සාමකාමීව රැස්වීමේ නිදහස, නීතිමය පැත්ත සහ අප දැනුවත් විය යුතු කරුණු

01. සාමකාමීව රැස්වීමේ නිදහස කියන්නේ මොකක්ද?

නිශ්චිත කාර්යයක් සඳහා පුද්ගලික හෝ ප්‍රසිද්ධ ස්ථානයක තාවකාලිකව, අවිහිංසාවාදීව එක්රැස් වීමයි. එයට උද්ඝෝෂණය කිරීම, වැඩ වර්ජන, පෙළපාලි, රැස්වීම් හා සත්‍යග්‍රහ ඇතුළත් වෙනවා.

එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කිමූන් (2013 සැප්තැම්බර් 25) සාමකාමීව රැස්වීමේ නිදහස් සම්බන්ධයෙන් මේ වගේ ප්‍රකාශක් නිකුත් කරල තියෙනවා.
“නායකයන් තම ජනතාවට සවන් නොදෙන්නේ නම් එය ඔවුන්ට වීදිවලදී, මං සන්ධිවලදී හෝ අප බොහෝ විට දැක ඇති ආකාරයට සටන් බිමේ දී සවන් දීමට සිදු වනු ඇත..”

02. සාමකාමීව රැස්වීමේ අයිතිය ගැන ජාත්‍යන්තර මානව හිමිකම් රාමුව

අපේ රට 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරනු ලැබූ රටක්.
ඒ අනුව 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමිමුතියට අනුව එහි 21 වන වගන්තිය සාමකාමීව රැස්වීමේ අයිතිය පිළිබඳ මෙහෙම සඳහන් කරනවා.

“සාමකාමීව රැස්වීමේ අයිතිය පිළිගත යුතුය. නීතියට අනුකූලව පනවන ලද සහ ජාතික ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව, මහජන සාමය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවශ්‍ය වන ඒවා හැර මෙම අයිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු සීමාවක් පැනවිය නොහැක.”
2013 අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය සමගද අපේ රට නීතියෙන් බැඳෙනවා. මෙහි 24 වැනි ඡේදයේ සාමකාමීව රැස්වීමේ අයිතිය පිළිබඳ මෙසේ සදහන් වෙනවා.

“සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.”

03. ලංකාව තුල සාමකාමීව රැස්වීමට තිබෙන නීතිමය තත්ත්වය

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ආ) වගන්තිය යටතේ ‘‘සෑම පුද්ගලයෙකුටම සාමකාමීව රැස්වීමේ හිමිකමට නිදහස ඇත.” ඛව සඳහන් වෙනවා.

අප රටේ නීතිමය රාමුව තුල සාමකාමී නොවන රැස්වීම් ගනයට වැටෙන්නේ මොනවාද?

1883 දණ්ඩ නීති සංග්‍රහයේ 138 වැනි වගන්තිය යටතේ පුද්ගලයන් පස් දෙනෙකු හෝ වැඩි ගණනකගේ රැස්වීමක් දේශීය නීතියට පටහැනි පොදු අරමුණක් ඇත්නම් එය නීති විරෝධී රැස්වීමකි. එවැනි රැස්වීමක් විසුරුවා හැරීමට උත්සාහ කරන පොලිස් නිලධාරියෙකුට බාධා කිරීම වැනි එවැනි රැස්වීමකට සහභාගී වීම සිරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකිය.

04. සාමකාමී රැස්වීම් සම්බන්ධයෙන් රජය සිය බලය පාවිච්චි කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

“නීත්‍යානුකූල නොවන නමුත් ප්‍රචණ්ඩකාරී නොවන රැස්වීම් විසුරුවා හැරීමේදී, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බලය භාවිතා කිරීමෙන් වැළකිය යුතුය, නැතහොත් එය ප්‍රායෝගික නොවන විට, එවැනි බලය අවශ්‍ය අවම ප්‍රමාණයට සීමා කළ යුතුය. පොලිසිය සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් භාවිතා කරන සියලුම බලය නීත්‍යානුකූල නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණක් සඳහා සහ එම අරමුණට සමානුපාතිකව ආයතන අවශ්‍ය විය යුතුය.” යන්න ජාත්‍යන්තර නීතියයි.

නමුත් අවාසනාවකට අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා නිලධාරීන් විසින් බලය භාවිතා කිරිම පාලනය කරන විස්තීරණ ජාතික නීති සම්පාදනයක් නොමැති අතර පවතින දේ ඉතා දුක්ඛිත ලෙස යල් පැන ගොස් ඇත.

05. ගිණි අවි භාවිතය පිළිබද ජාත්‍යන්තර නීතිය

1990 එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවලට අනුව, ප්‍රචණ්ඩකාරී රැස්වීම් විසුරුවා හැරීමේදී, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට ගිනි අවියක් භාවිතා කළ හැක්කේ නිශ්චිත පුද්ගලයෙකුට එරෙහිවය. නිලධාරියාට ආසන්න මරණ තර්ජනයකට හෝ බරපතල තුවාලයකට හෝ බරපතල හා ආසන්න තර්ජනයකට මුහුණ දීම සඳහා පමණි.

අවාසනාවකට අපේ රටේ රැස්වීම්වලදී පොලිස් ගිනි අවි භාවිතය නියාමනය කරන ජාතික නීතියක් ද නොමැත.

06. සාමකාමී රැස්වීම සඳහා අයිතිය තිබෙන්නේ කාටද?

රටක සියළුම ජනතාව සඳහා මේ අයිතිය තිබෙනවා. ඒ වගේම පහත සඳහන් සංවිධාන සඳහාද ඒ අයිතියම තිබෙන බව අපි දැනුවත් වෙන්න ඕනි. ඒ ශිෂ්‍ය සංගම්, ආදිවාසී ජනතාව, සුළුතර කණ්ඩායම්, ග්‍රාමීය ප්‍රජාව, ආගමික ඇදහීම් කණ්ඩායම්, වෘත්තීය සමිති, ජනමාධ්‍යෙව්දීන්ගේ සංගම්, විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ සහ අධිකරණ සංගම්, මහේස්ත්‍රාත් සංගම්, ශිෂ්‍ය ව්‍යාපාර, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර, මානව අයිතිවාසිකම් කඩ කිරීමේ වින්දිතයන්ගේ ඥාතීන් සහ සංගම්, පාසල්, විශ්වවිද්‍යාල, පර්යේෂන ආයතන, ආබාධිතයන් සහිත පුද්ගලයන් හා ඔවුන්ගේ නියෝජන සංවිධාන, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සංවිධාන, ළමයින්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සංවිධාන, LGBTI සංවිධාන.

07. සාමකාමීව රැස්වීමේ අයිතිය උදුරා ගන්නවා නම් අපට මොනවද කරන්න පුළුවන්

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු පවරන්නට ඕනෑම පුරවැසියෙකුට නීතිමය නිදහස තිබෙනවා. එය තමන්ට අසාධාරණය වූ දවසේ සිට මාසයක් ඇතුලත විය යුතුයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන්න පුළුවන්. මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට දැනුම් දීමක් සිදු කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *