හදිසි පරිගණක තාක්ෂණික ගැටළුවකදී පාවිච්චියට ගන්න පුලුවන් ඔන්ලයින් ටූල්ස් 5ක්

online tools for computer troubles

සාමාන්‍යයෙන් අපි හැමෝම අඩු වැඩි වශයෙන් කම්පියුටර් පාවිච්චි කරනවනේ. ගොඩක් වෙලාවට ජොබ් එක වෙනුවෙන් කම්පියුටරේ පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ඉතින් ඕවා අප්සෙට් යන වෙලාවල් එනවනේ. ගොඩක් වෙලාවට වෙන්නේ අවශ්‍ය වැඩේට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක නැතුව යන එක, එහෙම නැතිනම් අවශ්‍ය වැඩේට මෙච්චර කල් පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එක අප්සෙට් යන එක. ආන්න ඒ වෙලාවට අපි සොෆ්ට්වෙයාර් හොය හොයා හතරවටේ දඟලන වෙලාවේ, ඒ වැඩේ ගොඩදාගන්න ක්‍රම සහ විධි නැතිද? තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය ඒ ක්‍රම සහ විධි නොදන්න එක. ආන්න ඒ වගේ හදිසි අවශ්‍යතා විසඳාගන්න පාවිච්චි කරන්න පුලුවන් ඔන්ලයින් ටූල්ස් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. හදිසියකට මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් වෙනුවට

online tools for computer troubles

Source – em360tech.com

මයික්‍රොසොෆ්ට් වර්ඩ් කියන්නේ ඕනෑම ඔ‍ෆිස් එකක, ඕනෑම කාර්යාල ‍රැකියාවක් කරන කෙනෙක්ට අත්‍යාවශ්‍ය මෘදුකාංගයක්. හරි නම් කියන්න පුලුවන් ඔ‍ෆිස් පැකේජ් එකම ඒ වගේ වැදගත් කියලා. කොහොම වුනත් ඔ‍ෆිස් පැකේජ් එක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ක්‍රැක් කරපු කොපි එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහෙම නැතුව Office 365 ගන්නවා නම් අවුරුද්දකට රුපියල් දහදාහකට වැඩි මුදලක් යනවා. හැබැයි හදිසි අවස්ථාවකට පාවිච්චි කරන්න විකල්ප නැද්ද?

online tools for computer troubles

Source – lifewire.com

තියෙනවා. ඒකෙන් ලේසිම සහ ජනප්‍රියම විකල්පය තමයි Google Docs. ඒ කියන්නේ වර්ඩ් වුනත්, එක්සෙල් වුනත් ඒ වගේ වෙනත් ඔ‍ෆිස් ගොනුවක් වුනත් විවෘත කරගන්න සහ සංස්කරණය කරගන්න ගූග්ල් ඩොක්ස් වලින් පහසුවෙන්ම පුලුවන්. ඔන්ලයින්ම ලියලා, එඩිට් කරලා ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න හරි, ගූග්ල් ඩ්‍රයිව් එකේ සේව් කරලා තියන්න හරි පුලුවන්.

එහෙම නැතිනම් ගූග්ල් එක්ක තරඟ කරන්න මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලබාදීලා තියෙන ඔ‍ෆිස් ඔන්ලයින් ටූල්ස් පාවිච්චි කරන්නත් පුලුවන්. ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන ඔ‍ෆිස් වර්ඩ් හෝ වෙනත් ඔ‍ෆිස් යෙදුමක් වගේම තමයි. මයික්‍රොසොෆ්ට් OneDrive එක්ක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.

online tools for computer troubles

Source – italovignoli.org

ඊළඟට ඔන්ලයින් හොයලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සම්පූර්ණයෙන්ම නිදහස් ඔ‍ෆිස් වගේම මෘදුකාංග තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ලිබ්රෙ ඔ‍ෆිස් කියන්නේ. ලොකු ගැටළුවක් නැහැ. ඔ‍ෆිස් සොෆ්ට්වෙයාර් වගේම තමයි.

online tools for computer troubles

Source – youtube.com

තුන්වෙනියටත් ඔන්ලයින් නොවෙන විසඳුමක් තියෙනවා, හදිසි අවස්ථාවකට. ඒ තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ Office 365 පි‍ටුවට ගිහින්, එක මාසයක් ‍ෆ්‍රී දෙන ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරගන්න එක. එතනදීත් ක්‍රෙඩිට් කාඩ් විස්තර දෙන්න වෙනවා. ඩොලර් එකක් වැය වෙනවා. හැබැයි එච්චරයි. ඕන නම් පහුවෙනිදාම සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න පුලුවන්. එතකොට ආයෙ සත පහක් වත් වැය වෙන්නෙ නෑ. ඒත් ඒ මාසෙම Office 365 පාවිච්චි කරන්න පුලුවන්.

 

2. හදිසියකට ග්‍රැ‍ෆික් කෑල්ලක් හදාගන්න

online tools for computer troubles

Source – sabrinaferri.it

සාමාන්‍යයෙන් ග්‍රැ‍ෆික් ඩිසයින් වැඩ වැඩිපුර කරන කෙනෙක්ගේ කොම්පියුටර් එකක ඇඩෝබ් ෆොටෝෂොප්, කොරල් ඩ්‍රෝ වගේ සොෆ්ට්වෙයාර් කීපයක් අනිවාර්යයෙන්ම තියෙනවනේ. හැබැයි ඒවා නැති වුණු වෙලාවට මොකද කරන්නේ? ඒ වෙලාවට කොහොමද හදිසියකට ග්‍රැ‍ෆික් ඩිසයින් එකක් කරගන්නේ? කලබල වෙන්න එපා. වැඩේ කොලිටියට ගොඩදාගන්න පුලුවන් ඔන්ලයින් ටූල්ස් සෑහෙන්න තියෙනවා.

අපි කියමු හදිසියකට ෆේස්බුක් පෝස්ට් එකක් හදාගන්න, පෝස්ටර් එකක් හදාගන්න ඕන වුනා කියලා. එහෙම නැතිනම් කාඩ් එකක්, බුක් කවර් එකක්, බ්‍රෝචර් එකක්, සෙටි‍ෆිකට් එකක්, කූපන් එකක්, ඉන්ෆොග්‍රැ‍ෆික් එකක්, ලේබල් එකක්, ලෙටර් හෙඩ් එකක් වගේ ඕනෑම දෙයක් හදාගන්න පාවිච්චි කරන්න පුලුවන් අනර්ඝ ඔන්ලයින් ටූල් එකක් තමයි canva කියන්නේ.

online tools for computer troubles

Source – download200.com

ඔන්ලයින් නැතුව නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් විකල්පයක් ඕනෑ නම්, බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එක තමයි GIMP. බොහොම සාර්ථක මෙවලම් පද්ධතියක් සහිතව එන සාර්ථක ෆොටෝ එඩිටින්, ඩිසයින් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ.

online tools for computer troubles

Source – youtube.com

එතකොට ඇඩෝබ් ඉලස්ට්‍රේටර් නැතිනම් කොරල් ඩ්‍රෝ වගේ වෙක්ටර් ඩිසයින් සොෆ්ට්වෙයාර් එකක් නැති වෙලාවක හදිසියකට වෙක්ටර් ග්‍රැ‍ෆික් එකක් හදාගන්න වුනොත් මොකද කරන්නේ? ආන්න ඒකට හොඳ ඔන්ලයින් විසඳුමක් තමයි Gravit Designer කියන්නේ. සංකීර්ණ ටූල්ස් ගොඩක් නැති වුනත් සාර්ථකව, වෘත්තිය මට්ටමේ නිර්මාණයක් ඔන්ලයින් කරගන්න Gravit Designer පාවිච්චි කරන්න පුලුවන්.

 

3. හදිසියකට පීඩීඑෆ් කන්වර්ට් කරගන්නට

online tools for computer troubles

Source – creativetools.se

අපි ඕන කෙනෙක්ට PDF සම්බන්ධ ප්‍රශ්න පැන නගිනවනේ. ගොඩක් වෙලාවට අහන්න ලැබෙන ප්‍රශ්නයක් වෙන්නේ PDF එකක් Word doc එකකට කන්වර්ට් කරගන්නේ කොහොමද කියන එක තමයි. මෙතනදී තියෙන ප්‍රශ්නය වෙන්නේ සාමාන්‍යයෙන් PDF එක ආයෙමත් වර්ඩ් වලින් හරි ඒ වගේ මෘදුකාංගයකින් ඕපන් කරගත්තත් කිසිදෙයක් එඩිට් කරන්න බැරි වීම. හැබැයි එහෙම ගැටළුවක් නැතුව, එඩිට් කරන්න හැකියාවත් එක්ක PDF එකක් කන්වර්ට් කරගන්න ටූල්ස් තියෙනවා.

ඒකට තියෙන ලේසිම ක්‍රමයක් තමයි adobe acrobat pro සොෆ්ට්වෙයාර් එක. මේක ඔන්ලයින් ටූල් එකක් නෙවෙයි, ‍ෆ්‍රී දෙන්නෙත් නෑ. හැබැයි දවස් හතක ට්‍රයල් එකක් දෙනවා. අන්න එතකොට තියෙන්නේ ඒ ට්‍රයල් එක අරගෙන, අවශ්‍ය වැඩේ කරලා කැන්සල් කරලා දාන එක. මේකෙන් ෆෝමැටින් අවුල් යන්නෙ නැතුව PDF එකක් word වලට හරවා ගන්න පුලුවන්.

online tools for computer troubles

Source – pdfdoc.com

එහෙම නැතිනම් pdfdoc.com වගේ ඔන්ලයින් ටූල් එකකුත් පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම නිකම්ම ගූග්ල් සෙවුමකින් වුනත් හොයාගන්න පුලුවන් PDF to word කන්වර්ටර් ටූල්ස්. මේවලින් බොහොම පහසුවෙන් එඩිට් කරන්න පුලුවන් විදියට docx, dox වගේ ෆෝමැට් වලින් PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. හැබැයි සිංහල අකුරු නම් පොඩ්ඩක් මේ වල අවුල් වෙනවා කියලා කියන්න වෙනවා.

 

4. හදිසියකට යූටියුබ් වීඩියෝ MP3 විදියට ඩවුන්ලෝඩ් කරගන්න

online tools for computer troubles

Source – youtube.com

යූටියුබ් වීඩියෝස් නොබලන කෙනෙක් නැහැනේ. ගොඩක් වෙලාවට අපිට මොකක් හරි සිංදුවක් හොයාගන්න වුවමනා වුණු ගමන් අපි වැඩිදෙනෙක් යන්නේ යූටියුබ් එකට. ඉන් පස්සේ ඒ වීඩියෝ සිංදුව ඩවුන්ලෝඩ් කරගන්න වුවමනා වුනොත් ඒකටත් ක්‍රම තියෙනවා. එක්කෝ EagleGet හරි IDM හරි වගේ ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම්, යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න විකල්පයක් බ්‍රවුසරයටම ලැබෙනවා. එහෙම නැතිනම් යූටියුබ් වීඩියෝවේ ඇඩ්‍රස් බාර් එකේ තියෙන ලින්ක් එකේ youtube කියන කෑල්ලට කලින් ss කියලා ටයිප් කරලා එන්ටර් කළත් ඩවුන්ලෝඩ් පේජ් එකකට අපිට යන්න පුලුවන්. හැබැයි මේ වීඩියෝස් කෙලින්ම MP3 විදියට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? එහෙම නැතිනම් යූටියුබ් වීඩියෝස් MP3 බවට කන්වර්ට් කරගන්නේ කොහොමද?

online tools for computer troubles

Source – onlinevideoconverter.com

මේකට ලෙහෙසිම ක්‍රමයක් තමයි online video converter කියන වෙබ් අඩවිය. සරලවම තමන්ට අවශ්‍ය යූටියුබ් ලින්ක් එක ලබාදීලා, ඒකේ තියෙන අන්තර්ගතය MP3 විදියට ඩවුන්ලෝඩ් කරගන්න ඉඩ මෙතැනින් ලබාදෙනවා. අවශ්‍ය නම් ‍තෝරාගන්න තව ඕඩියෝ ෆෝමැට් කීපයකුත් මේකේ තියෙනවා.

online tools for computer troubles

Source – zamzar.com

එහෙම නැතුව ඩවුන්ලෝඩ් කරලා තියෙන flv ෆයිල් එකක් MP3 කරගන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳ වෙබ් අඩවියක් තමයි Zamzar කියන්නේ.

 

5. හදිසියකට ෆයිල් සේව් කරලා තියන්නට

online tools for computer troubles

Source – pinterest.com

අපි මෙච්චර කාලෙකට කම්පියුටර් එකේ තියෙන ෆයිල්ස් සේව් කරලා තියන්නේ එක්කෝ කම්පියුටර් එකේමයි. එහෙම නැතිනම් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකකට නැතිනම් පෙන් ඩ්‍රයිව් එකකට එහෙමත් අපි ෆයිල්ස් දාලා තියනවා. නැතිනම් සීඩී එකකට හෝ ඩීවීඩී එකක ලියලා සුරක්ෂිත කර ගන්නවා. හැබැයි අන්තර්ජාලයේම අපේ ෆයිල්ස් සේව් කරලා තියන්නත් අවකාශය තියෙනවා කියලා හැමෝම දන්නවනේ. නොදැන ඉන්න විදියක් නෑ. මොකද ක්ලවුඩ් මතක ධාරිතා සේවාවන් හඳුන්වලා දීලා දැන් සෑහෙන්න කල්. සාමාන්‍යයෙන් ගූග්ල් වෙබ් ලිපිනයක් හදාගත්තහම නොමිලේ ගිගාබයිට් 15 ක ගූග්ල් ඩ්‍රයිව් එකක් අපිට ලැබෙනවා. එතකොට මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකක් හදාගන්න කෙනෙක්ටත් ගිගාබයිට් 5 ක ‍ෆ්‍රී OneDrive ක්ලවුඩ් මතක ධාරිතාවක් ලැබෙනවා. මේවල තියෙන විශේෂත්වය වෙන්නේ සෑහෙන්න ලොකු ෆයිල් වුනත් ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරලා තියන්න පුලුවන්. එතකොට වෙන කෙනෙක්ට ඒ ෆයිල් එක ගන්න ඕන නම් අපිට තියෙන්නේ ඒ කෙනාට, ඒ ෆයිල් එකට ඇක්සෙස් වෙන්න ඉඩ දෙන එක විතරයි.

හැබැයි මේ ඇරෙන්න තව සෑහෙන්න ක්ලවුඩ් මතක ධාරිතාවන් තියෙනවා කියලා දැනගෙන හිටියද? උදාහරණයක් විදියට box සේවාවෙන් ගිගාබයිට් 10 ක මතකයක් ලබාදෙනවා. හැබැයි මේකට අප්ලෝඩ් කරන්න පුලුවන් ලොකුම ෆයිල් සයිස් එක මෙගා බයිට් 250 යි. Dropbox සේවාවෙනුත් ගිගාබයිට් 2 ක් නොමිලේ ලබාදෙනවා. එතකොට Amazon drive වෙතිනුත් කෙනෙක්ට නොමිලේ ගිගාබයිට් 5 ක් ලබාගන්න පුලුවන්.

online tools for computer troubles

Source – lifewire.com

අපි කියමු අපිට ඊට වඩා ලොකු මතක ධාරිතාවක් දීර්ඝ කාලයකට වුවමනායි කියලා. එතකොට අපිට වැදගත් වෙන්නේ විශාල ක්ලවුඩ් මතකයක් සහ සුරක්ෂිත භාවයක් මිසක් ක්ෂණයකින් ඒ දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව නෙවෙයි. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි Cold Storage කියලා හඳුන්වන ක්ලවුඩ් සේවාවන් වැදගත් වෙන්නේ. උදාහරණයක් විදියට හඳුන්වන්න පුලුවන් Zoolz කියන සේවාව. මේකෙන් කෙනෙක්ට ගිගාබයිට් 100 ක නොමිලේ මතක ධාරිතාවක් ලබාදෙනවා. ඕනෑ තරම් විශාල ෆයිල් ඕනෑ තරමක් ඒ ගිගාබයිට් 100 ඇතුළේ අප්ලෝඩ් කරලා තියන්න පුලුවන්. හැබැයි අපිට ආයෙමත් ඒකෙන් ෆයිල් එකක් ඕනෑ වුනොත් පැය 3 සිට 5 දක්වා කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒත් මේ තරම් විශාල ධාරිතාවයක් ලැබෙනකොට ඒක ගණන් ගන්න අවශ්‍ය නැති තරම්. කොහොමත් Cold storage සේවාවන් ක්‍රියාත්මක වෙන්නේ ඒ විදියට තමයි.

 
Cover Image Source – startupik.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *