දකුණු ඉන්දීය දේශපාලනයේ අයෝමය කාන්තාව – ජයලලිතා

ජයලලිතා කියන නම ඉන්දියාවේ දේශපාලනඥයින් අතරින් කාලෙකට කලින් අපිට ප්‍රවෘත්තිවලින් නිතරම අහන්න ලැබුණු එක් නමක්. සමහර අවස්ථාවල එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව ශ්‍රී ලංකා රජයට හිතවාදී ස්ථාවරයක හිටපු ඇය සමහර අවස්ථාවල දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ පැත්ත ගත්තා. එක්තරා අවස්ථාවක දී ඇය ඉන්දීය හමුදාව මෙරටට එවා ලංකාවේ ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කළ යුතු බවටත් ආන්දෝලනාත්මක කතාවක් පැවැත්වූවා. මේ නිසා ජයලලිතා කියන්නේ ලංකාවේ මිතුරියක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඇය ඉන්දීය දේශපාලනයේ අයෝමය කාන්තාවක් කියන කතාව නම් අපිට අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. ඒ වගේම ඇගේ ජීවිත කතාවත් හරියටම චිත්‍රපටියක් වගේ. මේ නිසා Lifie අපි හිතුවා ඇගේ ජීවිත කතාව කෙටියෙන් ඔබ වෙත ගෙන එන්න.

 

1. කෝමලවල්ලි

ඉන්දියාවේ මයිසෝරයේ ඉහළ පෙළේ බ්‍රාහ්මණ පවුලක 1948 පෙබරවාරි 24 දින උපත ලැබූ ඇයට පවුලේ සාමාජිකයන් මුලින් තබා තිබුණේ කෝමලවල්ලී කියන නම. කොහොම වුණත් ඇයට වයස අවුරුදු එක පිරෙන විට ජයලලිතා කියන නම ඇයට ලබා දුන්නා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එවකට එම පවුල ජීවත් වූ ජය විලාස්, ලලිත් විලාස් කියන මන්දිර දෙකේ නම් එකතු කිරීමෙන් අනතුරුව ඇයට මේ නම ලබා දුන්නා කියලායි. අතිශයින්ම සෙල්ලක්කාරයෙක් වූ ජයලලිතාගේ පියා තම පාරම්පරික ධනය නාස්ති කර දැම්මා. ජයලලිතාට වයස අවුරුදු දෙක පිරෙන විට ඔහු මෙලොව හැර ගිය අතර මේ නිසා ජයලලිතාගේ මව වූ වේදවල්ලි දැඩි ආර්ථික අපහසුතාවයකට ලක් වුණා. මේ වන විට ඇගේ තව සහෝදරියක් වූ අම්බුජාවල්ලි සිනමා නිළියක් බවට පත්ව සිටි අතර වේදවල්ලිත් මෙම ආර්ථික ගැටළු මඟහරවා ගැනීමට නිළියක් වීමට තීරණය කළා.

 

2. ළමා කාලය

සිය පියාගේ මරණයත්, නිළියක ලෙස මවගේ කාර්යබහුලත්වයත් නිසා ජයලලිතාට කුඩා කාලයේ පටන් මවුපිය රැකවරණය අහිමි වුණා. පසු කලෙක දී ඇය සිය මව සමඟ ජීවත් වීමට පැමිණියද විවිධ චිත්‍රපටිවල රඟපෑම් කටයුතු නිසා ඇයව දැක ගැනීමට පවා ලැබුණේ දවසේ පැය කීපයකට පමණයි. කෙසේ වෙතත් පාසලේදී අතිශය දීප්තිමත් ශිෂ්‍යාවක් වූ ඇයට පාසල් හැරයාමේ පරීක්ෂණයේදී එම වසරේ දක්ෂතම ශිෂ්‍යාවට හිමි සම්මානය ලබාදීමට පාසලේ පාලන අධිකාරිය කටයුතු කළා. තම මව නිළියක වීම නිසා සිය පාසල් මිතුරියන්ගේ කොන් වීමට තමන් ලක් වූ බව පැවසූ ඇය, ඊට එකට එක කිරීමක් ලෙස අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් වලින් විශිෂ්ටතම දක්ෂතා දැක්වීමට තමන් උත්සාහ කළ බව පසුව පවසා සිටියා.

 

3. සිනමාගමනය 

සිය මව සමග චිත්‍රාගාරයට ගිය ඇයට හදිසියේම ළමා චරිතයක් නිරූපණය කිරීමට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා. ඒ අදාළ ළමා නිළිය එදින නොපැමිණීම නිසයි. කෙසේවෙතත් මෙම අවධියේ දී ජයලලිතා නිළියක් වීමට ප්‍රිය නොකළ අතර ඇයගේ එකම අරමුණ වූයේ නීතිඥවරියක් වීමයි. නමුත් ඇයව දුටු බොහෝ අධ්‍යක්ෂකවරු ඇය සිනමාවට සම්බන්ධ කරන ලෙස ඇයගේ මවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි අතර සුළු චරිත කීපයක් නිරූපණය කිරීමෙන් අනතුරුව ‘චින්නඩ ගොම්බේ’ නම් කන්නඩ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට ඇයට ලැබුණා. මෙතැන් පටන් දෙමළ, තෙළිඟු සහ කන්නඩ චිත්‍රපටි ගණනාවක සහ හින්දි චිත්‍රපටියක රඟපෑමේ අවස්ථා ගණනාවක් ඇය වෙත ගලා ආවා.

 

4. එම්.ජී.ආර්

එම්.ජී. රාමචන්ද්‍ර සිනමාවේදී ඇගේ පෙම්වතා වූවා පමණක් නොව ඇගේ සමස්ත ජීවිතයම වෙනස් කිරීමට සමත් වුණා. ඇය පසු කලෙක පවසා තිබුණේ තමන් සිනමාව සඳහා යොමු වූයේ මවගේ ඉල්ලීම මත වන අතර දේශපාලනය සඳහා යොමු වූයේ එම්.ජී.ආර්ගේ ඉල්ලීම මත බවයි. ඔවුන් දෙදෙනා රඟපෑ පළමු චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් ලෙස  වර්ගීකරණය කෙරුණු අතර ඊට හේතුව වූයේ ඇය ඒ චිත්‍රපටයේ එක ගීතයක් සඳහා අත් නැති හැට්ටයක් ඇඳ සිටීමයි. මේ නිසා මෙම චිත්‍රපටිය නැරඹීම සඳහා වයස අවුරුදු 18 වන තෙක් ඇයට අවස්ථාවක් ලැබුණේ නැති බව කියවෙනවා.

 

5. දේශපාලන ජීවිතය

 

එම්.ජී.ආර් විසින් AIADMK පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව එහි ප්‍රබල චරිතයක් නිරූපණය කළ ජයලලිතා ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව වෙත පත් කරනු ලැබුවා. එහිදී ඇය විසින් සිදු කරනු ලැබූ කතා අගමැති ඉන්දිරා ගාන්ධිගේ පවා ඇගයීමට ලක්වූ අතර අනතුරුව ඇය වෙත පක්ෂයේ ප්‍රචාරක ලේකම් තනතුරේ වගකීම් භාර දෙනු ලැබුවා. 1984 වසරේ දී එම්.ජී.ආර් ඔත්පල වූ අතර ඔහු වෙනුවෙන්  මැතිවරණ කටයුතු මෙහෙයවීම ජයලලිතාට භාර වුණා. කෙසේ වෙතත් 1987 ඔහුගේ මරණයෙන් පසුව  පක්ෂයේ පාලනය කාට හිමි විය යුතුද යන්න පිළිබදව අභ්‍යන්තර අරගලයක් ඇතිවීමට පටන් ගත්තා. එම්.ජී.ආර්ගේ වැන්දඹු බිරිඳ වන ජානකී තමිල්නාඩුවේ බලය ලබා ගැනීමට උත්සාහ කළ අතර අවසානයේදී 1980දී පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කොට ජයලලිතා තමිල්නාඩු විපක්ෂ නායිකාව බවට පත් වුණා. 1991 දී ඇය තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරිය බවට පත්වූ අතර 1996දී පාලන බලය ඇගෙන් ගිලිහී ගියා. 2001දී  මහ ඇමැති ධුරයට ඇය පත්වුවත් දූෂණ චෝදනා මත එම තනතුර හැර යෑමට ඇයට සිදුවුණා. වතාවන් කීපයක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති ධූරයට පත්වූ ඇය 2016 වසරේ දී 6 වෙනි වතාවටත් එම ධුරයට පත් වුණා.

 

6. මරණය 

2016 වසරේ දෙසැම්බර් පස් වන දින චෙන්නායිහි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය ඇය මියගිය අතර ඉන්දීය රජය මුළු රට පුරා දිනක ශෝක කාලයක් ද තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් දින 12ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මාරිනා වෙරළ තීරයේ ඇති එම්.ජී.ආර් ස්මාරකය අසල ඇගේ අවසන් කටයුතු සිදුවුණු අතර තමිල්නාඩු වැසියන් ලක්ෂ ගණනක් තම නායිකාවට ගෞරව දැක්වීමට දින ගණනක් පුරා රැස්වුණා.

 

7. අම්මා

බොහෝ තමිල්නාඩු වැසියන් ඇයව සලකන්නේ මිහිබට දෙවඟනක් ලෙසයි. ඔවුන් තම ගැලවුම්කාරයා ලෙස ඇයව විශ්වාස කළා. කෙසේ නමුත් ඇගේ ඒ දේශපාලන ජීවිතය තුළම විවිධාකාරයේ දූෂණ චෝදනා ඇයට එල්ල වුණා. ඇයට බලය අහිමි වූ සෑම අවස්ථාවකම පාහේ ප්‍රාන්ත පොලීසිය විසින් ඇගේ නිවස පරීක්ෂා කිරීම් වලට ලක් වූ අතර අති දැවැන්ත රත්තරන් ප්‍රමාණයක් හා මුදල් ඇගේ නිවාස වලින් සොයා ගනු ලැබුවා. එසේම වැඩිම මුදලක් වැයකළ විවාහයට හිමි ගිනස් වාර්තාවද ඇය සතු වනවා. ඒ කිසිදිනයක විවාහ නොවූ ඇය විසින් හදාවඩාගත් පුත්‍රයාගේ විවාහ උත්සවය වෙනුවෙනුයි.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *