බයිට් එකට චිකන් ගිසාඩ් කන්න ආස ගිසාඩ් ලවර්ස්ලට රස රෙසිපි 5ක්

චිකන් ගිසාඩ් කියන්නෙ ගොඩක් රසවත් කෑමක්. ගොඩක් අය ගිසාඩ් කන්න කැමති බයිට් එකට. හැබැයි ඉතින් හැමදාම එකම විදියට හදල කනකොට මොන රස කෑම වුණත් එපා වෙනවනෙ. ඔන්න අද අපි අරන් ආවෙ එහෙම එපා වෙන්නෙ නැති වෙන්න එක එක රසට චිකන් ගිසාඩ් හදාගන්න රෙසිපි ටිකක්. 

 

1. ගිසාඩ් බිස්ටේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගිසාඩ් ග්‍රෑම් 500
  2. කපාගත් සුදුළූණු බික් 4
  3. අල ගෙඩි 2
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. කරපිංචා ස්වල්පයක්
  6. ලියාගත් ළූණු ගෙඩි 2
  7. දියකරගත් සියඹලා යුෂ කෝප්ප 1/4
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. කහකුඩු තේ හැඳි ¼
  10. තෙල් ස්වල්පයක්

 

  • සෝදාගත් ගිසාඩ් වලට ලුණු, ගම්මිරිස්කුඩු, සියඹලා දාලා අතගාලා පැය කාලක් තියන්න. 
  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන ඒක රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු දාලා බැදුනම ගිසාඩ් ටික දාලා තෙලෙන් තම්බගන්න. 
  • මේකට වතුර කෝප්ප 1/4ක් වගේ දාලා අල ගෙඩි 2 පොඩියට කපලා එකතු කරන්න. වහලා මදගින්නෙ පිසගන්න.
  • මේකට කහකුඩු හා රස අනුව ලුණු දාගන්න. ඉස්ම ටිකක් තියෙනකොට ළූණු දාලා කලවම් කරගන්න. ඊළඟට අමුමිරිස් හා කරපිංචා දාලා තවත් ටිකක් තියලා ලිපෙන් බාගන්න. 

 

2. ගිසාඩ් ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගිසාඩ් ග්‍රෑම් 500
  2. චොප්කරගත් සුදුළූණු 4
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. කරපිංචා ස්වල්පයක්
  5. කපාගත් තක්කාලි ගෙඩි 2
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. කුරුඳුපොතු කෑල්ලක්
  8. විනාකිරි කෝප්ප 1/4
  9. ලුණු හා ගම්මිරිස්කුඩු
  10. තෙල් ස්වල්පයක්
  11. කෑලිමිරිස් තේ හැඳි 1
  12. තුනපහකුඩු තේ හැඳි 1/2
  13. මිටිකිරි කෝප්ප 1/4
  14. ලියාගත් ළූණු ගෙඩි 2

 

  • ගිසාඩ් ටික පොඩියට කපලා ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු හා විනාකිරි දාලා අතගාලා පැයක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ගිසාඩ් ටික දාලා ගින්දර වැඩි කරලා විනාඩි 3ක් පිසගෙන ඊළඟට මද ගින්නෙ පිසගන්න. 
  • ගිසාඩ්  හොඳට තැම්බුණාම ලියාගත් ළූණු, කරපිංචා, අමුමිරිස්,  කුරුඳුපොතු කෑල්ල, කෑලිමිරිස්, තුනපහකුඩු හා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. 
  • ළූණු තෙම්පරාදු උනාම මිටිකිරි ටික දාලා අන්තිමට කපාගත් තක්කාලි එකතු කරන්න. 

 

3. ගිසාඩ් විත් ග්‍රේවි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගිසාඩ් ග්‍රෑම් 500
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. මිරිස්කුඩු මේස හැඳි 2
  4. සූදුරු කුඩු තේ හැඳි 2
  5. කපාගත් තක්කාලි ගෙඩි 3
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ
  7. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  8. ලියාගත් ළූණු ගෙඩි 1
  9. රම්පේ හා කරපිංචා
  10. එනසාල් ඇට 1
  11. කරාබුනැටි 2
  12. සේර කෑල්ලක්
  13. කුරුඳුපොතු කෑල්ලක්
  14. කහකුඩු තේ හැඳි 1/2

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා මිරිස්කුඩු දාගන්න. මිරිස්කුඩු බැදෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා රම්පේ, කරපිංචා, ලියාගත් ළූණු, එනසාල්, කරාබුනැටි, සේර හා කුරුඳුපොතු දාගන්න. 
  • ටිකක් බැදුනම ගිසාඩ් ටික දාගන්න. මේකටම රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු හා සූදුරු කුඩු දාලා වතුර කෝප්ප 1/2ක් දාලා වහලා හොඳට තම්බගන්න. 
  • තක්කාලි ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන තැම්බුනු ගිසාඩ් එකට දාගන්න. මද ගින්නෙ පිසගන්න. රස අනුව ලුණු දාගන්න. 
  • ලිපෙන් බාන්න කිට්ටුව චොප්කරගත් කොත්තමල්ලි කොළ එකතු කරලා කලවම් කරගන්න. 

 

4. ගිසාඩ් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගිසාඩ් ග්‍රෑම් 500
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. මිරිස්කුඩු මේස හැඳි 3
  4. අමු තුනපහකුඩු මේස හැඳි 1
  5. කරදමුංගු ඇට 2
  6. තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  7. රම්පේ හා කරපිංචා
  8. ලියාගත් ළූණු ගෙඩි 1
  9. සේර කෑල්ලක්
  10. උළුහාල් තේ හැඳි 1/2
  11. කුරුඳුපොතු කෑල්ලක්
  12. මිටිකිරි කෝප්ප 1

 

  • සෝදාගත් ගිසාඩ් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා වතුර කෝප්ප 1ක් දාලා තම්බගන්න. 
  • පෑන් එකකට මිරිස්කුඩු හා කරදමුංගු දාලා බැදගන්න. වෙනම මැටි භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ඉඟුරු සුදුළූණු, රම්පේ, කරපිංචා, සේර, කුරුඳු, උළුහාල් හා අමුමිරිස් දාගන්න. 
  • ඒක තෙම්පරාදු කරගෙන කලවම් කරලා තම්බාගත් ගිසාඩ් ටික එකතු කරන්න. මේකට බැදගත් මිරිස්කුඩු හා කරදමුංගු ටික දාලා ගිසාඩ් තම්බපු වතුර චුට්ටක් දාලා කලවම් කරගන්න. රස අනුව ලුණු, කහකුඩු එකතු කරන්න. මද ගින්නේ පිසින ගමන් මිටිකිරි දාලා උතුරනකොට ලිපෙන් බාගන්න. 

 

5. ගිසාඩ් ඩ්‍රයි රෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගිසාඩ් ග්‍රෑම් 250
  2. තලාගත් සුදුළූණු බික් 6-7
  3. කරපිංචා ස්වල්පයක්
  4. තලාගත් ඉඟුරු කෑල්ලක්
  5. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  6. අමුමිරිස් කරල් 2
  7. කරපිංචා ස්වල්පයක්
  8. තෙල් ස්වල්පයක්
  9. චොප්කරගත් ළූණු ගෙඩි 1
  10. කහකුඩු තේ හැඳි 1/2
  11. ලුණු හා ගම්මිරිස්කුඩු
  12. සූදුරු කුඩු තේ හැඳි 1/2
  13. දෙහි බෑයක යුෂ

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මද ගින්නෙ ගිසාඩ් ටික දාලා බැදගන්න. රන්වන්පාට වෙනකල් බැදුනම ඒකට ඉඟුරු, සුදුළූණු ටික දාලා චොප්කරගත් ළූණු, තක්කාලි හා අමුමිරිස් ටික දාගන්න. 
  • තෙම්පරාදු වෙනකොට ඒකට කහකුඩු, සූදුරු කුඩු, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු හා දෙහි යුෂ ටිකත් දාගන්න.  
  • හොඳට කලවම් කරලා වතුර කෝප්ප 1/2ක් දාලා ළූණු මැලවෙනකල් මද ගින්නෙ විනාඩි 10ක් පිසගන්න. 
  • වතුර සම්පූර්ණයෙන්ම හිඳුනම කරපිංචා ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *