කටට රසට කෙබාබ් කෑල්ලක්, බාබක්‍යු කරපු මස් කෑල්ලක් කන්න යන්න තියෙන තැන්!

කෙබාබ් කෑල්ලක් හරි බාබක්‍යු කරපු මස් කෑල්ලක් හරි කන්න ආසද? එහෙමනම් මේ තැන් වලින් එකක් ට්‍රයි කරන්න!

මුලින්ම කියන්න ඕන මේ ආටිකල් එක අතිශයින්ම මාංශ භක්ෂකයින්ට විතරයි කියලා. දැන් මාංශ භක්ෂකයෙක් නම් බාබක්‍යු කියන්නේ මොනවද කියලා දන්නවනේ? අර ගිණි අඟුරු උඩ පළහපු මස් වලට තමයි බාබක්‍යු කියන්නේ. එතකොට කෙබාබ් කියන්නේ? කෙබාබ් කියලා අපි මෙහේ කියන්නෙත් ඒ විදියට පළහලා, කූරක ගහලා එන මස් වලට. හැබැයි කෙබාබ් සහ බාබක්‍යු කියන්නේ එකක් නෙවෙයි. ඇත්තටම මැදපෙරදිග කෑමක් වෙන කෙබාබ් එක එක විදියට හදන්න පුලුවන්. කොහොමහරි අපි හිතුවා කෙබාබ් හරි බාබක්‍යු හරි, ඒ දෙකම හරි හොයාගන්න කො​ළඹ සහ අවට තියෙන හොඳ තැන් කීපයක ලිස්ට් එකක් හදන්න. එතකොට ඊලඟට මස් කෑල්ලක් කන්න ආසාවක් ආපු දවසට, මේ ආටිකල් එක කියවලා තැනක් හොයාගෙන ගිහිල්ලා කන්න බැරියෑ පැලෙන්න!

 

1. Masma EAT BBQ

Source – facebook.com

මස්ම කන මාංස භක්ෂකයින්ට මේක පාරාදීසයක්. පන්නිපිටිය පැත්තට වෙන්න කොට්ටාවේ තියෙන පුංචි තැනක් මේක. පාර අයිනේ නිසා හොයාගන්න අමාරුවක් නෑ. මෙතන දෙයියනේ කියලා පෝක් ලෝලීන්ට පෝක් රිබ්ස් වුනත්, චිකන් ලෝලීන්ට චිකන් වින්ග්ස් හරි පාට්ස් හරි වුනත්, සොසේජ් ලෝලීන්ට කොච්චි සොසේජ් වුනත්, ඔය ඔක්කොම කන්න ආස ලෝලීන්ට මේ ඔක්කොම තියෙන ප්ලැටර් එකක් වුනත් ගන්න පුලුවන්. මැද්දට ගාලික් බ්‍රෙඩ් එකකුත් එකතු කරගත්තහම කෑම වේල සම්පූර්ණයි. මිල ගණන් සාධාරණයි. රස උපරිමයි.

තැන:

2. M’eat US

Source – facebook.com

බත්තරමුල්ලේ, පැලවත්තේ තියෙන මෙතනත් හවසට ඇරෙන, බොහොම පොඩි පොට් එකක්. හැබැයි ඇතුලට ගියාට පස්සේ ඉතින් බාබක්‍යු එක පටන් අරගෙන නම් රස නහර පිනායන සුවඳ තමයි. මෙතනත් චිකන් ඕන අයට චිකන්, පෝක් ඕන අයට පෝක් ගන්න පුලුවන්. පොඩි පොඩි සොෆ්ට් ඩ්‍රින්ක්ස් මෙතනින් ගන්න පුලුවන්. වයින් බෝතලයක් වගේ ඕන නම් ගෙදරින් මෙතෙන්ට ගෙනියන්නත් මේ අය ඉඩ දෙනවා. මෙතන මිල ගණන් නම් සෑහෙන්න අඩුයි කියන්න පුලුවන්. නැහැයි කියලා හිතනවා නං රිබ්ස් ප්ලැටර් එකක් අරගෙන බලන්නකෝ. දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න පුලුවන් මේක වෙන කොහේවත් මේ ගාණට ලැබෙයි කියලා අපි හිතන්නෙ නෑ. 

තැන: 

 

3. The Steuart

Source – pulse.lk

ඩච් ඉස්පිරිතාලේ ගාවින් ඇතුළට ගියහම අර අතීත විභූතියත් එක්කම බැබලි බැබලි තියෙනවා ස්ටුවර්ට් හෝටලේ. මෙතනට ඇතුළටම ගියහම අඩ අඳුරේ නැහැවිලා තියෙනවා රෙස්ටුරන්ට් එක. එතන සැප පහසු කූලිච්චමක වාඩි වෙලා ඕඩර් කරන්න තියෙන්නේ බාබක්‍යු පෝක් රැක් එකක්. ලී තැටියක තිබ්බ පෝක් රැක් එක එන්නේ සලාදෙකුයි, පොටෙටෝ මෑෂ් එකකුයි එක්ක. පෝක් රැක් එක කිවුවට ඇත්තටම ඒක එකක් මදිවෙයි කියලා හිතලද කොහෙද ඒක උඩින් තියපු තවත් පෝක් රැක් බාගෙකුත් එක්ක තමයි එන්නේ. ඕක දෙන්නෙක්ට ඇති. එකෙක් කෑවොත් පැයකට විතර එතනින් නැගිටින්න බෑ!

තැන:

4. Arabian Nights

කොල්ලුපිටියේ ගාලු පාරේ තියෙන ඇරේබියන් නයිට්ස් කියන්නේ ඇත්තටම මිඩ්ල් ඊස්ටන් කෑම බීම තියෙන, නියම මැදපෙරදිග ෆීල් එකක් එක්ක නිර්මාණය කරලා තියෙන රෙස්ටුරන්ට් එකක්. මෙතන ප්‍රධාන තැන තියෙන්නේ ෂවර්මා වලින් පටන් ගත්තහම තියෙන නොයෙකුත් මැදපෙරදිග කෑම බීම වලට. ඕන්න ඒ අතරේ මෙනු එකේ තියෙනවා චාකෝල් ග්‍රිල්ස් කියලා අයිටම් එකක්. මෙන්න මේකේ තියෙනවා නොයෙකුත් කෙබාබ් වර්ග සහ බාබක්‍යු වර්ග. මෙතන බීෆ්, මට්න් සහ චිකන් තමයි තියෙන්නේ. ඔර්ෆාලි බීෆ් කෙබාබ්, කොෆ්තා බීෆ් කෙබාබ් වගේ කෙබාබ් වර්ග ගණනාවක් සහ බාබක්‍යු මස් වර්ග විවිධ ක්‍රමේට මෙතන තියෙනවා. ගාණ සාධාරණයි, රස කදිමයි.

තැන: 

 

5. David’s Dangerously Delicious Char Sui

හරි. මුලින්ම මේ නම තේරුම් අරගෙන ඉන්න එපායෑ. චීනේ ඔය කැන්ටොනීස් ක්‍රමේට විවෘත ගින්නක පළහපු මස් වලට කියන්නේ Siu Mei කියලලු. එතකොට Char Sui කියන්නේ ඒ කාණ්ඩේ ඇතුළේ බාබක්‍යු කරලා පෝක් හදන ජනප්‍රිය ක්‍රමයක්ලු. දැන් එතකොට ඩේවිඩ් ඔය කැන්ටනීස් ක්‍රමේට පෝක් බාබක්‍යු කරනවා, රොස්මීඩ් ප්ලේස් එකේ තැනක. ඔය ඩේවිඩ්ගේ බාබක්‍යු බොහොම අන්තරායදායක විදියට රසයිලු. ඔන්න ඕක තමයි නමේ රහස! මෙතන බොහොම සරල තෝරාගැනීමක් කරන්න තියෙන්නේ. චිකන් සහ පෝක් දෙකම චීන ක්‍රමේට බාබක්‍යු කරලා දෙන මෙතන සයිඩ් ඩිෂ් විදියට ඔය බත්, රෝස්ට් කරපු පාන්, පිපිඤ්ඤා පෙති එහෙම තියෙනවා. රස උපරිමයි.

තැන:

6. Dindigul Thalappakatti

ඔව්, මේ තමයි අර තලප්පාව දාපු හාදයා ඉන්දියාවේ දින්දිගුල් වල පටන් අරගෙන, දැන් ලෝකෙ පුරාම විහිදිලා තියෙන රෙස්ටුරන්ට් ජාලය. මෙතන ඇත්තටම බාබක්‍යු පොට් එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ මස් මාංශත් එක්ක ගන්න පුලුවන් උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු කෑම. හැබැයි අපි මේකත් ලිස්ට් එකට ගන්න හේතුවක් තියෙනවා. මෙතන තියෙනවා නියම ඉන්දියන් ක්‍රම වලට මැරිනේට් කරපු කෙබාබ් සහ බාබක්‍යු. මේ අයගේ චිර ප්‍රසිද්ධ බිරියානි එක්ක එහෙම මේ බාබක්‍යු මරුවට අල්ලලා යනවා. කෙබාබ් නං නිකං කන්නත් පුලුවන්. ෂුවර් නැතිනම් ඩි ෆොන්සේකා පෙදෙසේ තියෙන මේ රෙස්ටුරන්ට් එකට ගිහින් මේ අයගේ හරියාලි කෙබාබ් ඩිෂ් එකක් අරගෙන බලන්න!

තැන: 

7. Smokies Barbecue

කොළඹින් ටිකක් ඈත මොරටුව පැත්තට ගිහින් බාබක්‍යු පාරක් දාන්න අකමැත්තක් නැති නම්, ස්මෝකීස් බාබක්‍යු එක අපි රෙකමන්ඩ් කරනවා. විශේෂයෙන්ම මෙතන චිකන්, බීෆ්, පෝක්, මට්න් සහ සොසේජස් කියන මස් රස තුන හතර පහම තියෙන එකත් මතක් කළ යුතුමයි. නියම විදියට දුම් රහට, යුෂ බේරෙන්න බාබක්‍යු කරපු මස් වර්ගෙකින් එකක් අරගෙන ගෙදර හදපු කොච්චි සෝස් එකක් එක්ක කන්නයි තියෙන්නේ. ඕන නම් සයිඩ් එකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, එළවළු එහෙමත් එකතු කරගන්න පුලුවන්!

තැන:

මේ ඇරෙන්න මතක් කරන්නම ඕන බාබක්‍යු සහ කෙබාබ් ගන්න තැන් කීපෙකුත් තියෙනවා. එකක් තමයි ගෝල් ෆේස් ග්‍රීන් එකේ දිගට තියෙන නානලාගේ කඩ පේළිය. එහෙමත් නැතිනම් අර දැන් ෆස්ලීස් හලාල් රෙස්ටුරන්ට් කියලා නම වෙනස් කරලා තියෙන පරණ බර්ගර්ස් කින්ග් එක. එහෙමත් නැතිනම් අලුත්කඩේ උසාවිය පිටිපස්සේ හල්ෆ්ට්ස්ඩ්‍රොප් වීදියේ තියෙන කඩ පේළි.

Cover Image Source – arabianknights.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *