වාණිජ සිනමාවේ ප්රගමනයයට බලපාන ප්‍රධානම සාධකයක් වන්නේ යම්කිසි චිත්‍රපටයක රඟපාන නළු නිළියන්ගේ ඇති සුසංයෝගයයි. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ චිත්‍රපටි ක්ෂේත්රයේ නොමැකෙන නමක් තියපු සිනමා පෙම්වතුන් යුවළ කීපයක් පිළිබඳවයි.
1. රෝයි – සුමනා
ගොඩක් සිනමා යුවළවල පෙම් සම්බන්ධතා රිදී තිරයට පමණක් සීමා වුණත්, එතනින් එහාට ගිහිල්ලා සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වෙලා පෙම් සටන ජය ගත්ත යුවළක් විදිහට රෝයි සුමනා දෙන්නව හඳුන්වන්න පුළුවන්. “ඔබයි මමයි, සූකිරි කෙල්ල, මගෙ නංගි ශ්‍යාමා, රන්වන් රේඛා” වගේ චිත්‍රපටවල ප්‍රධාන පෙම් යුවළ වුණු ඔවුන් දෙදෙනාගේ රඟපෑම බලන්න ප්රේක්ෂකාගාර පිරී ඉතිරිලා ගියා. පස්සේ කාලෙකදි සිංහල සිනමාව කඩාවැටිලා තියෙද්දි හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකාගාරයේ යළිත් පුරවන්න ඔවුන් දෙදෙනා චිත්‍රපටි නිර්මාණකරණයෙන් දායක වුණා කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕන.
2. විජය – මාලිනී
සිංහල සිනමාවේ ආකර්ෂණීයම පෙම් යුවළ විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ විජය මාලනී දෙදෙනායි. ඔවුන් දෙදෙනා රඟපාපු චිත්‍රපටි සිය ගණනක් අතරෙන් “හතර දෙනාම සූරයෝ, පෙම්බර මධූ, වසන්තයේ දවසක්, තුෂාරා” වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් වුණා. සිනමා රසිකයෝ බලාපොරොත්තු වුණා වගේම ඔවුන් දෙදෙනාත් සැබෑ ජීවිතයේ විවාහ වෙන්න අපේක්ෂා කරගෙන හිටියත් දෛවය ඊට ඉඩ දුන්නේ නැහැ.
3. ජීවන් – අනෝජා
ඇතැම් සිනමා විචාරකයන් සඳහන් කරන විදිහට සිංහල සිනමාවේ යුගයක් නිර්මාණය කරපු අවසන් පෙම්වතුන් යුවළ වන්නේ ජීවන් සහ අනෝජායි. පස්සේ කාලෙක අනෝජා වීරසිංහ ප්‍රකාශ කරලා තිබ්බේ එම යුගය ඊට වඩා වෙනස් ආකාරයෙන් නිර්මාණය වුණා නම් හොඳයි කියලා තමන් හිතන බවයි. බොහෝ වෙලාවට පෙර සිනමාවේ පෙම්වතුන් යුවළවල් වලට වඩා යම්තාක් දුරකට තත්ත්වයෙන් බාල චිත්‍රපටවලට තමයි ඔවුන් දෙදෙනාට තමන්ගේ රංගන දායකත්වය ලබා දෙන්න සිද්ද වුණේ.
4. කමල් – සංගීතා
අවාසනාවකට වගේ මේ දෙන්නටම කරළියට එන්න වුණේ අපේ සිනමාව ක්‍රම ක්‍රමයෙන් පසුගාමී තත්ත්වයකට වැටී තිබෙන වකවානුවකයි. නමුත් එච්. ඩී ප්‍රේමරත්න, රෝයි ද සිල්වා වගේ අධ්‍යක්ෂකවරුන් යටතේ මැද මාවතේ සහ තරමක් දුරට හොඳ සිනමා නිර්මාණ වලට ඔවුන් දෙදෙනාට තමන්ගේ දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබුණා. ඒ අතරින් “සප්ත කන්‍යා”, “කිණිහිරියා මල්” සහ “ගරිල්ලා මාකටින්” වැනි චිත්‍රපටි ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
5. සනත් – සබීතා
ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහළින්ම දිනාගත් සිනමා පෙම් යුවළක් විදිහට සනත් සබීතා යුවළ හඳුන්වන්න පුළුවන්. ඔවුන් දෙදෙනාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෝ. මල්ගස් වටේ නට නට වාණිජ චිත්‍රපටි වලට සාධාරණයක් කරන්න වගේම “සිසිල ගිනි ගනී”, “විරාගය” වගේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටිවල තමන්ගේ භූමිකාවට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නත් දෙදෙනාම සමත්වුණා. ඔවුන් දෙදෙනා විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය බව කියවුණත්, අවසානයේදී එය ඒ අයුරින් සිද්ධ වුණේ නැහැ.
6. රන්ජන් – දිල්හානි
අද දක්වාම සමීප මිතුරන් වෙලා හිටියත් රන්ජන් රාමනායක ප්‍රසිද්ධියේ කියන්නේ තමන් තනිකඩව ඉන්න ප්‍රධානම හේතුව දිල්හානි කියලායි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳී යන්නේ සිනමාව හින්දා. නමුත් මේ කොතරම් ප්‍රශ්න තිබ්බත් සිනමාව තුළ ඔවුන් දෙදෙනා යළි යළිත් සාර්ථක පෙම්වතුන් බවට පත් වුණා. මේ නිසාම ප්‍රේක්ෂකාගාරයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා.
7. ගාමිණී – මාලිනී
සිංහල සිනමාවේ ප්රබලතම පෙම් යුවළ විදිහට මේ දෙදෙනාව හඳුන්වන්න පුළුවන්. ගාමිණී සිංහල සිනමාවේ රජු වෙද්දි මාලනී ෆොන්සේකා සිනමාවේ රැජිනි වෙන්නේ ඔවුන්ගේ දක්ෂතාවය නිසා වගේම ඔවුන් දෙදෙනාගේ සුවිශේෂී සුසංයෝගය නිසාම කියලා කිව්වොත් ඒක අතකින් වරදක් නෙමෙයි. ලෙනින් මොරායස් වගේ වාණිජ මට්ටමේ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණවලට වගේම, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සම්භාව්‍ය ගණයේ අධ්‍යක්ෂකවරුන්ටත් මේ සුසංයෝගයෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් වුණා. එහි අවසාන වාසිය ලැබුණේ ප්රේක්ෂකයාටයි.
අපි හිතන විදිහට මේ ලිපියට ලංකාවේ ප්‍රධාන සිනමා පෙම්වතුන් යුවළවල් සියළු දෙනාම ගොනු කරන්න අපිට හැකියාව ලැබුණා. මීට අමතරව සිංහල සිනමාවේ තවත් කැපී පෙනෙන පෙම්වතුන් යුවළ කීපයක් ඉන්නවා. ඒ අය ගැන වගේම අපි මේ ලිපියේ කතා කළ පෙම්වතුන් පිළිබඳවත් ඔබේ අදහස් කමෙන්ට් මගින් දක්වන ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply