අප්‍රිකාවේ පිහිටි ලෝක පුදුම 7ක්

අප්‍රිකාව කියන නම කියද්දී අපේ හිතේ මැවෙන්නේ අඳුරු චිත්‍රයක්. සාගතයෙන් සහ ජනවාර්ගික අර්බුද වලින් බැට කන ජනතාවක් පිරුණු කාන්තාර පරිසරයක් තමයි හිතේ මැවෙන්නේ. නමුත් අප්‍රිකාව කියන්නේ ආසියාවට පමණක් විශාලත්වයෙන් දෙවැනි මහද්වීපය කියන එක අපි අමතක කරනවා. මේ නිසා ඇතැම් ප්‍රදේශවල අඳුරු සහගත තත්ත්වයන් පැවතුණත් අප්‍රිකාවේ තවත් ප්‍රදේශ සුන්දරත්වයෙන් අනූනයි. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ අප්‍රිකා මහද්වීපයේ සුන්දර තැන් හතක් පිළිබඳව. මේවා සැලකෙන්නේ අප්‍රිකාවේ ලෝක පුදුම හත ලෙස.

 

 

1. නයිල් නදිය

 නයිල් නදිය කියන්නේ සමස්ත අප්‍රිකාවේ ඉතිහාසය පමණක් නොව සමස්ත ලෝක ඉතිහාසයම වෙනස් කරන්න දායක වුණු නදියක්. මෙම නදිය ආශ්‍රිතව පැන නැගුණු ඊජිප්තු ශිෂ්ටාචාරය ලෝක මිනිස් ඉතිහාසයේ අති දැවැන්තම ශිෂ්ටාචාරයක්. අදටත් මෙම ශිෂ්ටාචාරය පිළිබඳව මිනිසා ගවේෂණය කරමින් සිටිනවා. වර්තමානයේදී රටවල් 11ක් හරහා ගලා බසින මෙම ගංගාව ඊජිප්තුවේ සහ සුඩානයේ සම්පූර්ණ ජල අවශ්‍යතාවය සපුරාලනවා.

 

 

2. කිලිමන්ජාරෝ කන්ද

 ටැන්සානියාවේ පිහිටා තිබෙන මෙම කන්ද සැලකෙන්නේ අප්‍රිකාවේ ඇති උසම ගිරිශිඛරය ලෙසටයි. වර්තමානයේ අක්‍රීය ගිනිකන්දක් වන මෙය අතීතයේදී ලාවා ගංගා රැසකට උපත දුන් කන්දක්  බවට සාධක හමු වනවා. කඳු තරණය කිරීමට කැමැත්තක් දක්වන බොහෝ සංචාරකයන් මෙම කන්ද තරණය කිරීම තමන්ගේ හීනයක් ලෙස සලකනවා. හිමෙන් වැසී ගිය මුදුනක් සහිත මෙම කන්ද ටැන්සානියාවේ පමණක් නොව සමස්ත අප්‍රිකාවෙත් සංකේතයක් වී තිබෙනවා.

 

 

3. සහරා කාන්තාරය

 ලෝකයේ විශාලතම ශුෂ්ක කාන්තාරය වන සහරාව ප්‍රමාණයෙන් ඇමරිකා එක්සත් ජනපදය තරම් වන භූමි භාගයක පැතිර පවතිනවා. කෙසේ නමුත් බොහෝ දෙනා සිතා සිටින ආකාරයට සහරා කාන්තාරය යනු සම්පූර්ණයෙන්ම ජීවයෙන් තොර ප්‍රදේශයක් නම් නෙමෙයි. කාන්තාර පරිසරයට හැඩගැසුණු සතුන් සහ ශාක ප්‍රජාව මේ ආශ්‍රිතව වාසය කරනවා. එසේම කාන්තාරය මැද පිහිටා තිබෙන ක්ෂේම භූමි ආශ්‍රිතව ඔවුන්ටම ආවේණික ශිෂ්ටාචාරයක්ද ගොඩනැගී පවතිනවා.

 

 

4. සෙරෙන්ගෙටි සංක්‍රමණය  

උතුරු දිග ටැන්සානියාවේ සිට ගිණිකොණදිග කෙන්යාව දක්වා සිදුවන මහා ක්ෂීරපායී සංක්‍රමණය සැලකෙන්නේ සමස්ත ලෝකයේම ජෛව විවිධත්ව පද්ධතියෙහි සුවිශේෂී සිදුවීමක් ලෙසටයි. මිලියන ගණනක් වන සත්ත්ව ප්‍රජාවක් මේ ආකාරයට ගොදුරු බිම් සොයා නව ප්‍රදේශයකට පියමං කරනවා. මෙම මහා සංක්‍රමණය සිදුවන කාල සීමාව තුළ දෙලක්ෂ පනස්දහසකට අධික සත්ව පිරිසක් මිය යන බව ගණන් බලා තිබෙනවා.

 

 

5. න්ගොරොන්ගොරෝ විවරය 

මීට වසර මිලියන දෙකක් තුනත් අතර කාලයකට පෙර සිදු වූ ගිනිකඳු  විදාරණයක ශේෂයක් ලෙස ඉතිරිව පවතින මෙම විවරය ලෝකයේ විශාලතම ගිනි කඳු විවරයද වනවා. වර්තමානයේදී වන වැස්මෙන් වැසී පවතින මේ ප්‍රදේශ ආශ්‍රිතව සුවිශේෂී ජෛව විවිධත්ව පද්ධතියක් නිර්මාණය වී පවතිනවා. ටැන්සානියාවේ පිහිටා තිබෙන මෙම ප්‍රදේශය නැරඹීම සඳහාද වාර්ෂිකව සංචාරකයන් දස දහස් ගණනින් පැමිණෙනවා.

 

 

6. ඔකවන්ගෝ ඩෙල්ටාව 

කලහාරි කාන්තාරය ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම  ඩෙල්ටාව ලෝකයේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක් වනවා. ඔකවන්ගෝ ගංඟාවේ ජලය මුහුදට ගලා යාම සිදුවන්නේ මේ හරහා වුවත් එහි ජලය කිසිදා මුහුදට ගලා බසින්නේ නැහැ. ඒ වෙනුවට අතරමගදී ප්‍රදේශයේ පවතින අති දැවැන්ත උණුසුම නිසා වාෂ්පීකරණයට ලක්වනවා. කෙසේ වෙතත් ගංගා දියෙන් පෝෂණය වීම නිසා එම ප්‍රදේශවලටම ආවේණික ජෛව පද්ධතියක් ගොඩනැගීමට හේතු වී තිබෙනවා.

 

 

7. රතු මුහුදේ කොරල් පර 

  අප්‍රිකාව සහ ආසියාව අතර මැද පිහිටා තිබෙන රතු මුහුද ආශ්‍රිත කොරල් පර සමුදාය වර්ග කිලෝමීටර 170,000 ක පමණ වපසරියක් පුරා විහිදී පවතිනවා. මෙහි වාසය කරන සත්ව ජනගහණය අතරින් සත්ව විශේෂ 1200ක් පමණ මෙම ප්‍රදේශයටම ආවේණික විශේෂ බව හඳුනාගෙන තිබෙනවා. එසේම වාර්ෂිකව ඉන්දියානු සාගරය ආශ්‍රිතව වාසය කරන මෝර විශේෂ 44ක් පමණ මෙම ප්‍රදේශයට පැමිණෙන බවට ගණන් බලා තිබෙනවා.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නටත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *