සිංහරාජය යනු ලංකාවේ ඇති සංවේදීතම තෙත් කලාපීය සදාහරිත වනාන්තරය වේ. ලෝක උරුමයක් වන සිංහරාජය ජෛව විවිධත්වයෙන් ගහණ අඩවියකි. අඩි සිය ගණන් ඉහළට නැගුනු රූස්ස ගස් වල සිට පහළ ඇති කුඩා මීවන පඳුරු දක්වා පැතිරී ගිය ගස්වැල් බොහෝ ප්‍රමාණයක් සිංහරාජ වනයට අයිති වේ. දින දෙක තුනකින් සිංහරාජය සම්පූර්ණයෙන් ගවේෂණය කරගත නොහැකි වුවත්, සති අන්තයකදී නරඹා, අපට විනෝද වී පැමිණිය හැකි අඩවියක් ලෙස සිංහරාජය දැක්විය හැකිය. අප මේ කියන්නට යන්නේ එවන් සති අන්ත නිවාඩුවක් ගත කිරීමට සිංහරාජය තෝරාගත යුත්තේ ඇයි කියලයි.
1. පිවිසෙන්නට තිබෙන පහසුව
දක්ෂිණ අධිවේගී මාර්ගය තිබෙන නිසා දකුණු පළාතට පිවිසීම කොළඹ සහ ඊට දුරබැහැර උදවියට වඩාත් පහසුවක් වී තිබේ. වැලිපැන්න පිවිසුමෙන් පිවිසී, නෙළුව හරහා හෝ දෙනියාය පල්ලේගම හරහා සිංහරාජයට පිවිසෙන්නට හැකිය. එසේම කලවාන දෙසින්ද පිවිසුමක් සිංහරාජය හරහා වේ. නෙළුව සහ මෙදේරිපිටිය අන්ත වලින් පහසුවෙන්ම සංචාරක මග පෙන්වන්නෙකුද සොයාගත හැකිය.
2. නවාතැන් පහසුව
සිංහරාජය, පිටදෙනිය සහ නෙළුව පිවිසුම් ආසන්නයේ සාමාන්‍ය මට්ටමේ සහ තරු තුනේ හෝටල වැනි නවාතැන් කිහිපයක්ම තිබේ. ඒවාට ඇතැම්විට ත්‍රීරෝද රියක හෝ කැබ් රියක පැමිණීමට සිදු වුවත්, වාහන වලින් පැමිණෙන්නේ නම් ඒවා මග ආරක්ෂිතව නවතා දමා බඩු බාහිරාදිය රැගෙන නවාතැනට ළඟා විය හැකිය. වනය ආසන්නයේම හමුවෙන මෙම නවාතැන් නිසා වනය තුළට වැඩි ආයාසයකින් තොරව එවෙලේම වගේ පා ගමනින් පිවිසිය හැකිය. සංචාරක කර්මාන්තයේ පිබිදීමත් සමග විදෙස් සංචාරකයින්ද සිංහරාජ ඉම සොයාගෙන ඇදේ. සිංහරාජය ආසන්නයේම ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවාතැන්ද සංචාරකයින් අතර ප්‍රසිද්ධ නවාතැන් පොළවල් වේ.
3. දිය ඇලි නැරඹීම
සිංහරාජ පිවිසුම් ආසන්නයේම වාගේ කිලෝමීටර 5-10ක් ගිය තැන නැරඹිය හැකි දිය ඇලි කිහිපයක්ම වේ. කැකුණ ඇල්ල, දූවිලි ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුන ඇල්ල සහ තවත් නම් පතල නොවූ දිය ඇලි කිහිපයක්ම සිංහරාජයේ වේ. නෙළුව සහ මෙදේරිපිටියේදී ගිංගඟට පිවිසෙන දිය දහරා ඔස්සේ මෙම කුඩා දිය ඇලි නිර්මාණය වේ. දූවිලි ඇලි පන්තියේදී එක් එක් ඇලි කොටසට ඇල්ල පසෙකින් ඉහළට නැග පිවිසීමට හැකියාව ලැබේ. දෙනියාය ආසන්නයේද හත්මාලේ ඇල්ල වැනි දර්ශනීය දිය ඇලි කිහිපයක්ම නැරඹීමට හැකිය.
4. රන්වන් මාළුන් පිහිනන පැහැදිලි ජලය
නෙළුව සහ මෙදේරිපිටිය පිවිසුම් වලින් පිවිසි විට ගිංගඟට ජලය ලැබෙන තරමක් විශාල දොලපහර හමු වේ. ඒවායේ ඇති ජලය මීටරයක් යට වුවද පෙනෙන තරම් පැහැදිලි බවින් යුක්තය. එම වතුරේ පීනන මාළු පැහැදිලිව දකින්නට හැකි අතර, ඇතැම් සංචාරක මග පෙන්වන්නෝ ක්‍රීම් ක්‍රැකරයක්, පාං කෑල්ලක් කඩා දමා මාළුන් ගෙන්වාගෙන සංචාරකයින්ට මාළු පෙන්වති. ඒ දොලපහරවල නාන්නට හැකි තැන්ද තිබේ. වනය පිස එන ඒ දිය දහරාවෝ ග්ලැසියර වල සිට ගලා එන දිය දහරා මෙන් සීතලය. ඒ සීතල වතුරේ පැයක් දෙකක් හොඳට කෙලි කර නාගන්නට ලැබීම සිතට ගතට සහනයකි. මේ වතුරේ නාන විට සබන් හෝ ශැම්පු වර්ග පාවිච්චි නොකිරීම මනාය. මන්ද වනයේ සංවේදී අඩවියක් වන සිංහරාජයේ මේ දිය දහරා වලට සබන් හෝ ශැම්පු එකතු කිරීම ඒ ජලයේ වෙසෙන සුවහසක් ජීවීන්ට ඇතිකරන අමතර තර්ජනයකි.
5. ජෛව විවිධත්වය
ඔබ ඉන්දියාවේ හෝ නේපාලයේ මදක් දුර හෝ සංචාරය කර ඇතිනම් ලංකාවේ ජෛව විවිධත්වය කුමක්දැයි යන්න යම් තරමකින් හෝ වටහාගත හැකිය. ඉන්දියාවේ දුම්රියෙන් යනෙන විට කිලෝමීටර දෙතුන්සීයක්, පැය තුන හතරක් වැය කර ගියද දිස්වන්නේ එකම ආකාරයේ භූ දර්ශනය. එකම ආකාරයේ ගහ කොළය. එහෙත් ලංකාව යනු පැයක ගමනකින් ගහකොළ භූමි දර්ශන ඉක්මනින් වෙනස් වෙන පරිසරයක් ඇති පුදුමාකාර දිවයිනකි. සිංහරාජයේ එක් වර්ග මීටරයක් තුළ වාසය කරන ජීවීන් ප්‍රමාණය විශාලය. විනාඩි දෙක තුනක් ගමන් කරන විට ගහකොළ වුවද වර්ග හැට හැත්තෑවක් හමුවේ. හොඳ ගයිඩ් මහතෙකුගේ සහාය ගන්නේ නම් කටුස්සන්, කුරුමිණියන්, සමනලුන්, සලබයින්, මකුළුවන්, සර්පයින් ආදී සතුන් රැසක්ද සිංහරාජ ඉමේදී දැකගැනීමට හැකියාව ලැබේ. ජෛව විවිධත්වය යනු කුමක්දැයි හොඳින්ම වටහාගත හැකි සිංහරාජ භූමිය දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් නිවර්තන තෙත් වැසි වනාන්තරයක සිරිය නැරඹිය හැකි ලේසි තැනකි.
6. නිස්කලංක වටපිටාව
සිංහරාජ වනයට පිවිසුන පසු ඇත්තේ ටාර්සන් කතා වල කියවෙන්නාක් මෙන් ආදිකල්පික මහා රූස්ස ගස් වලින් හෙබි මහ වනාන්තරයම වේ. ඉඳහිට ඇදෙන තවත් සංචාරකයෙක් මිස මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඒ වනාන්තරය තුළ නැත. ඒ වටපිටාව අපි නිතර මුහුණ දෙන කන්තෝරු වටපිටාව සහ නාගරික වටපිටාවට වඩා හාත්පසින්ම වෙනස්ය. කිසිඳු වගවිභාගයකින් තොරව ඔවුන්ගේ ඉමට අපි ඇතුළු වුණ නිසාදෝ අප යනවිට ඇතැම් කුරුල්ලෝ කෑ ගසාගෙන පියාඹා යති. කෘමීන් සිය නාදය තීව්ර කරති. වැඩ ගොඩක හිරවී සිටි නගරබද අයට නිස්කලංක අඳුරු පරිසරයක් සමග ටිකක් වේලා ගත කරන්නට සිංහරාජය අපේ බාසාවෙන්ම කිවහොත් එලම පොට් එකකි.
7. වනය මැදින් හයිකින්
දිය ඇලි බැලීමට, සිංහගල බැලීමට සහ වනය තුළ ඇවිදීමට ට්‍රැකින් සහ හයිකින් සිංහරාජය තුළදී ලබාගත හැකිය. පාගමනින් ඇවිදයෑම කොළඹ ධාවන මංතීරුවල ඇවිද යෑම තරම් සිරුරට අපහසුවක් නැත. බොහෝ තැන්වලදී ඇඟට හිරුරැස් වැටීමක් නොමැති තරම්ය. ලේයර් 5ක තුරු වියනකින් සැදුම් ලත් සිංහරාජය තුළ ඇවිදයෑමේදී දොළපහරවල්, දිය පහරවල් ආදියද පසුකරගෙන යායුතු වේ. යන එන ගමන සතුන් සහ දර්ශනීය තුරුලතාද බලාකියාගත හැකිය. කඳුවල ඇවිදීම විනෝදයක් කරගත් ට්‍රැකින් කරන අයට සිංහරාජය යනු අමුතුම අත්දැකීමකි. කූඩැල්ලන් විටක කරදරයක් වුවත්, කූඩැල්ලන්ගෙන් මිදීමට කූඩලු මේස්, පැඟිරි තෙල් හෝ ලුණු පාවිච්චි කළ හැකිය.
හෙක්ටයාරයක වපසරියකට එකිනෙකට වෙනස් වෘක්ෂලතා 240,000කට වඩා ඇති සිංහරාජය මුලු ලෝකයෙන්ම එතැන පමණක් දකින්නට ලැබෙන ජීවින් රැසක්ම සිටින තැනකි. ලංකාවට ආවේණික පක්ෂීන්, උරගයින්, තුරුලතා බොහොමයක නිජබිම සිංහරාජ තෙත්බිම වේ. වනයට හානි නොකර වනය තුළ ඇති මාර්ග ඔස්සේම ගමන් කිරීම සිංහරාජ වනයේදී කළ යුතුම දෙයකි. වනය තුළදී සිගරට් කොටයක තරම් දෙයක් වත් බිම දැමීම නොකළ යුතුය. සති අන්තයක් විනෝදයෙන් නිස්කලංකව ගතකිරීමට සිංහරාජ තෙත්බිම කදිම තැනකි. එය අපේ පරම්පරාවෙන් පසු පරම්පරාවලටද රැකගැනීම එහි ඇදෙන සංචාරක අපේම යුතුකමකි, වගකීමකි.
Cover Image Source – rainforest-ecolodge.com
Leave a Reply