අයාලේ නොයා යන්න යාල ගැන ටිකක් දැනගමු

යාල කියන්නේ ලංකාවෙ තියෙන විශාලතම වනෝද්‍යානයක්. යාල ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේ සංචාරකයින් අතරත් ජනප්‍රිය වනෝද්‍යානයක්. අප්‍රිකාවේ, ඉන්දියාවේ සුවිශාල තණබිම්වල පවා දකින්නට දුර්ලභ අලි, කොටි, වලස්සු යාලේ සාපේක්ෂව සුලභයි. ඒ නිසාම යාලට එන සංචාරකයොත් පහුගිය කාලේ අසාමාන්‍ය විදිහට ඉහළ ගියා. 2019 වර්ෂයේ ඇති වූ පාස්කු ප්‍රහාරය, 2020 දැන් පවතින කොවිඩ්-19 තත්ත්වය සහ 2021 ඇතිවන්නට නියමිත ආර්ථික අවපාතය නිසා විදෙස් සංචාරකයින් තොග ගණන්, බුරුතු පිටින් යාලට බහින එක ටික කාලයකට නැවතිලා තියෙනවා. ඉතින් මේ කාලේ ලෝකල් රේට්ස් වලට බොහොම අඩු මිලට යාල බලන්න යන්න වටිනවා.

 

1. යාල යන්න හොඳ කාලේ මොකද්ද? 

ලංකාවේ ඉතින් හිම වැටෙන, නපුරු ශීත සුළං හමන සීත කාලයක් නැහැ. යාලට නම් තියෙන්නේ කාල දෙකයි. එකක් හොඳටම පායන කාලය. අනික වැහි කාලය. යාල ගැඹුරට ගිහින්, කැබිලිත්ත බලලා රීජන් දෙක තුනක් යන සෆාරි ගමනකට නම් වැහි කාලය සුබ නැහැ. මොකද යාල කියන්නේ වනයක්. ඒක ඇතුළේ තියෙන්නේ යන්තම් හදාපු දුඹුරු පාට පාරවල්. ඒ පාරවල් වල වැහි කාලෙට ගමන ලේසි නැහැ. ඇරත් සමහර ලොකු වතුර පාරවල් වැඩි වුණාම ජීප් වලින් ඒවායෙන් එතෙර වෙන්නත් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ලොකු ටුවර් එකකට නම් වැහි කාලය මග අරින එක වටිනවා. ඒ වගේම පොඩි චාරිකාවටත් දැඩි පායන කාලේ අප්සැට්. මොකද පායන කාලේට සත්තු දැඩි මහන්සියකින් වතුර සොයාගෙන යනවා. ඒ කාලේට තවත් පිරිසක් ඇවිල්ල නිතර කරදර කරන එක උන්ට කරදරයක්.

 

2. නටබුන් සහිත යාල

යාල වනය කියන්නේ නොඉඳුල් වනාන්තරයක් නෙමෙයි. 1818 වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ ඌව සහ දැනට යාල තියෙන භූමිවල තිබුණ ගොවිබිම්, කෙම්බිම් සුද්දන් විසින් විනාශ කළා. ඒ වගේම ඉන් පස්සේ එක්දාස් නවසිය ගණන් වෙනකල්ම සුද්දන්ගේ දඩබිමක් විදිහටත් යාල බිම තිබුණා. කාවන්තිස්ස යුගයට අයිති වගේම ක්‍රි.පූ යුගයට අයත් නටබුනුත් යාල ගල්කුළු සහ වනය තුළින් හමුවෙලා තියෙනවා. දැනට සිතුල්පව්ව, තිස්ස, කිරින්ද වගේ විහාරස්ථාන වගේම පානම, පොතුවිල් පැත්තෙන් කුඩුම්බිගල වගේ විහාරස්ථානත් යාලට මායිම් වෙලා තියෙනවා. ඈත අතීතයේ තිබූ හඳුනා නොගත් නෂ්ඨාවශේෂත් යාල දීර්ඝ චාරිකාවකදි අපිට දැකබලාගන්නට පුළුවන්කම ලැබෙනවා.

 

3. යාල නිතර බලන තැන

යාල සතුන් බලන්න තියෙන සුපිරිම එන්ට්රන්ස් එක විදිහට ජනප්‍රිය වෙලා තියෙන්නේ තිස්ස කිරින්ද පලටුපාන එන්ට්රන්ස් එක. එක කාලයකදි මේ පිවිසුමෙන් වාහන තුන් හාරසීයක් වනෝද්‍යානයට ඇතුල් වෙන එක ගැටළුවක් වෙලා තිබුණා. ඒ වගේම කතරගම සහ අනෙක් කලාප වලිනුත් යාලට අප්‍රකට පිවිසුම් තියෙනවා. යාල පලටුපාන පිවිසුමෙන් ගොස් පැය හතරක ගමනේදී දිය කඩිති රැසක් හමුවෙනවා. මුහුදට ආසන්න විල්ලු පරිසරයේ ජලය තියෙන නිසා සතුන් ඒ කලාපයේ වැඩිපුර ඉන්නවා. අනෙක් කලාප එතරම්ම ජනප්‍රිය නැහැ. දින කිහිපයක සංචාරක ගමනක නිරත වෙන්න පුළුවන් නම් ඒ අනෙක් අප්‍රකට යාලේ ස්ථාන වලත් සංචාරය කරන්නට අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත් යාල වියළි බව වැඩි කාලෙට වහනවා. ඒ සතුන්ට යම් විවේකයක් අවශ්‍ය වෙන නිසා.

 

4. හයිවේ ගිහින් අලි බලමු

හයිවේ ගිහින් සත්තු බලන්න ඇත්තටම යාල වගේම තවත් සුන්දර කුඩා වනෝද්‍යාන දෙකකුත් අපිට තියෙනවා. ඒ තමයි උඩවලව සහ ලුණුගම්වෙහෙර. පහුගිය කාලෙ නම් වනාන්තර වලට යන්නේ නැතුව හයිවේ එකේදිම අලි බලාගන්න චාන්ස් එකක් හම්බවෙලා තිබුණා සමහර අයට. මේ අධිවේගී මාර්ගය නිසා කොට්ටාවෙන් ඇතුළට දාලා පැය තුනකින් විතර ඔය කියන වනෝද්‍යාන තුනටම ළඟාවන්නට පුළුවන්කම ලැබිල තියෙනවා. මේ වනෝද්‍යාන තුළ තිබෙන පාරවල් කලින් කිව්වත් වගේ බොහොම අබලන්. ඉතින් හොඳ SUV (ස්පෝට් යූටිලිටි වෙහිකල්) වගේ එකක් හැර හොඳ කාර් එකක් වගේ නම් යාල හෝ අසල වනෝද්‍යානවලට දාන එක අපරාදයක්. දැන් බොහෝවිට එහෙම පුද්ගලික වාහන වලට යන්නට දෙන්නෙත් නැහැ වනෝද්‍යාන වලින්.

 

5. නවාතැන්

ලංකාවෙ අපිට නම් චාරිකාවක් කියන්නේ අවශ්‍යතා ගොඩක්. මේ දකුණු පළාතට යනවා නම් කතරගම හෙමත් යන්න කට්ටියට උවමනා වෙනවා. ඉතින් අලි බලන්න කැලේට රිංගන්නත් උවමනා වෙනවා. මේ වගේ උවමනා එපාකම් ගොඩක් නිසා නවාතැන් වනාන්තරය අසලම බුක් කරගන්න පුළුවන්නම් වටිනවා. දැන් යාල ආසන්නයේ හොඳ සංචාරක හෝටල තියෙනවා. ඒ වගේම යාල වනය තුළ ඇතැම් කණ්ඩායම් විසින් තාවකාලික ආරක්ෂිත නවාතැන් සකස් කරලා තියෙනවා. මැප් එක අනුව පරීක්ෂා කරල බැලුවොත් කොළඹ ඉඳන්ම මේ සංචාරක නිවහනක්, එහෙම නැතිනම් වනයට යාබදම හොඳ හෝටලයක් බුක් කරගන්න ඔයාලට පුළුවන්. 

 

6. යාලෙ සත්තු දැක්කේ නැත්නම්? 

සමහර  අය පැය හතරක, දවස් බාගේ යාලේ ගමනෙදි අලි, දිවි, වලස්සු ආදී ගොඩක් සත්තු දකිනවා. සමහර අයට එහෙම ලක් එකක් නැහැ. ඒක ඉතින් වෙලාව තමයි. අපි කැමති වෙලාවට සත්තු ඉන්නෙ නැහැනේ. කොහොම වුණත් මුවෝ, කිඹුල්ලු වගේ සතුන් නම් සුලභ නිසා දැකගන්න අපහසුවක් නැහැ. දරුවන් එක්ක වගේ ගිහින් සත්තු දැක්කේ නැතොත් පැයක හමාරක ගමනික් සූරියවැව සෆාරි උද්‍යානයට යන්න පුළුවන්. සූරිය වැව සෆාරි උයනෙදි සතුන් විශාල අවකාශ වල රඳවලා තියෙනවා. අපිට ගිහින් උන්ව බලාගන්නට පුළුවන්. හම්බන්තොට පළාතෙ දැන් වියළි කලාපීය උද්භිත උද්‍යානය වගේම සුන්දර කුරුළු උයනත් සතුන්ට ගහකොළට ලැදි අයට ගිහින් බලලා රසවිඳින්නට පුළුවන්.

 

7. කළ නොකළ යුතු දෑ

ෆැමිල් ට්‍රිප් එකක් යන්න බොහෝවිට දාගන්නේ අපි නිවාඩුවක්. ඇත්ත. අපිට විවේක තියෙන්නේ ඒ නිවාඩු දවස් වලට නේ. ඒත් ලෝන්ග් වීකෙන්ඩ් වලට හෙම යාල වගේ පරිසරයක තියෙන කුල් ගතිය එක්ක ඒක බලන්න අවස්ථාව නැහැ. නිවාඩු ගැන ලොකු කරදරයක් නැත්නම් සතියේ දවසක ගියාම සෙනග ගොඩෙන් මිදිලා යාල සහ ඒ අවට පරිසරය බලාගන්න පුළුවන්. වනෝද්‍යානය බලන්න අපිට යන්න ටිකට් ඕනි. ඒත් මේ සත්තු කියන්නේ එයාලට ලැබෙන පුද්ගලික වාසියට අපිට පෙනී ඉන්න ජාතියක් නෙමෙයි. සර්කස් සතුනුත් නෙමෙයි. යාල සතුන් දැන් මිනිස්සු දැකලම මිනිස්සුන්ට බය නැහැ. ඒත් හැකිතාක් අපි ඔලුව පාවිච්චි කරලා සතුන්ට කරදරයක් නොවන ආකාරයට කටයුතු කරන්නට ඕනි. කලබල රියදුරු මහත්වරුන්ගේ ඇතැම් කලබල වැඩ සතුන්ට බාධාවක් වුණත් ඒ අවස්ථාවල වේගය වැඩි නම්, රියදුරු මහත්වරුන් සමග කතාබස් කරලා වේගය අඩුකරගෙන යන්න පුළුවන් නම් වටිනවා.

සත්තු වත්තකදි දකින තැලිලා, මිරිකිලා, කොටුවෙලා ඉන්න සතුන්ට වඩා ස්වභාවික පරිසරයෙ ඉන්න සත්තු සුන්දරයි. එයිනුත් මිනිස්සුන්ට හුරුවෙලා, දැන් දැක්කත් නොදැක්ක ගාණට හොඳට රඟපාගෙන ඉන්න යාල සතුන් සුපිරියි. සමහර විට ගමනෙදි හිතුව තරම් දුර්ලභ ලෙපර්ඩ් සත්තු වලස්සු ආදිය හමු නොවෙන්නත් පුළුවන්. ඒත් ඒ හමුවෙන සතුන් බලාගෙන බිල්ඩිමක්, ලයිට් කණුවක් නැති කාෂ්ඨක වනය දිහා බලාගෙන යන ඒ ගමන ඇත්තටම සිතට සහනයක් දෙනවා. ඔයාලටත් යාල යන්න, ගිහින් සත්තු බලන්න විදෙස් සංචාරකයින් අඩු මේ කාලය කදිමයි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *