලය ගත කරලා, තව සමීප වෙන්න පුලුවන්. දැන් මෙතනදී ඕන නම් දෙන්නට පළවෙනි ඩේට් අවුට් එකෙන්ම කෙළින්ම ඇඳට යන්නත් පුලුවන්. ඒකේ වරදක් කියන්න බෑ. හැබැයි පළවෙනි ඩේට් අවුට් එකෙන්ම ඇඳට නොයා, ඩේට් අවුට් කීපයක් ගියාට පස්සේ සෙක්ස් කරන්න යන එකෙන්, දෙන්නා අතරේ සම්බන්ධය වඩාත් ශක්තිමත් වෙන්න ඉඩක් ලැබෙනවා. ඒක සෙක්ස් වඩාත් රොමෑන්ටික් වෙන්නත් හේතුවක්.

 

03. පරාර්ථකාමය

මේක ඉතින් බොහොම පුළුල්ව කතා කරන්න ඕන කාරණාවක්. අපිට වෙන දවසක විස්තරාත්මකව කතා කරන්නත් පුලුවන්, කොහොමද සෙක්ස් කරනකොට පරාර්ථකාමී වෙන්නේ කියලා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සම්බන්ධයෙන් නෙවෙයි. සම්බන්ධතාවයක් ඇතුළේ ආත්මාර්ථකාමී බව හෝ පරාර්ථකාමී බව කොහොමද සෙක්ස් ලයිෆ් එකට බලපාන්නේ කියන එක. කොහොමත්, මූලික රීතියක් හැටියටම, ආත්මාර්ථකාමී ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙක්ට ලබාගන්න පුලුවන් සතුට අඩුයි. ආන්න ඒක ලව් ලයිෆ් එකටත් අදාළයි. ඒ කියන්නේ, අපි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේම අපිට මොනවහරි ලබාගන්න නම්, එතන පරාර්ථකාමී අදහස් නැතිනම්, එතන ලව් එකක් තියෙනවද කියන එකත් සැකයි. ඒ නිසා, මුලින්ම ලව් කරනකොට අනිකා ගැන හිතන එක, පරාර්ථකාමී වෙන එක හොඳ දෙයක්. වෙන විදියකට කියනවා නම්, එයාව සතුටු කරන්න අපිට කරන්න පුලුවන් මොනවද කියලා හිතන්න. එයාගේ සතුට අපෙත් සතුට කරගන්න. අන්න එතකොට, සෙක්ස් ලයිෆ් එකත් පරාර්ථකාමී වෙනවා. ඒක වඩාත් රොමෑන්ටික්.

 

04. සෙක්ස් කරන්න ඩේට් අවුට් එකක්

දැන් ලංකාවේ එහෙම නම් සාමාන්‍යයෙන් කොල්ලන්ට කෙල්ලන්ට සෙක්ස් කරනවා කියන එක ටිකක් තහනම් මාතෘකාවක් වගේනේ. ඒ කියන්නේ, එහෙම හිතූ හිතූ හැටියේ සෙක්ස් කරන්න පුලුවන් තැන් අඩුයි. මොකද, ගොඩක් කෙල්ලෝ කොල්ලෝ කසාද බැඳල පිටවෙනකල් ජීවත් වෙන්නෙත් අම්මලා තාත්තලා එක්ක. අන්න එතකොට, ගොඩක් වෙලාවට වෙන්නේ කොහේ හරි රූම් එකකට හෝ හොටෙල් එකකට ගිහින් සෙක්ස් කරන එක තමයි. එහෙම නැතිනම් කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි ප්ලේස් එකේ හදිසියෙන් සෙට් වෙලා සෙක්ස් කරන එක. හැබැයි මෙහෙම සෙක්ස් කරන එක වඩාත් එන්ජෝයි කරන්න පුලුවන් එකක් කරගන්න නම්, අපි කියන්නේ නිකම්ම සෙට් කරන්නම සෙට් වෙන්න එපා කියලා. ඒ කියන්නේ රූම් එකට ගියපු ගමන් වොෂ් එකක් දාගෙන ඇඳට නගින්න බලාගෙන එන්න එපා කියලා. අපි කියන්නේ ඒක හොඳ ඩේට් අවුට් එකක් කරගන්න කියලා. උදාහරණයක් විදියට, දෙන්නත් එක්ක කොහේ හරි ඇවිදින්න ගිහින්, දවස එන්ජෝයි කරලා, හොඳට කාලා බීලා, හවසට රිලැක්ස් එකේ හොටෙල් රූම් එකට ඇවිත් සෙක්ස් කරන එකෙන් වෙනම තෘප්තියක් ලැබෙන්නේ. ඒක ඉතාම රොමෑන්ටික්. එහෙම අත්දැකීමක් මිස් කරගන්න එක ඇත්තටම අපරාදේ.

 

05. මූඩ් එකට සෙට් වෙලා

සෙක්ස් ලයිෆ් එක වඩාත් රොමෑන්ටික් කරගන්න පුලුවන් විදියක් තමයි, රොමෑන්ටික් සෙක්ස් වලට හොඳ මූඩ් එකක් නිර්මාණය කරන එක. ඒ කියන්නේ හදිස්සියේ ඕනම මුල්ලක ඉඳන් ඇදල ගත්තා දමල ගැහුවා ටයිප් එකට සෙක්ස් කරන්න යන්නෙ නැතුව, ඒකට ගාණට පසුතලය නිර්මාණය කරන එක. ඇත්තටම මේක ලොකු අමාරු දෙයක් නෙවෙයි. සද්ද බද්ද නැති නිස්කලංක තැනක් තෝරගන්න එකෙන්, ඒ තැන පිරිසිදු තැනක් කරගන්න එකෙන්, රොමෑන්ටික් මියුසික් එකක් එහෙම ලාවට පසුබිමින් වාදනය කරන එකෙන්, මූඩ් එකට හරි යන සුවඳ කූරු හරි මොනවා හරි පත්තු කරන එකෙන්, එතකොට ඉටිපන්දම් වලින් හරි, වෙනත් ඒ වගේ ක්‍රමේකින් හරි කාමරේ අඩ අඳුරේ තියෙන විදියට සෙට් කරන එකෙන් සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්. ආන්න රොමෑන්ටික් සෙක්ස් වලට සෙට් අප් එක.

 

06. ෆෝර්ප්ලේ වලට පිලෝ ටෝක් වලට වැඩි ඉඩක්

මේ කාරණාවත් ඇත්තටම අර සෙක්ස් කරනකොට සහ ලව් කරනකොට පරාර්ථකාමී වීම කියන කාරණාවට අදාළයි. අපිට ඇඳට නැග්ග වෙලේ ඉඳලා තියෙන්නේ අපේ ක්ලයිමැක්ස් එක ලබාගන්න, අපේ සුරතාන්තය සම්පූර්ණ කරගන්න, කොටින්ම කියනවා නම් අපේ වැඩේ කරගන්න වුවමනාවක් නම්, ගොඩක් වෙලාවට අපි සෙක්ස් කරන කාලයත් අඩු වෙනවා. ඇයි, ඇඳට නැග්ග වෙලේ ඉඳලම බලන්නේ ඒක ඉවර කරගන්නනේ. හැබැයි ඒක රොමෑන්ටික් නෑ. ඒ විතරක් නෙවෙයි, ඒකෙන් අපිට අහිමි වෙන තෘප්තිය ගැනත් අපිට අදහසක් නෑ. ආන්න ඒ නිසා, සෙක්ස් කරන්න ගියාට පස්සේ පිලෝ ටෝක් වලට වැඩි ඉඩක් දෙන්න. ඒ කියන්නේ අර දෙන්නත් එක්ක ඇඳේ හරි කොහේ හරි තුරුල් වෙලා එකිනෙකාව සිප ගන්න ගමන්, ස්පර්ෂ කරන ගමන් කතාබහ කර කර කිචි බිචි ගගා ඉන්නේ. අන්න ඒක. එතකොට ඊලඟට පූර්ව සංසර්ගීය ක්‍රියා, ඒ කියන්නේ ෆෝර්ප්ලේ වලටත් ඉතාම වැඩි ඉඩක් දෙන්න. අන්න ඒකෙන්, සෙක්ස් එක්ස්පීරියන්ස් එක වඩාත් රොමෑන්ටික් කරගන්න පුලුවන්.

 

07. හැඟීම් දැනෙන්න ඉඩ දෙන්න

දැන් ඇඳට නැගලා සෙක්ස් කරනකොට, සමහරු අනික් කෙනාගේ මූණ බලන්න ලැජ්ජයි. තවත් සමහරු කෙඳිරි ගාන්න, හයියෙන් හඬ පිටවෙනවට ලැජ්ජයි. ආන්න ඒක නිසා ඇත්තටම සෙක්ස් ලයිෆ් එක තවත් රොමෑන්ටික් කරගන්න තියෙන අවස්ථාවක් තමයි මිස් වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපිව තෘප්තිමත් කරන්න අනික් කෙනා දෙයක් කරනකොට, අපි කෙඳිරි ගාන එකෙන්, කියන දේවල් වලින්, ශරීර අභිනයන්ගෙන් අපි තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා කියලා අඟවන එක වැදගත්. ඒකෙන් අනික් කෙනාටත් වක්‍රාකාර තෘප්තියක් ලැබෙනවා. අන්න රොමෑන්ටික් සෙක්ස්. ඒ වගේම, සෙක්ස් කරනකොට අනික් කෙනාගේ ඇස් දිහා බලන එක, අපිට එයා ගැන තියෙන ෆීලින්ග්ස් ඇස් දිහා ගැඹුරින් බලලා දැනෙන්න දෙන එක මාරම එක්පීරියන්ස් එකක් වෙයි දෙන්නටම. ආයෙමත් අපි කියනවා, ආන්න රොමෑන්ටික් සෙක්ස්.

 

ලොකු මානසික බැඳීමක් නැතුව සෙක්ස් කරන එක ඇත්තටම වැරදියි කියන්න අපි කාටවත් බෑ. ඒ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණා. හැබැයි ඇත්තටම කවදාවත් ලොකු මානසික බැඳීමක් නැතුව සෙක්ස් කරන කෙනෙක්ට, සමහර වෙලාවට මිස් වෙන්නේ වඩාත් විශිෂ්ට සෙක්ස් එක්ස්පීරියන්ස් එකක් ලබාගන්න තියෙන චාන්ස් එකක් වෙන්න පුලුවන්. ආන්න ඒක නිසා, රොමෑන්ටික් සෙක්ස් අත්දැකීමක් ඕනම කෙනෙක් ජීවිතේ එක පාරක් හරි ලබලා තියෙන එක හොඳ අත්දැකීමක් වෙයි කියලා තමයි අපි හිතන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *