ලක්ෂයක් අතේ තියාගෙන ගිහින් ටුවර් එකක් දාල එන්න හැකි රටවල් 7ක්

1lakh tour

“වෙන රටවල් වලට යන්න කලිං ලංකාවේ හැම තැනම බලාගෙන ඉන්න එපැයි.” එහෙම නිදහසට කාරණා කිව්වාට හැමෝම කැමතියි අපි ඉන්න දූපතෙන් එළියේ ලෝකයේ කොහේ හෝ රවුමක් ගහලා එන්න. ගුවන් ගමන් ලාභදායී වීම, නවාතැන් ගාස්තු, ප්‍රවාහන වියදම්, කෑම ආදී පිරිවැය අඩු වීම හේතුවෙන් ලංකාවේ ඉඳන් රටවල් කීපෙකටම ලක්ෂෙකින් හමාරකින් අපිට ගිහින් එන්නට හැකියාව ලැබී තිබෙනවා.

 

කොහොමද අඩුවට ඉන්නේ ?

මේ කියන්නේ ගිහින් තරු පහේ හෝටලවල රැය ගතකරලා, සුපිරි නයිට් ක්ලබ් වල සැප අරගෙන එන්න පුලුවන් සුකුමාර මහේශාක්‍ය චාරිකා ගැන නම් නෙමෙයි. අපිට ගිහින් සාමාන්‍ය තරු දෙක තුන හෝටලයක හෝ නවාතැනක නැවතිලා, බලන්නට විඳින්නට තිබෙන දේවල් එකතුකරගෙන සතුටින් එන්න පුලුවන් සරල චාරිකා රැසක් තිබෙනවා. අපි නිකමට හිතුවොත් අපිට අද දකින්නට ලැබෙන මලු පිටේ බැඳන් ලංකාව වටේ ගිහින්, අපිත් නොදන්න තැන් බලාකියාගෙන, අපිටත් හිතාගන්න බැරි අඩු ගණන් වලට නැවතිලා කාලා බීලා ලංකාවෙන් යන සුද්දෝ ගැන. අපිටත් එහෙම අඩුම නැතත් ටිකක් මැද ලෙවල් එකේ සංචාරයක් ගිහින් එන්නට හැකි නේද? එහෙම විසිට් එකක් දාල එන්න හැකි රටවල් කිහිපයක් අපි බලමු.

 

1. ඉන්දියාව

1lakh tour

Source – travelvaccinationclinic.com

අපිට ආසන්නයෙන්ම තිබෙන රට වන ඉන්දියාව අපට වඩා බොහෝ සෙයින් විශාල රටක්. බිලියනයකටත් වඩා වැඩි ජනගහනයක් සිටින ඉන්දියාව සංස්කෘතික සහ භූගෝලීය සාධක අතින් විශාල වෙනස්කම් පෙන්වන රටක්. චෙන්නයි, බැංගලෝර් වලට නම් රුපියල් 20,000 වගේ ගණන් වලට දැන් ඉන්ඩිගෝ ගුවන් සමාගමෙන් ගුවන් ටිකට්පත් නිකුත් වෙනවා. ඉන්දියාව ඇතුළතත් ගුවන් ගමන් සාපේක්ෂව ලාබයි. කඳුකරය දැකබලා ගැනීමට අවශ්‍ය නම් නැගෙනහිරින් සිකිම් දිශාව, බටහිරින් ශ්‍රී නගර්, ලදාක්, කාශ්මීරය සහ දිල්ලියට නුදුරින් උත්තර්කාන්ද් වෙත පිවිසිය හැකියි. එසේම ලංකාවේ ජනයා අතර වඩාත්ම ජනප්‍රිය ඉන්දියානු සංචාරය වන දඹදිව වන්දනාවත් රුපියල් ලක්ෂයකට අඩුවෙන් පවා සංචාරක පැකේජ තියෙන භක්තිමත් චාරිකාවක්.

 

2. තායිලන්තය

1lakh tour

Source – wildluxe.com

කාන්තා පාර්ශවයටත් වඩා පිරිමි පාර්ශවය නම් තායිලන්තයට කැමතියි. තායිලන්තයටත් වඩා තායි කතුන්ට ලොව පුරා සංචාරකයින් ලැදියාවක් දක්වනවා. මෙම තායි රටේදී ශෘංගාර රස පහසුවෙන්ම විඳගත හැකියි. කොහොමවුනත් තායිලන්තයද ලොව වටා සිටින බජට් සංචාරකයින් අතර ප්‍රකට තැනක්. සුන්දර වෙරළ තීරු, බෞද්ධ ආගමික සිද්ධස්ථාන ආදිය තායි රටේදී දැකබලාගත හැකියි. තායි ආහාර පාන සහ තායි සංස්කෘතිය විඳගැනීමත් තායි කරා ඇදෙන සංචාරකයින් අතර ජනප්‍රිය දෙයක්. හොඳින් අන්තර්ජාලයේ කියවා බලා, තැන් සලකුණු කරගෙන, ගයිඩ් බුක් එකක් රැගෙන යනවා නම්, සතියක දෙකක තායි සවාරියක් ලක්ෂයේ සීමාවෙන් ෂේප් කරගන්නට හැකියාව ලැබේවි.

 

3. එමිරේට්ස් සවාරිය

1lakh tour

Source – destinationluxury.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කරා යෑම අප රටේ ජනතාවට අරුම පුදුම දෙයක් නම් නෙමෙයි. කම්කරු රැකියා, ගෘහපාලිකා රැකියා මෙන්ම ඩුබායි හි පදිංචි වී ඉංජිනේරු ගණකාධිකාරි ආදි විශාල නිලතල වල පවා වැඩ කරන රැසක් ඩුබායි හි සිටිනවා. එම නිසා ඩුබායි ගමනත් අපිට දන්න කියන කෙනෙක් සම්බන්ධ කරගෙන ගිහින් එන්න පුලුවන් අඩු මිල ගමනක්. ඩුබායි වල නම් ඉන්දියාවේ හෝ අග්නිදිග ආසියානු රටවල වගේ ලාබදායී නැහැ. ස්කයිඩයිවින් වැනි අත්දැකීමක් ගන්න නම් රු. 20,000ක වැනි මුදලක් වියදම් වෙනවා. ඩෙසර්ට් සෆාරි නයිට් ලයිෆ් ආදියටත් ඩුබායි ජනප්‍රියයි. ලෝකේ ඔරිජිනල් බඩු වලට ආස අයට හොඳට ෂොපින් කරන්නත් ඩුබායි කියන්නේ හොඳ තැනක්. ගුවන් ටිකට් එකට රු 50,000කට ආසන්න ගාණක් වියදම් වුනත්, ශේප් එකේ සතියක් වගේ නම් ඩුබායි වල ඉඳලා එන්න හැකි රුපියල් ලක්ෂයකින්.

 

4. ඉන්දුනීසියාව

1lakh tour

Source – datavisad.com

ඉන්දුනීසියාව කියන්නේ ලංකාවේ අපිට වීසා ඕනි නැති රටක්. දූපත් 15,000කටත් වඩා ඇති ඉන්දුනීසියාව ලංකාවට වඩා විශාලතර දූපත් 5කින් සමන්විත වෙනවා. ඉන්දුනීසියාව භූමිකම්පා සහ ගිණිකඳු සඳහා ප්‍රසිද්ධයි. ගිනිකඳු පියවි ඇස්දෙකින්ම බලාගන්නට ඉන්දුනිසියාවට ගියොත් පුලුවනි. දූපත් සිරිය විඳගන්නටත් බොහෝ පිරිස් ඉන්දුනීසියාව කරා ඇදෙනවා. මුස්ලිම් රටක් වුවත් සුමාත්‍රාවේ අචේ වැනි ප්‍රාන්ත හැරුනු කල අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ඉන්දුනීසියාවේ අල්පයි. ලාංකිකයින් අතර දැන් දැන් ඉන්දුනීසියාවේ බාලි දිවයින සහ ඒ ආසන්න දූපත් නරඹා නැවත ඒම ජනප්‍රිය වෙමින් යනවා.

 

5. නේපාලය

1lakh tour

Source – amilachathuranga

නේපාලයට යෑම නම් ඉන්දියාව හරහා මෙන්ම කෙලින්ම ගුවනින්ද කල හැකියි. ගුවන් ගාස්තුව පමණක් රුපියල් 50,000ක් පමණ වියදම් වුවත් ලොව බැක්පැකර්ස්ලා අතර අඩුම පිරිවැයකින් සංචාරය කල හැකි රටක් ලෙස නේපාලය ඉදිරියෙන්ම සිටිනවා. පොකරා විල අසබඩ මෙන්ම කත්මන්දු අවටත් සංචාරකයින්ට සතුටු විය හැකි ක්‍රියාකාරකම් රැසක්ම තිබෙනවා. කඳු නැගීම නේපාලයේ දී කල හැකි මිල අඩු එහෙත් හොඳ විනෝදයක් ලැබෙන විනෝදාංශයක්. එවරස්ට් නැගීමට නොහැකි වුවත් එවරට්ස් දැකබලාගන්න ට්‍රෙකින් එක නේපාලය තුළ ජනප්‍රියයි. නිදහසේ කන්දක් නැගලා, විලක බෝට්ටු සවාරියක් ගිහින් කඳුකර ජීවිත මොන වගේද කියලා අපිට දැනගන්න නේපාලය කියාපු තැනක්.

 

6. මාලදිවයින

1lakh tour

Source – godsavethepoints.com

ලොව පුරා සංචාරකයින් අතර ජනප්‍රිය හනිමූන් ඩෙස්ටිනේශන් එකක් වන මාලදිවයින අපිට ළඟින්ම පිහිටි දූපත් රටකි. ලංකාවෙන් පිටතට ටිකක් සැප පහසුවට දවස් දෙක තුනක් ඉඳලා එන්නට මාලදිවයින කදිම තැනක්. මුහුද මත ඉදිකළ අට්ටාල ලෙස ඉදිකර ඇති කමනීය සංචාරක නවාතැන් තුළ කිසිවෙකුගේ ඇල්මක් බැල්මක් නැතිව නිස්කලංකව කාලය ගතකිරීමටද අවස්ථාව මාලේ යන පෙම් යුවලකට ලැබෙනවා. සංචරනයට තරමක් මිල අධික රටක් වුනත්, දවස් තුන හතරකට නම් ලක්ෂයෙන් ෂේප් වෙලා හොඳ විවේකයක් අරං එන්න මාලේ එලම ප්ලේස් එකක්.

 

7. වියට්නාමය

1lakh tour

Source – amila chathuranga

වියට්නාමයේ හාලොං බේ කියන්නේ මිහිබට සුරපුරයක් බඳු අලංකාර ගිරිහිස් සමග වූ දූපත් තිබෙන තැනක්. හාලොං බීච් තියෙන්නේ උතුරු වියට්නාමයේ. ප්‍රණීත රසැති කෑම වර්ග රැසකුත් වියට්නාමයේදී රස බැලිය හැකියි. වසර ගණනාවක් පුරා ඇමරිකාවට හිසරදයක් වුනු වියට්නාම ගරිල්ලන් සටන් වැදි ගුහා ආදියත් තවමත් වියට්නාමයේ ඉතිරිවී තිබෙනවා. වියට්නාමයේ දකුණු කොටස නම් දැන් ගොඩක් සංවර්ධනය වෙලා. මැලේෂියානු ගුවන් සේවයේ හෝ එයා ඒසියා හි බැලුවොත් රුපියල් 40,000-50,000 සීමාවෙන් මසකට කලිං වගේ කොළඹ සිට හෝ චි මින් දක්වා ටිකට්පත් වෙන්කර ගන්නත් හැකියි.

ලෝකේ වටේම යන්න බැරිවුනත් රටකට දෙකකට හෝ ඔලුව දාල එන්න තියෙනවා නම් ලොකු දෙයක් නේද? ඉතිං එහෙම හිතන අයට සැලසුම් කරලා, ගිහින් නැවතිලා, ඒ රටවල තිබෙන දේවල් දැක බලාගෙන, විඳදරාගෙන එන්න මේ ලිපිය හරහා ලොකු තල්ලුවක් ලැබෙන්නට ඇති.

 
Cover Image Source – amila chathuranga
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *