පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා
මෙහෙම කියන්නෙත් සිංහබාහු නාට්‍යයේ සිංහයා. සරච්චන්ද්‍ර මහත්තයා සිංහයා ලවා කියවන මේ වචනවලට පාදක කරගන්නේ සුද්ධෝදන රජ්ජුරුවෝ බුදුහාමුදුරුවෝ මුණගැහුණු වෙලාවක කරපු ප්‍රකාශයක්. මේකෙන් සුද්ධෝදන රජතුමාට දැනුණු පුත්‍ර ස්නේහය ගැන කියනවා. මේ වගේම හැම තාත්තා කෙනෙක්ටම තමන්ගේ පුතා ගැන පුදුමාකාර ආදරයක් තියෙනවා. ඒත් සමහර කතා මීට වඩා වෙනස්. සමහර තාත්තලා පුතාලා අතර තියෙන්නේ කවදාවත් නිමා වෙන්නේ නැති වූ වෛරයක්. අපි සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක්ට පුතෙක් හරියට සලකන්නෙ නැත්තන් කියන්නේ “ඌ මහ අජාසත්තයෙක්” කියලා. අපි ඉගෙන ගන්නේ අජාසත්ත කියන්නේ පංචානන්තර්ය පාප කර්මවලින් එකක් වුණු පීතෘ ඝාතක අකුසල කර්මය සිද්ධ කර ගත්ත රජ කෙනෙක් විදියට. අජාසත්තට තිබ්බේ රජකම ලබාගන්න තමන්ගේ තාත්තා බාධාවක් කියල හිතපු එක. පස්සෙ කාලෙක අජාසත්ත ඒ ගැන දැඩි සේ පශ්චත්තාප වෙනවා. ඒත් අජාසත්තගේ පුතා අතිනුත් අජාසත්තට උරුම වෙන්නේ තමන්ගේ තාත්තට අත් කරලා දීපු ඉරණම ම තමයි. අපේ රටෙත් අජාසත්ත වගේ තවත් පුතෙක් ගැන අපේ වංශකථාවල සඳහන් වෙනවා. ඒ තමයි සීගිරි කාශ්‍යප. ඒ ගැන මම හිතන්නේ වැඩි යමක් කියන්න ඕනේ නෑනේ කියලා. එහෙමනම් අපි පිය පුතු ගැටුම් වල ඉතිහාසය ගැන වැඩිපුර කතා නොකර අපිට අද වෙනකොට අහන්න දකින්න ලැබෙන සුප්‍රකට පිය පුතු ගැටුම් ගැන කතා කරමු.
1. මැකෝලි කල්කින් සහ කිට්
මේ නම අහපු ගමන් එච්චර ඔයාට හුරු නැතුව ඇති. හැබැයි මේ චරිතය සමාජ මාධ්‍ය ජාලවල කාලෙකට කලින් ගොඩක් පෝස්ට්වලට පාදක වුණු චරිතයක්. ඔහුගේ කුඩා කාලයේ අපි ඔහුව හඳුනා ගත්තේ “හෝම් අලෝන්” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවපු දඟකාර හැඩකාර කුඩා දරුවා විදිහට. පස්සෙ කාලෙක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඔහුගේ ස්වරූපය හිතාගන්න බැරි විදිහට වෙනස් වුණු ආකාරය ගැන බොහෝ දෙනා සංවේගයෙන් කතා කරලා තිබ්බා. මැකෝලි සහ ඔහුගේ තාත්තා වුණු කිට් අතර තිබුණේ දැඩි වෛරයක්. ඒකට හේතු වුණේ කිට් තමන්ගේ දරුවන්ට ශාරීරිකව හා මානසිකව වධ දුන් තාත්තා කෙනෙක් වීම. කිට් මැකෝලිගේ මව සමගින් දික්කසාද වීමේ දී ඔහු ගේ භාරකාරීත්වය ලබා ගැනීමට වැඩි උත්සාහයක් දරලා තිබ්බා. ඒකට හේතුව වුණේ මැකෝලිට ලැබෙන ආදායම තමන්ගේ පාලනය යටතට ගන්න හැකිවෙයි කියන බලාපොරොත්තුව. ඒත් මැකෝලි ගේ භාරකාරීත්වය ලැබෙන්නේ ඔහුගේ මවට. එතැන් පටන් මැකෝලි තමන්ගේ පියාව මුණ ගැහෙන්නෙ නෑ. වතාවක් කිට්ට හෘදයාබාධයක් ඇති වුණු අවස්ථාවේදී මැකෝලිව තමන්ට බලන්න අවශ්‍යයි කිව්වත් මැකෝලි කිට්ව මුණගැහෙන්න උනන්දුවක් දක්වන්නේ නෑ.
2. තෝමස් අල්වා එඩිසන්
දැන් ඔයා කල්පනා කරනවා ඇති තෝමස් අල්වා එඩිසන්ට මොකක්ද තමන්ගේ තාත්තා එක්ක තිබ්බ ප්‍රශ්නෙ කියලා. නෑ තෝමස් අල්වා එඩිසන්ට ප්‍රශ්නේ තිබ්බේ තමන්ගේ තාත්තා එක්ක නෙමෙයි, තමන්ගේ කුළුඳුල් පුතා වුණු තමන්ගෙ නමම තියපු “තෝමස් අල්වා එඩිසන්” ගැන. තෝමස් අල්වා එඩිසන් ලෝකයට නව නිර්මාණ රාශියක් බිහි කරත් ඔහුගේ පුතා වුණු එඩිසන්ට නම් ඒ නිර්මාණ ශක්තිය පිහිටලා තිබ්බේ නෑ. ඔහු තමන්ගේ මුළු ජීවිත කාලයේම උත්සහ කරේ තමන්ගේ තාත්තාගේ නමින් ගොඩයන්න. ඒකට විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන තමන් අර නිර්මාණය කරා මේ නිර්මාණය කරා කියලා සමාජගත කරන්න උත්සාහ කරා. තමන්ගේ පුතා කරන මේ වැරදි වැඩ ගැන අවසානයේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තෝමස් අල්වා එඩිසන් තමන්ගෙ පුතාට සතිපතා මුදලක් ගෙවන්න තීරණය කරා. ඒ එඩිසන් කියන නම භාවිතා නොකර ඉන්නවට.
3. 50 Cent සහ මාක්විස් ජැක්සන්
මේ සත පනහ ගැන විශේෂ හඳුන්වාදීමක් ඔයාට කරන්න ඕනේ නෑ කියලා කියලා අපි හිතනවා. ෆිෆ්ටි සෙන්ට් කියන්නේ තමන්ගේ ළමා කාලය පියාගෙන් ලද පීඩා නිසා අහිමි වෙලා ගිය කෙනෙක්. ඒ නිසා තමන්ට පුතෙක් ඉපදුනාම ඔහු හිතනවා තමන්ගේ පුතාව ආදරයෙන් රැකබලා ගන්න ඕනේ කියලා. මේ නිසාම පුතාගේ නම (Marquis Jackson) ටැටූ එකක් විදිහට ඔහු ගහ ගන්නවා. මේ තාත්තගෙයි පුතාගෙයි ආදරයට කණ කොකා හඬන්නේ 50 cent ගේ දික්කසාදයත් එක්ක. ඒත් එක්කම දෙදෙනා අතර දැඩි විරසකයක් ඇති වෙනවා. පසුගිය දවස් කිහිපය පුරාම අපි දැක්කෙ දෙන්නට දෙන්නා සමාජ මාධ්‍ය ජාල හරහා එකිනෙකාට පහර එල්ල කර ගන්න එක. මේ ගැටුම් ගොසිප් තීරුවලටත් හොඳ කටගැස්මක් වුණා.
4. මයිකල් සහ ජෝශප් ජැක්සන්
මයිකල් ජැක්සන් කියන්නේ තමන් ජීවත් වුණු කාලය තුලදීම ජීවමාන පුරාවෘත්තයක් බවට පත්වෙන්න වාසනාව හිමි කර ගත්ත කෙනෙක්. ඒ වාසනාව පිටිපස්සෙ තිබුණෙ කඳුලු කතාවක්. මයිකල් ජැක්සන් ගේ පියා වුණු ජෝශප් ජැක්සන්, තමන්ගේ දරුවන්ගේ දක්ෂතා ඉහළ නංවන්න දැඩි ලෙස ඔවුන්ට වද දීම සිද්ධ කළා. නිතරම ඔහුගේ පියා බෙල්ට් එකක් පාවිච්චි කරලා මයිකල් ජැක්සන් ඇතුළු දරුවන්ට පහර දීම සිද්ධ කරලා තියෙනවා.මයිකල් තමන්ගේ සාර්ථකත්වය පිටිපස්සේ හිටියේ තමන්ගේ පියා කියලා පිළිගත්තත්, ඔහු නිසා තමන්ට තමන්ගේ ළමා කාලය අහිමි වුණා කියලා මුළු ජීවිත කාලය පුරාවටම දුක් වුණා.
5. පැබ්ලෝ පිකාසෝ සහ ජෝස් රුයිස්
පිකාසෝ චිත්‍ර ශිල්පයට අත්පොත තියන්නේ තමන්ගේ තාත්තාගේ ආභාෂය ලබමින්. ඔහුගේ පියාත් සාර්ථක චිත්‍ර ශිල්පියෙක්. ඔහු නමින් ජෝස් රුයිස්. පිකාසෝ පස්සෙ කාලෙක කියන විදියට ඔහු නිර්මාණ ශිල්පියෙක් විදිහට තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගත්තේ තමන්ගේ පියා දුන්නු පින්සල් කඩලා විසි කරපු දවසේ. විචාරකයෝ කියන්නේ මේකට හේතු වුණේ පිකාසෝගේ තාත්තා පිකාසෝ ගේ දක්ෂතා අගය කිරීමට මැලි වීම කියලා. පස්සෙ කාලෙකදි පැබ්ලෝ තමන්ගේ පියාගේ වාසගම අත ඇරලා මවගේ වාසගම වුණු පිකාසෝ කියන නම භාවිතා කරනවා.
6. වංගීස සහ ගාමිණී සුමනසේකර
ගාමිණි සුමනසේකර කියන්නේ අපේ රටේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්. එතුමා දිවයින පත්‍රයේ කතුවරයා විදිහට ජාතිකත්වය සහ දේශීයත්වය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉෂ්ඨ කරා. ඒ වගේම බැතිමත් බෞද්ධයෙක්. ඔහුගේ පුතා වන වංගීස සුමනසේකර නම් ඊට හාත්පසින් වෙනස් අදහස් දරන පුද්ගලයෙක්. ඔහු පශ්චාත් නූතනවාදී අදහස් වලට ආකර්ෂණය වුණු පුද්ගලයෙක්. මේ නිසා ඔහු තමන්ගේ පියා දරන මතවාදවලට දැඩි ලෙස පහර එල්ල කරනවා. මේ මතගැටුමට හේතුව මොකක්ද කියන එක ගැන නම් හරියටම පැහැදිලි නැහැ.
7. වික්ටර් රත්නායක සහ පුතුන්
මේ පිය පුතු ගැටුම නම් අපේ කලා ලෝකය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරපු පිය පුතු ගැටුමක්. තමන් ගේ දෙවැනි බිරිඳ විදිහට ඉතා ළාබාල තරුණියක් විවාහ කර ගැනීමත් එක්ක වික්ටර්ගේ දරුවන් වුණු ලෙලුම් රත්නායක සහ ජයන්ත රත්නායක මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ ඊට තමන්ගේ විරෝධය ප්‍රකාශ කරා. ජයන්ත කියන විදිහට වික්ටර් තමන්ව දරු කමින් අයින් කළා කියලා ඔවුන්ට දැනුම් දීලා තියෙනවා. පසුගිය දවසක ජයන්ත පිළිකාවක් වැළඳීම නිසා ප්‍රතිකාර ලබා ගනු ලැබුවා. ජයන්ත කියන විදියට ඒ අවස්ථාවේදී පවා වික්ටර් රත්නායක ඔහුගෙන් අසනීපය ගැන වත් විමසීමක් කරලා නෑ.
හොඳයි එහෙනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා ඉතින්.
Leave a Reply